Breaking News

නූතන සිංගප්පූරුවේ පියා – ලී ක්වාන් යූ


නූතන සිංගප්පූරුවේ පියා ලෙස සැළකෙන ලී ක්වාන් යූ මිය ගොස් 2017 මාර්තු 23 වනදාට වසර දෙකක් සම්පූර්ණ වුණා. ඒ හේතුවෙන් අපි තීරණය කළා ලී ක්වාන් යූගේ ජීවිත කතාව පිළිබඳව සහ ඔහු සිංගප්පූරුව සංවර්ධනය කළ ආකාරය පිළිබඳව යම් විස්තරයක් ඔබට ගෙන එන්නට.

ලී ක්වාන් යූ උපන්නේ 1923 සැප්තැම්බර් 16 වනදා සිංගප්පූරුවේදී. ඔහුගේ සීයාගේ පියා වූ “ලී බොක් බූන්” 1863 දී සිංගප්පූරුවට සංක්‍රමණය වූයේ දකුණු දිග චීනයේ “ග්වාන්ඩොංග්” පළාතෙන්. එකල සිංගප්පූරුව බ්‍රිතාන්‍ය විජිතයක් වූ අතර බ්‍රිතාන්‍ය පාලනය මගින් එහි වරායක් මෙන්ම බ්‍රිතාන්‍ය හමුදා කඳවුරුද ඉදි කරනු ලැබුණා. රැකියාවන් සොයාගෙන චීන ජාතිකයන් එම ප්‍රදේශයට සංක්‍රමණය වුණා.

ලී ක්වාන් යූගේ පවුල යමක් කමක් ගොඩ නගාගත් පවුලක්. ඔහුගේ පියා වූ ලී චින් කූන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවෙක්. ලී ක්වාන් යූ ද චීන භාෂාවට පෙර ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවයි.

ලී ක්වාන් යූ, “ටෙලොක් කුරාවු” ඉංග්‍රීසි පාසැලෙන් සහ රැෆ්ල්ස් ආයතනයෙන් අධ්‍යාපනය ලබා දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලන්ඩන් අාර්ථික විද්‍යාලය (London School of Economics) වෙත ඇතුලත් ව ඉන් පසු කේම්බ්‍රිජ් සරසවියේ “ෆිට්ස්විලියම්” විද්‍යාලයෙන් නීතිය හැදෑරුවා.
ලී විවාහ වුණේත් මේ කාලයේදීයි. ඔහුගේ භාර්යාව වූයේ “ක්වා ගෙයොක් චූ”. ඔවුන් 1947 දී රහසිගතව විවාහ වූ බව කියවෙන අතර පසුව ප්‍රසිද්ධ විවාහය උත්සවය 1950 දී සිංගප්පූරුවේදී පැවැත්වුණා. ඔවුනට දරුවන් තිදෙනකු ලැබුණා.

ලී ක්වාන් යූ දේශපාලනයට සම්බන්ධ වන්නේ නීතිය හැදෑරීමෙන් අනතුරුව යළි සිංගප්පූරුවට පැමිණි පසුයි. 1954 දී මහජන ක්‍රියාකාරී පක්ෂය ආරම්භ කෙරෙන අතර එහි මහ ලේකම් ලෙස ඔහු පත් කරගනු ලැබුණා. 1955 දී සිංගප්පූරු මැතිවරණයට එම පක්ෂයෙන් ලී ක්වාන් යූ ඉදිරිපත් වුණේ “තන්ජොන් පගාර්” ආසනයෙන්. එම මැතිවරණයේදී ඔහු ජයග්‍රහණය කළත් ඔහුගේ පක්ෂය මැතිවරණයෙන් ජය ගත්තේ නැහැ.

ලී 1955 සිට 2015 තෙක්ම තන්ජොන් පගාර් ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. මුල් කාලයේදී කේවල ක්‍රමය යටතේත්, පසුව තන්ජොන් පගාර් ප්‍රදේශය බහු මන්ත්‍රී ප්‍රදේශයක් වූ පසුවත් ඔහු දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කළා.

1959 දී සිංගප්පූරුවට ස්වයං පාලන අයිතිය දෙනු ලැබුවා. මේ අනුව ආරක්ෂක සහ විදේශ කටයුතු හැර අන් සියලු කටයුතුවලදී එරටට ස්ව පාලන බලතල හිමි වුණා. මේ හේතුවෙන්, 1959 මැතිවරණයෙන් පළමු වතාවට අගමැති කෙනෙක් බිහි වුණා. එසේ සිංගප්පූරුවේ පළමු අගමැති බවට පත් වුණේ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ලී ක්වාන් යූ මහතායි.

