Breaking News

ගිරිහඬුසෑය : ලෝකයේ පළමු චෛත්‍යයය



සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කොට චෛත්‍ය ගොඩ නැගීම බොදු  ජනතාවට අරුමයක් නෙමෙයි. බොදු බැතිමතුන්  සිටින ලොව පුරා රට වල විවිධ ප්‍රමාණයේ චෛත්‍යයන් අපට දැකගන්න පුළුවන්. ඒත් ලොව ප්‍රථම චෛත්‍ය ඉදිකර තිබෙන්නේ අපේ ලංකාවේ බව ඔබ දන්නවද? එහි ඇති විශේෂ කරුණ තමයි, බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම මේ චෛත්‍ය ගොඩනංවා තිබීම.
අද අපි මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්න යන්නේ අන්න ඒ චෛත්‍ය ගැනයි. මේ, ලංකාවේ ත්‍රිකුණාමලයේ පිහිටා තිබෙන ලෝ පතල ගිරිහඬු සෑයයි. අතීතයේදී ගිරිහඬු සෑය ගිරිකන්ඩි චෛත්‍ය නමින්ද හැඳින්වී තිබෙනවා.

ගිරිහඬු  සෑය තියෙන්නේ කොහේද?

එළියෙන් දිස්වෙන ආකාරය.
එළියෙන් දිස්වෙන ආකාරය.
ත්‍රිකුණාමලයට කි. මි. 45 ක් පමණ උතුරින් තමයි ගිරිහඬු සෑය පිහිටා තිබෙන්නේ. ගමන් මාර්ග දෙකක් ඔස්සේ ත්‍රිකුණාමලයේ සිට ගිරිහඬු සෑයට ලඟාවිය  හැකියි.  එක ගමන් මාර්ගයක් වන්නේ නිලාවේලි හරහා වෙරළ තීරය ඔස්සේ වැටි ඇති මාර්ගයයි. එම මාර්ගයේ ගමන් කරන්නේ නම් කුච්චවේලි වලින් වමට හැරී ගමන් කොට නැවතත් ප්‍රධාන හන්දියෙන් දකුණට හැරී ගමන් කල යුතුය. මෙය B 424 මාර්ගය ලෙස සිතියම් පොත් වල දක්වා ඇත.
අනෙක් මාර්ගය වන්නේ A 12 ලෙස සිතියම් පොත් වල දැක්වෙන රට මැදින් වැටී ඇති මාර්ගයයි. මේ ගමන් මගද ගිරිහඬු සෑය ආසන්නයේදී ඉහත දැක්වූ මාර්ගයට සම්බන්ධවේ.
මිට අමතරව අප ඉහත දැක්වූ B 424 මාර්ගයේ කුච්චවේලි පසු කර ගමන් කරන්නෙකුට තිරියායෙන් වමට හැරී පැමිණීමෙන්ද ගිරිහඬු සෑයට පැමිණීමට පුළුවන්.

තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ

තරමක දුරින් දිස්වෙන ආකාරය.
තරමක දුරින් දිස්වෙන ආකාරය.
ඉන්දියාවේ සින්දු නදියේ අතු ගංගාවක් වන සුවාසතු ගං මිටියාවතේ පුෂ්කරවති නම් ගම්මානයක් තිබෙනවා.  ඒ ගමේ සිටි තපස්සු-භල්ලුක දෙසොහොයුරන් කියන්නේ ප්‍රධාන ගැල් වෙළෙන්දන් දෙදෙනෙක්.  එක්තරා  දිනක මේ වෙළෙඳ දෙබෑයන් ගැල් පන්සීයක බඩු පටවාගෙන එකල භාරතයේ  මධ්‍ය දේශය බලා ගමන් කළ බව ථෙරවාදී පොත් වල සඳහන් වෙනවා.
මේ ගමන අතර මගදී කිරිපලූ වනයේ වැඩසිටි බුදුරදුන් දැක ඇතිවූ භක්තියෙන් වෙළඳ දෙබෑයන් කරන ලද්දේ විලඳ සහ මී පැණි බුදුරදුන්ට පිළිගැන්වීමයි. බුදුරදුන් බුද්ධත්වයට පත්වී පනස් වන දිනයේදී සිදුවූ මේ සිදුවීමත් සමඟ, තපස්සු භල්ලූක දෙදෙනාට ලෝක ඉතිහාසයේ පළමු බෞද්ධ උපාසකයන් බවට පත්වීමටද වාසනාව ලැබුණා. මොවුන් දෙදෙනා ප්‍රථම දේවොවචික උපාසකයින් ලෙසද හැඳින්වෙනවා.
“අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්නට” යැයි මේ වෙළෙඳ දෙබෑයෝ බුදු රදුන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ මේ අවස්ථාවේදීයි. මොවුන් දෙදෙනා පිළිබඳව දිවැසින් බැලූ තථාගතයන් වහන්සේ, හිස අතගා කෙස් රොදක් ගෙන තපස්සු භල්ලූක දෙබයන්ට දුනි. මෙය තපස්සු  භල්ලුක දෙබෑයන්ගේ ඉමහත් සතුටට හේතු උන අතර මහා සම්පතක් ලද පරිද්දෙන් ඔවුන්  ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කරනු ලැබුවා.

