Breaking News

ඇලෝසියස්, රවිගේ බිරිඳට, ඔනෙලා, මිනෙලා දියණියන් දෙදෙනාට යැවූ දුරකථන ඇමතුම් හා SMS මෙන්න...!



එළැඹෙන සඳුදා බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතැයි එම කොමිසම ඊයේ නිවේදනය කළා.

ඒ, විශේෂ සාක්ෂි විමසීමේ සැසිවාරයක් සඳහා එම කොමිසම ඊයේ යළි රැස් වූ අවස්ථාවේදී.

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම සඳහන් කළේ තමන් යොමු කරන ලද පළමු ප්‍රශ්නාවලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින්පි ළිතුරු සපයා ඇති බවයි.

තවත් ප්‍රශ්නාවලියක් අග්‍රාමාත්‍යවරයාට යොමු කර ඇති බව ප්‍රකාශ කළ කොමිසම පැවසුවේ ඊට පිළිතුරු අපේක්ෂාවෙන් සිටින බවත් එළැඹෙන සඳුදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි.

මේ අතර අද පැවති විශේෂ සාක්ෂි විමසීමේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පචුවෙල්ට්‍ රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් යන මහත්වරුන්ගේ ජංගම දුරකතන විශ්ලේෂණය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක යසන්ක ජයසිංහ මහතාගේ සාක්ෂි විභාග කළා.

ඔහු ඉදිරිපත් කළ වෝහාරික සන්නිවේදන විශ්ලේෂණ වාර්තාවේ දැක්වෙන්නේ 2015 වසරේ පෙබරවාරි මස 25 වන දින පැවති ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව අවසන් වි ටික වේලාවකට පසුව එවක මහ බැංකු අධිපති අර්ජුන් මහතා අග්‍රාමාත්‍යවරයාට දුරකතන ඇමතුම් දෙකක් ලබා දී ඇති බවයි.

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා සඳහන් කළේ මහ බැංකුවට රුපියල්බි ලියන 10 ක බැඳුම්කර ලැබී ඇති බවට හිටපු මහ බැංකු අධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවට අග්‍රාමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සඳහන් කළ බවයි.

එම දිනයේදී අමාත්‍ය සාගල රත්නායක, එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් පෙරේරා සහ අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් අතර ඇමතුම් සහ කෙටි පණිවිඩ හුවමාරු වී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා.

ඊට අමතරව සාක්ෂිකරු පැවසුවේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් අතරද දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවයි.

ඔවුන් දෙදෙනා මාමා සහ බෑණනුවන් බැවින් ඇමතුම් ලබාගැනීම විශේෂයක් නොවන බව ප්‍රකාශ කළ රජයේ නීතීඥවරයා පැවසුවේ විමර්ශනයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා ඇමතුම් තොරතුරු කොමිසමට ඉදිරිපත් කරන බවයි.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු, අර්ජුන් ඇලෝෂියස්ගේ ලේකම්වරියක් හා රියදුරෙකු සහ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අතරද දුරකතන ඇමතුම් 15 ක් හුවමාරු වී ඇති බව සාක්ෂිකරු පැවසුවා.

සාක්ෂිකරු සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අතර ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව වූ සමයේ දුරකතන ඇමතුම් 27 ක් හුවමාරු වී ඇති බවයි.

ඉන් 15 ක් ම හිටපු මහ බැංකු අධිපතිවරයාගේ දුරකතනයෙන් ලබාගත් ඒවා බව සාක්ෂිකරු පැවසුවා. 

සාක්ෂිකරුට අනුව ඇමතුම් 8 ක් කාර්යාල වේලාවෙන් පිටතදී හුවමාරු වී ඇති අතර දෙදෙනා අතර හුවමාරු වූ කෙටි පණිවිඩ ගණන 7 ක්.

මෙම ඇමතුම් හා කෙටි පණිවිඩ හුවමාරු වූ දිනයන් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව රජයේ නීතීඥවරයා සඳහන් කළා.

සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනත් කිසිදු ප්‍රාථමික අලෙවිකාර ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු සමඟ සිදුකළ දුරකතන සංවාද නොමැති බවයි.

බැඳුම්කර සිද්ධියේදී සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් ලංසු තැබීමේ අවසන් තීරණය ගත් ඉන්දික සමන් කුමාර හා අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් අතරද ඇමතුම් 30 ක් හුවමාරු වී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා.