1963 දී සිංගප්පූරුව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් ව මැලේසියානු ෆෙඩරේශනයට ඇතුළු වුණා. කොහොම නමුත් 1965 අගෝස්තු 9 වනදා එරට එම ෆෙඩරේශනයෙන් ඉවත් කරනු ලැබුණා. මේ අනුව සිංගප්පූරුව සම්පූර්ණ ස්වෛරී රටක් බවට පත් වුණා.

කෙසේ නමුත් සිංගප්පූරුවට තනිව දියුණු විය හැකිද යන්න පිළිබඳ විශාල සැකයක් මතුව තිබුණු අතර ලී ක්වාන් යූ පවා මේ පිළිබඳ සැක සංකා පළ කළා. විශේෂයෙන්ම කලාපයේ දේශපාලන තත්ත්වය අස්ථාවර වීමත්, 1971 දී බ්‍රිතාන්‍ය හමුදා සිංගප්පූරුවෙන් ඉවත් වීමත් හේතුවෙන් සිංගප්පූරුවේ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න මතු ව තිබුණා.

ලී ක්වාන් යූ එක් අතකින් සිංගප්පූරුවට ප්‍රබල ආරක්ෂක අංශයක් ගොඩ නගන්නට කටයුතු කළ අතර අනෙක් අතට බහු ජාතික සමාගම් එහි ආයෝජනය කරන්නට පොළඹවාගනු ලැබුවා. එමෙන්ම අන්තර්ජාතික බැංකු සහ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසත් සිංගප්පූරුව දියුණු කරන්නට ලී කටයුතු කළා.

සිංගප්පූරුවේ ස්ථාවරත්වයට හමුදා ශක්තිය බොහොම වැදගත් වුණා. සිංගප්පූරුව අදටත් සිය ජාතික ධනයෙන් සැළකිය යුතු කොටසක් ඒ සඳහා වෙන් කරනු ලබනවා. කලාපයේ අනෙකුත් දේශපාලනික අර්බුද හමුවේ සිංගප්පූරුවේ ආරක්ෂාව හොඳ මට්ටමක පවත්වා ගන්නට ඔවුන් සමත් වුණා. මේ නිසාම අදත් සමහරුන් සිංගප්පූරුව හඳුන්වන්නේ අග්නිදිග ආසියාවේ ඊශ්‍රායලය යන නමින්.

ලී ක්වාන් යූ (දකුණේ) සහ ඔහුගේ පුත්‍රයා සහ වත්මන් අගමැති ලී සියෙන් ලූන්ග් (වමේ) 1988 මැතිවරණ රැළියකදී (Straits Times)
ඒ වගේම සිංගප්පූරුවේ ජාතීන් අතර සමගිය පිළිබඳත් විශාල වැදගත්කමක් රජය විසින් දෙනු ලැබුවා. සිංගප්පූරුව සියයට 75 ක් පමණ චීන ජාතිකයන් වසන රටක්. අනෙක් කොටස මැලේ, ඉන්දියානු සහ වෙනත් අයයි. යාබද මැලේසියාවේ මැලේ සහ චීන ජන කොටස් අතර ප්‍රශ්න ඇතිවූ විට එය සිංගප්පූරුව කරා පැතිරීමේ අවදානමක් තිබුණා. ඒ හේතුවෙන් සිංගප්පූරුව ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමට ප්‍රමුඛ තැනක් දුන්නා.

මේ අතර රටේ නීතියේ ආධිපත්‍යය තදින් ක්‍රියාවට නැගුණු අතර දූෂණය අවම කරනු ලැබුවා. නීති රීති මගින් දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරන බවට ලී ක්වාන් යූ වෙත චෝදනා එල්ල වූ නමුත් ඔහුගේ දරදඬු ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ සැකයක් ඇති වූයේ නැහැ. එහෙයින් කල් යත්ම ආයෝජකයින් රටට ළඟා වුණා.

මේ අතර සංචාරක කර්මාන්තය වෙතටත් විශේෂ අවධානයක් යොමු කෙරුණා. විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් ඒ ඔස්සේ ද බිහි වූ අතර කලක් බ්‍රිතාන්‍ය හමුදාව විසින් පාලනය කළ දූපතක් “සෙන්තෝසා” නමින් නම් කර සංචාරක ව්‍යාපාරය සඳහාම වෙන් කිරීම එහි විශේෂ අංගයක් වුණා.

