Breaking News

සොබාදහම් මාතාව දරු දුකින්, මහ හඩින් හඬා වැටේ....! සියඹලන්ගමුවේ ඇතා මැරූ දා සේම රට පුරා මහ වැසි (PHOTOS)


අලින්ට දිවිගෙවීමට ඇති වනාන්තර කෘතිමව සකසනු වෙනුවට අලියා තම නිජබිමෙන් ඉවත්කිරීම අප කිසිවිටෙකත් අනුමත කරන්නක්‌ නොවේ. ගල්ගමුවෙන් – කලාවැවටත් (කහල්ල,පල්ලෙකැලේ අභය භූමිය) එතැනින් කරුවලගස්‌වැවටත් -තබ්බෝව හරහා විල්පත්තුවටත් යන්නට යළිත් දින උදාවන තුරු බලාසිටි “ගල්ගමුවේ මහ ඇතුන්” ලොරියක නැඟී තමාට නුහුරුම පරිසරයක්‌ වූ මාදුරුඔයට, උඩවලවට හෝ වෙනත් කැලෑවකට යන්නට කිසිදා සිතුවේද පැතුවේද නැත.
වසර 30ක් පමණ සියඹලන්ගමුව රක්ෂිතයේ වාසය කල ශී‍්‍ර ලංකාවේ දිගම දළ ඇති ඇතා ලෙසද සැලකෙන සියඹලන්ගමුවේ ඇතා මීට ටික කලකට ඉහතදී වනජීවි නිලධාරීන් උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී එම ලොරියේ තට්ටුව කඩා වැටී මිය ගියේය යන්න මාධ්‍ය හරහා ප්‍රචාරය වූවත් එම කථාවේ පිටුපසද යම් සැඟවුනු කථාවක් තිබුණි..
ඇතාගේ මරණය පිලිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරීතුමා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මිය ගිය බවයි.එහෙත් බොහෝ පරිසරවේදීන් මෙය ප්‍රතික්ෂේප කරනවා.ඔවුන් පවසන්නේ මෙවන් සද්ධන්ත ඇතෙකුට මෙයට වඩා කම්පනයක් වුවත් දරාගත හැකියි යන්නයි.කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණා.
මේ පිළිබද සැක මතුවෙන්නේ මරණය සිදු වූ ආකාරයත් ඇතාගේ සිරුරේ තිබුණු වෙඩි සලකුණු හා ලේ පැල්ලම් නිසයි.විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පෙර ඇතා ප්‍රවාහනය කල ලොරිය සෝදා පිරිසිදු කොට ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.ඇතා ප්‍රවාහනය කල එම ලොරි තට්ටුවේ ලේ පැල්ලම් රැසක් තිබු බවත් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට නොදන්වා ලොරිය පිරිසිදු කොට ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.තවද ඇතාගේ සිරවූ පාදයේ තුවාල කිසිවක් නොවූ බවද වාර්තා වේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව පොලිස්පතිතුමාට බාරදුන් අතර එහි සදහන් වුයේ මරණය අනපේක්‍ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි.
සියඹලන්ගමුවේ ඇතාගේ මරණය සහ වගකිවයුත්තන් සම්බන්ධයෙන් කිසිමදෙයක් සිදුවූයේ නැත. සියඹලන්ගමුවේ ඇතාගේ දළ යුගලයට සිදු වූ දෙයද කිවකුත් තවමත් දන්නේ නැත.
බරපහලම කාරණාව නම් මේ සිදුවීමට කෙලින්ම සම්බන්ධ වූ එවකට වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (සෞඛ්‍ය හා කළමනාකරණ) වෛද්‍ය තාරක ප්‍රසාද් අද වන විටද වන ජීවී දෙපාර්තුමේන්තුවේ සුපිරිතම පුටුවක රජ කරන හෙයිනි..
සියඹලන්ගමුව පන්සලේ ඇතා වල දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්‌ද සුදානම් කර තිබුණි.ඇතා වල දැමීමෙන් පසුව රාත්‍රියේ ආ වල්අලි රංචුවක්‌ ඇතා වළ දැමූ ස්‌ථානය වටේ කැරකී වළ මතට හිස තබා අවසන් ගෞරව දක්‌වා ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධිය සියෑසින් දුටු සියඹලන්ගමුවේ එච්. එන්. විඡේරත්න මහතා ඒ සංවේදී සිද්ධිය විස්‌තර කරමින්,” (28 දා) ගමේ ඔක්‌කොම සියඹලන්ගමුව පන්සලට එකතු වුණා. මොකද ඇතා මැරුණ දවසේ ඉඳන් ගමට අලි රංචු පිටින් එන්න පටන් ගත්තා. වෙනදා පන්සලට අලි ආවේ නැහැ. නමුත් ඇතා වළ දැම්මේ පන්සල් භූමියේ නිසා දැන් අලි පන්සලටත් එන්න පටන් අරගෙන. අපි පන්සලේ ඉන්නකොට රාත්‍රියේ අලි රංචුවක්‌ ඇවිත් ඇතා වළ දැමූ වළ වටේ ගිහින් පස්‌කන්ද උඩට හිස තබා නමස්‌කාර කරනවා දැක්‌කා. සමහර විට මේ මියගියේ ඒ අලි රංචුවේ නායකයා වෙන්න ඇති. ඇතා මැරුණ දවසේ ඉඳලා මේ වනතෙක්‌ හැමදාම ගමට අලි එනවා. ඒ නිසා අපි ඊයේ අයියනායක දෙයියන්ට බාරයකුත් වුණා” විඡේරත්න මහතා පැවැසීය.