ලංකාවට සම්ප්‍රාප්ත වීම

ඇතුල්වෙන ස්ථානයේ විස්තර අඩංගු පුවරුවක්.
ඇතුල්වෙන ස්ථානයේ විස්තර අඩංගු පුවරුවක්.
වෙළදාම පිණිස දේශදේශාන්තරවල ගමන් කිරීම තපස්සු-භල්ලුක දෙබෑයන්ගේ සිරිතයි. මෙසේ යන සෑම තැනකම බුදු රදුන්ගේ කේශ ධාතු සහිත රන් මංජුසාව රැගෙන යාම ඔවු සිරිතක්  කරගෙන තිබුණා.
තපස්සු භල්ලුක දෙබෑයන් වෙළදාම පිණිස ලංකාවට පැමිණෙන්නේ ගල්වරාය ඔස්සේය. එසේ පැමිණ යාං ඔයට පිවිසි මොවුන්, යාං ඔය ඉවුරේ වූ විසල් කඳු වැටියක් දැක එය තරණය කරනවා. එහි මුදුනෙහි වූ තැන්නෙහි අර රන් මංජුසාව තබා දරදිය පිණිස වනයට වැදුණු අතර, නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට බලනවිට එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන්. අනතුරුව ගල්ගොඩකින් මේ මංජුසාව වසා දමා වෙළදාමේ යෙදුන බවත්, ආපසු යාමට පෙර එම ගඩොල් ගොඩ ක්‍රමවත්ව අසුරා, මංජුසාව වැසෙන සේ කුඩා චෛත්‍යයක් ඉඳි කල බවත් ක්‍රි.ව. 733 රජ කල අග්‍රබෝධි සිලාමෙඝ රජ දවසේ ලියන ලද තිරියාය සෙල් ලිපියේ සඳහන් වෙනවා.
පොත පතෙහි සඳහන් වන ආකාරයට ලොව තවත් රටවල් ගණනාවක කේශධාතු නිදන් කර චෛත්‍යය සාදා තිබෙනවා. ඒ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ආදී රටවලය. එසේ වීමට හේතුව, තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයෝ බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, වැනි රටවලට වෙළහෙළදාමේ ගිය අවස්ථා වලදී, ඒ සෑම රටකදීම  කේශ ධාතු ප්‍රදර්ශනය කර චෛත්‍ය තැනූ නිසාය. බුරුමයේ රැන්ගුන් සෑයද එබන්දකි.
කෙසේ වෙතත් එදා තපස්සු  භල්ලුක වෙළඳ දෙබෑයන් ලංකාවේ ඉඳිකළ ගිරිහඬු සෑය, බුදු රදුන්ගේ කේශ ධාතු තැන්පත් කර ඉඳි කළ ලොව ප්‍රථම චෛත්‍ය ලෙසට ඉතිහාසගත වෙනවා. එය, බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම ඉඳී කිරීම විශේෂයෙන් සඳහන් කල යුතු  කරුණක්.