එමෙන්ම සංචාරකයන් ඉලක්ක කරගෙන 1970 දශකයේදී නව සතුන් වත්තක් ද එරට ඉදි වුණා. මෙම සතුන් වත්ත නිර්මාණය කිරීමේ උපදේශන කාර්යය සඳහා ඔවුන් විසින් තෝරාගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ දෙහිවල සතුන් වත්තේ අධ්‍යක්ෂ වූ ලින් ද අල්විස් මහතාවයි.

රටේ කාර්මික කලාප බිහි කර දියුණු කර්මාන්ත ඇති කිරීමෙන් රැකියා අවස්ථා නිර්මාණය කිරීම වගේම අපනයන කටයුතු වර්ධනය කිරීම, නෞකා සඳහා සේවා සැපයීම යනාදී කටයුතු මගින් නාවුක කර්මාන්තය දියුණු කිරීමත් සිංගප්පූරුව සිය සංවර්ධන උපක්‍රම ලෙස භාවිත කළා.

1990 දී ලී ක්වාන් යූ අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ නමුත් දිගටම ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙකු ලෙස කැබිනට් මණ්ඩලය නියෝජනය කළා. 2004 සිට ඔහු උපදේශක අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේ ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වූ “ලී සියෙන් ලූන්ග්” අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ පසුවයි.

ලීගේ බිරිඳ 2010 දී මිය ගියා අතර 2013 දී ලීගේ ශරීර සෞඛ්‍යයත් අයහපත් අතට හැරුණා. 2015 පෙබරවාරියේදී ඔහු නැවතත් රෝහල්ගත කෙරුණා. මේ අවස්ථාවේදී ප්‍රකාශ කෙරුණේ නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කරන ලද බවයි. කෙසේ වෙතත් මාර්තු මාසය වන විට ඔහුගේ තත්ත්වය නරක අතට හැරෙන්නට පටන් ගත්තා.

සිංගප්පූරු ජනතාව ඔහු ඇතුලත්ව සිටි සිංගප්පූරු ජාතික රෝහල අසළ මල් පොකුරු සහ කාඩ්පත් තබමින් දහස් ගණනින් ඔහුට සුවය ප්‍රාර්ථනා කරන්න එක් වුණා.

කෙසේ වෙතත් 2015 මාර්තු 23 වනදා සිංගප්පූරු වේලාවෙන් අළුයම 3.18 ට ලී ක්වාන් යූ මහතා මිය ගිය බව අගමැති ලී සියෙන් ලූන්ග් විසින් නිවේදනය කෙරුණා.
ලී ක්වාන් යූගේ අවමංගල්‍යය පවත්වන ලද්දේ 2015 මාර්තු 29 වනදායි. ඊට පෙර දිනවල දස දහස් ගණනින් ජනතාව ඔහුට අවසන් ගෞරව දැක්වීමට එක් රොක් වුණා.
ලී ක්වාන් යූ පිළිබඳ විවිධ මත පවතිනවා. ඔහු කළ සමහර දේ බොහෝ දෙනා විසින් දකින්නේ ඒකාධිපති පියවරයන් ලෙසයි. 2010 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ලී ද ප්‍රකාශ කළේ තමන්ට ඇතැම් දරුණු පියවර ගන්නට සිදු වූ බවයි.
නමුත් “තුන්වන ලෝකයේ රටක් පළමු ලෝකයේ රටක් බවට පත් කිරීම ” පිළිබඳ ඔහුට විශාල ගෞරවයක් හිමි වෙනවා. 1959 දී සිංගප්පූරුවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 1,240 ක්. 1990 දී ඔහු අගමැති පුටුවෙන් ඉවත් වෙද්දී එය ඇමරිකානු ඩොලර් 18.437 ක්. එමෙන්ම මේ කාලය තුළදී විරැකියාව සියයට 13.5 ක සිට සියයට 1.7 ක් දක්වාද අඩු වුණා.
සිංගප්පූරුව වර්තමාන තත්ත්වය දක්වා දියුණු වූ හැටි පිළිබඳව අපි ඉදිරියේදී වෙනමම විස්තර කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ලී ක්වාන් යූ ගැන ඔබට ඇති අදහස් ද කමෙන්ටුවකින් එකතු කරන්න පුළුවන්.

No comments