ඊට අමතරව බැඳුම්කර සිද්ධියේ චෝදනා එල්ලවන තවත් නිලධාරීන් රැසක් සහ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අතර ඇමතුම් හුවමාරු වී ඇති බව සාක්ෂිකරු පැවසුවා.

සාක්ෂිකරු පැවසුවේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන් හමු වී අඩු පොලී අනුපාතයකට ලංසු තබන ලෙසට ප්‍රකාශ කළ අතර එම හමුවෙන් පසු අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම බැංකු ප්‍රධානීන්ට එක පිට එක ඇමතුම් ලබා දී ඇති බවයි.

අනතුරුව අර්ජුන් ඇලෝෂියස් මහතා ලබාගත් ඇමතුම් සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා.

මේ අනුව 2015 පෙබරවාරි 15 සිට ජුනි 20 දක්වා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හා පර්පචුවල් ට්‍රෙසරිස් අධිපති අර්ජුන් ඇලෝසියස් අතර දුරකථන ඇමතුම් 387ක් හුවමාරු වී ඇති අතර බැඳුම්කර සිද්ධිය සමයේ දුරකථන සංවාද 84ක් සිදුව තිබෙනවා.

ජනපති කොමිසමේ දී හෙළි වූ පරිදි හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ බිරිඳ (Merene Wiranthi) හා ඇලෝසියස් අතර දුරකථන සංවාද 320ක් සිදුව ඇති අතර කෙටි පණිවුඩ(SMS) පණිවුඩ සංඛ්‍යාව 12ක්.

එක දියණියක් වන ඔනෙල්ලා (Onella) හා ඇලෝසියස් අතර වූ දුරකථන සංවාද ගණන 18ක්.

රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ තවත් දියණියක් වන මිනෙලා ( Minella ) හා ඇලෝසියස් අතර දුරකථන සංවාද 05ක් සිදුව තිබෙන බවයි කොමිසමේ දී හෙළි වුයේ.

සාක්ෂිකරු පැවසුවේ අර්ජුන් ඇලෝෂියස් සහ සේවක අර්ථසාධක අරමුදලේ ඉන්දික සමන් කුමාර ඇතුළු රාජ්‍ය ආයතනවල බැඳුම්කර මිලදී ගැනීමේ බලය හිමි නිලධාරීන් සමඟ දුරකතන ඇමතුම්වලට අමතරව වයිබර්, වට්ස් ඇප් ඇමතුම්ද ලබාගෙන ඇති බවයි.

ඉන් ඇතැම් ඇමතුම් හුවමාරු වී ඇත්තේ බැඳුම්කර වෙළෙඳ පොළ පිළිබඳව ඉතා රහසිගත තොරතුරු අනාවරණය කෙරෙන මහ බැංකුවේ හමුවීම් පැවති දිනවල බව රජයේ නීතීඥවරයා සඳහන් කළා.

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ 8 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සමඟද අර්ජුන් ඇලෝෂියස් දුරකතන සංවාද ඇතිකරගෙන ඇති බව සාක්ෂිකරු පැවසුවා.

සාක්ෂිකරු පැවසුවේ ඉන් අර්ජුන් ඇලෝෂියස් සමඟ වැඩිම දුරකතන සංවාද සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා වන අතර එම සංඛ්‍යාව 62 ක් බවයි.

ඉන් 36 ක්ම මන්ත්‍රීවරයා විසින් ලබා ගෙන ඇති බව සාක්ෂිකරු සඳහන් කළා බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ 8 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සමඟද අර්ජුන් ඇලෝෂියස් දුරකතන සංවාද ඇතිකරගෙන ඇති බව සාක්ෂිකරු පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා සමඟ අර්ජුන් ඇලෝෂියස් දුරකනත සංවාද 23 ක් පවත්වා ඇති බව ප්‍රකාශ කළ සාක්ෂිකරු පැවසුවේ ඉන් 13 ක්ම අදාළ මන්ත්‍රීවරුන් ඇලෝෂියස්ට ලබාගෙන ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යසංක ජයසිංහ මහතා සාක්ෂි විමසීම අවසන් කරමින් පැවසුවේ අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ අර්ජුන් ඇලෝෂියස් යන මහත්වරුන් අතර හුවමාරු වී ඇති ඇමතුම් ගණන 2 ක් බවයි.




No comments