තවත් සුවිශේෂි විස්තර

ගල් පඩි පෙළ.
ගල් පඩි පෙළ.
ගිරිහඬු සෑය වෙත ගමන් කිරීමට ඇති මාර්ගය හිතන තරම් ලෙහෙසි  පහසු එකක් නොවේ. බිම් මට්ටමේ සිට කඳු හිසට යොමුවුනු ශෛලමය පඩිපෙලක් ඔස්සේ මුලින්ම ගමන් කල යුතු අතර ඒ පඩිපෙල ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරිනි. රූස්ස ගස් අතරින් වැටුණු මේ ගල් පඩි නැග යන්නෙකුට, තුරු හිස් අතරද වැදෙමින් හමා එන සිහිල් සුළඟ ගමන් විඩාව නිවා ගන්න බෙහෙවින් උපකාර වෙනවා. මේ ශෛලමය පියගැට පෙළ ද රජ සමයේම ඉඳී කෙරුණකි.
තවත් ටික දුරක් ඇවිද යනවිට හමුවන්නේ සෙල්ලිපිය නම්වූ පුවරුවකි. එය ගල් තලයක් මතුපිට කොටුකර තිබෙනු දක්නට පුළුවන්. අඩි විස්සක් පමණ දිගට ලියැවුණු මේ සෙල්ලිපිය ලියා ඇත්තේ අග‍්‍රබෝධි සිලාමේඝ නම් රජ සමයේදී, එනම් තපස්සු භල්ලූක විසින් ගිරිහඬු සෑය ඉඳී කර වසර 1200 ක් ගතවුණු පසුවය. එතෙක් කලක් ජනප‍්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල්ලිපියෙහි ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂර වලිනි. පේලි එකොළහකින් යුත් මෙහි ශ්ලෝක එකොළහක් ඇති බවත්, ඒ ශ්ලෝක ගිරිහඬු සෑය වන්දනා කරන ගීත එකොළහක් බවත් පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති.
සෙල් ලිපිය.
සෙල් ලිපිය.
ගිරිහඬු සෑයේ පාමුලටම පැමිණි විට දක්නට  ලැබෙන්නේ සුවිශාල වැලි මළුවකි. එහෙත් ඊට කලින් දකුණු අත පැත්තේ ඇති ගඩොල් චෛත්‍යයත්, වම් අත පැත්තේ ඇති කුඩා බෝ පැළයකුත් දැකගත හැකියි.
වලි මළුවට පැමිණි කල ඉදිරියෙන් ඇත්තේ වටදාගෙයයි. සිලාමේඝ රජ සමයේ ඉදිකෙරුණු මේ ශෛලමය වටදාගෙයි මධ්‍යයෙහි ගිරිහඬු සෑය විරාජමාන වෙනවා. සෑය වටේ අලංකාර බුදු පිළිම හතරක් තැන්පත් කර ඇති අයුරු දකින්න පුළුවන්. සමාධි ඉරියව්වෙන් යුත් මේ බුදු පිළිම හතර ඉදිරිපිට මල් ආසන තබා තිබෙනවා. ගිරිහඬු සෑය වටා දක්නට ලැබෙන යෝධ ගල් කණු ඉපැරණි හෙළ ශ්‍රී විභූතිය මැනවින් කියා පානවා.

මෑත  ඉතිහාසය

වැලිමළුවේ දක්නට ලැබෙන වටදාගෙය.
වැලිමළුවේ දක්නට ලැබෙන වටදාගෙය.
මෑත යුගයේ 1929 දී පමණ මේ ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල් ලිපිය යළි හමුවන විට එහි නම නිතුපත්පාණ තිරියාය ලෙස වෙනස් වී තිබනවා. පසුව තිරියායේ ගිරිහඬු සෑය ලෙස මෙය ලෝක ප‍්‍රකට වූයේ ඒ අනුවයි.
කෙමෙන් එළි පෙහෙළි වූ තිරියායේ ගිරිහඬු සෑයේ නටබුන් පිළිසකර කරමින් අද පවතින තත්ත්වයට පත්කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනුයි. ගිරිහඬු සෑයේ බාරකාර හිමිනම වූයේ ගන්දර ආනන්ද නායක හිමියන්ය. එවකට ගිරිහඬු සෑය පණමෙන් බලාගෙන සිටි උන්වහන්සේට 1985 ජූනි 19 වැනිදා කොටි සංවිධානයේ තර්ජන එල්ල වීමට පටන් ගෙන තිබෙනවා. එමනිසා  ගන්දර හාමුදුරුවන්ටද පුදබිම අත හැර යන්නට සිදු උනා. පුදබිමෙහි වූ සියළු ගොඩනැගිලි ත්‍රස්තවාදීන් විනාශ කළද ගිරිහඬු සැය රැක බලාගන්නට අධිගෘහිත දෙවි දේවතාවන්ට හැකිවිම නම් බොදු ජනතාවගේ භාග්‍යයක් ලෙස සලකන්නට පුළුවන්.

ගිරිහඬු සෑය වඳින ගාථාව

ගිරිහඬු සෑය අද.
ගිරිහඬු සෑය අද.
බුද්ධෝ තපස්සු සහ භාල්ලික වනිජානං
දානං ලභිසමධු පිණ්ඩික ලාජ පුණ්ණං
තේසං සුදින්න නිහිතං මුනි කෙස ධාතුං
වන්දාමි සුන්දර ගිරිකණ්ඩි ඨූපං
(ගාථාව උපුටා ගැනීම : පූජ්‍ය ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද නායක හිමිපානණ් ගේ  “නීතුපත්පාණ – ගිරිහඬු සෑය” පොතිනි.)
ඡායාරූප : කංචන දිසානායක

No comments