Breaking News

කලගුණ නොදත් ජාතියකට අමතක වූ අපේ කාලයේ මහා යතිවරයාණන් වෙනුවෙන් අප එක් විය යුත්තේ ඇයි? - ඔබට සෝම හිමි අමතකද?





සිංහල බෞද්ධ සමාජයේ නූතන පුනරුදයේ  පුරෝගාමියා ලෙස සැලකෙන අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිහිපත් කරමින් වාර්ශිකව පැවැත්වෙන  පහන් පූජාව සහ බෝධි පූජාව එළඹෙන දෙසැම්බර් 12 වන අගහරුවාදා දින සවස 06 ට මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

දේව ඇදහීම්, පසුගාමී, අගතිගාමී මතවාදයන් සහ  සංස්කෘතික  ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි විවේචනයන් සිදු කරමින්, බුදුරජාණන් වහන්සේගේ සැබෑ ධර්මය ජනතාව වෙත ගෙනයාම සඳහා ගංගොඩවිල සෝම හිමිපාණන් විසින් සිදුකල මෙහෙවර කිසිදා සිංහල බෞද්ධ සමාජයට අමතක කල නොහැක. 

සිංහලයා කල ගුණ මතක තබා ගන්නා ජාතියක් නොවන බව අවස්ථා ගණනාවකදීම තහවුරු වී තිබේ. සිය ජාතියේ සහ ආගමේ පැවැත්ම උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටු කල මේ සංඝ පීතෘවරයාණන්ට ගෞරව දක්වන දෙසැම්බර් 12 වනදා වත් ඒ වෙනුවෙන් කැපවීමට තරම් වර්ථමානයේදී බෞද්ධයින්ට ඒ දිනය වැදගත් නැත. 

උන්වහන්සේ මියගියදා, ලක් ඉතිහාසයේ අවමගුල් උත්සවයකට පැමිණි විශාලම ජනකාය කොළඹට ඇදී ආ අයුරු අපට මතකය. පෘතග්ජන තරුණ දරුවෝ දස දහස් ගණන් ඒ මහා යතිවරයාණන්ගේ නික්ම යාම ගැන කියමින් මහ හඩින් හඬ හඬා  උන්වහන්සේගේ ශ්‍රී දේහය පසුපසින් පැමිණි හැටි අපට මතකය. ඒ මහාජන ගඟ දැන් කොහෙද?

ධර්ම ප්‍රචාරණය උදෙසා විදේශ ගතවී සිටියදී අභිරහස් ලෙස උන්වහන්සේ අපවත් වීම අදටද නොවිසදුනු සහ පාලකයින් විසින් අමතක කල ප්‍රශ්ණයකි. ගැටලුවකි.  මේ මහා සිංහල බෞද්ධ රාජ්‍යයේ උන්වහන්සේගේ මරණයට පවා සාධාරණයක් ඉෂ්ඨ කිරීමට සිංහල බෞද්ධ සමාජය අසමත් වීම කෙතරම් අභාග්‍ය සම්පන්නද?

ආර්‍ය මාර්ගය අපට කියා දුන් ඒ මහා යතිවරයාණන්ගේ ගුණ සිහිපත් කරන්නටත්, රට ජාතිය වෙනුවෙන් සිංහල බෞද්ධ  බලවේගයක් ගොඩ නගන්නටත් තරුණ අප ඔබ සියලු දෙනාම එක් විය යුතු කාලය එළඹ ඇතැයි අප සිතමු. 

දෙසැම්බර් 12 වනදා පක්ෂ, පාට කිසිදු බේදයකින් තොරව ඔබ සියලු දෙනාටම මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයට සුදුවතින් සැරසී පැමිණෙන්න යැයි අප ඔබට ඉතා ආදරයෙන් ආරාධනා කරමු.

වල් වැදී ඇති, යන මග හා යායුතු මඟ නොදත් සිංහල ජාතියත්, බෞද්ධ සමාජයත් නිවැරදි මග යාමට සූදානම් බව අප ලොවට හඬගා කියමු. උගත් බුද්ධිමත්  සිංහල බෞද්ධ බලවේගය ගොඩනගමු.


No comments