එදාත් අද වගේම මහා අනෝරා වැස්සක් ඇද හැලුන අතර රත්නපුරයම ජලයෙන් යට විය..රටේ හැමෝම කතා වූයේ මෙය නම් ඇතූ මැරූ සාපයම වන බවයි..
ටික කාලයකින් එය මිනිස්සුන්ට අමතක විය…
දැනට සති දෙක, තුනකට පෙර අද යෝධ මාතෘකාවක් වී ඇති සාඩම්බර ගල්ගමුවේ දළ පූට්ටුවාද මරු තුරුලට යැව්වේ හිත් පිත් නැති තිරිසන්නුන් විසිනි.. වනජිවීය එයද යට ගහන්නට මාන බැලූ නමුත් පරිසර වේදීන්ගේ අප්‍රමාණ කෑ ගැහිල්ල නිසා අද දින පොලිස් විශේෂ කාර්යය බලකාය යොදා කල සොයා බැලීමක් අනුව ගල්ගමුවේ දළ පූට්ට්ටුවාගේ සිරුර සිත් පිත් නැති විදිහට දළ කපා දමා ගොස් තිබියදී හමුවිය….එයටද වනජීවී දෙපාර්තුමේන්තුවේ ඉහල ලොක්කන්ගේ සම්බන්ධයක් නොමැති බවට සහතිකයක් දෙන්නේ කව්රුන් විසින්ද..?
සියඹලන්ගමුවේ ඇතාගේ මරණය සිදුවූ දා වගේම අදත් මහා අනෝරා වැස්සක් ඇද හැලුන අතර ඒ අහඹු සිදුවීමක් ලෙස ඇතැමෙකුට කිව හැක..එහෙත් ස්වභාධර්ම මාතාවගේ නීතියට සියලුම දෙනා යටත් බව මතක තබා ගත යුතුය…
දේශපාලන ඇමතියෝ කොතෙක් පත් වුනත් දෙපාර්තුමේන්තුවේ කෙලි කෙලිමින්,ඇමතිව අල්ලේ නටවන නිලධාරීන් තට්ටු මාරු ක්‍රමයට පත් වේ..ඔවුනට වන සතුන්ගෙන් වැඩක් නැත..වනාන්තර ගහකොලෙන් වැඩක් නැත..වන සතුන්ට ගෙන්වන කෑම ටිකේ, තණකොල ගහේ සිටම අලි වැට දක්වාම කරන්නේ කොමිස් ගැහිල්ලය..එය වනජීවී දෙපාර්තුමේන්තුවට පමණක් විශේෂිත නොවේ…අනෙකුත් ආයතනත් එසේම විය හැක..එහෙත් අපගේ පණටත් වඩා ආදරය කරන සතුන්ට රැකවරණය සපයන ජනතා බදු මුදලින් නඩත්තු වෙන ආයතනයෙන්
අප එසේ බලාපොරොත්තු වන්නේ නැත..එසේ කිරීමට ඉඩ දෙන්නේද නැත..
අද දින අප විසින් දිගින් දිගටම අලි,ඇතුන් මිය යෑම පිළිබඳව සහ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිද්දිය සම්බන්ධයෙන් පරිසරවේදීන් කිහිපයක්ම අද දින වනජීවී දෙපාර්තුමේන්තුව වැඩබලන වනජීවී අධ්‍යක්ෂ මංජුල අමරරත්න සමඟ විශේෂ සාකච්චාවක්ද පැවැත්වූ අතර එහිදී බොහොම අපූරූ දෙයක් හෙළි වුනා.
ඒ අඩුම ගානේ වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් වූවත්, දැනට වැඩ බලන අධ්‍යක්ෂක වූවත් වන ජීවී අධ්‍යක්ෂ මංජුල අමරරත්න අඩුම තරමේ ලංකාවේ දැනට සිටින ඇතුන් සංඛ්‍යාව වත් හරි හැටි නොදැන සිටීමයි..එහිදී එය ඔහුට පමණක් දොස් පවරන්නේ නැතුව අපප්‍රකාශ කරන්නේ සමස්ථ වනජිවී දෙපාර්තුමේන්තුවේම හෙලුව අද පිළිඹිබු වූ බව නම් කිව හැක..
අවසානයේ මා එක දෙයක් සඳහන් කිරීමට කැමතිය…
මුදල් පසුපස හා පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් ජාති ජාතිත් පල දෙන ක්‍රියාවන් කිරීමත් සහ ඒවාට අනුබල දීමත් යන කාරණා දෙකටම ස්වභාව ධර්මයා විසින්ම නැවත ප්‍රතිඋත්තරය ලබා දෙනු ඇත…එවිට එය තරමඛ් සැර වීමට ඉඩ ඇත..මන්දයත් කර්මය අන් හැම දෙයකටම වඩා ප්‍රබල වන බව අප සිහි තබා ගත යුතු නිසාය…
අද වැටෙන සෑම ජල බිඳුවකම ඇත්තේ, ස්වභාවධම් මාතාවගේ කඳුලු විය හැක…සුළගේ සැර ස්වභාවධම් මාතාවගේ සුසුම්ලෑම විය හැක…ගහකොළ පවා කියාපාන්නේ තම මිතුරකුගේ ශෝකාන්තය විය හැක..
එබැවින් කල්පනා කරන්න…අද මුදල් වලින් ජීවත් වූවත් ඔබේ හෙට දවස කෙසේ විය හැකිද..? එය කා හට පැවසීමට හැකිද..?

No comments