Breaking News

වර්ජකයින්ට ලිපි යවා 'ජනතාවට විකල්ප ක‍්‍රම සොයාගන්නැයි දැනුම් දෙන්න' සූදානම් ලු



අලුත් සතියක් ආරම්භ වන අද (11) දිනයේ ද සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු නොවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.


ඒ, වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය මේ වනතෙක් අවසන් නොවීම හේතුවෙන්.

ඊයේ (10) පස්වරුවේ ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු සමග පැවති සාකච්ඡා අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ දුම්රිය වෘත්තීය සමිති අතර ද ඊයේ දිනයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එහි ප‍්‍රධාන අරමුණ වූයේ හෙට (12) දිනයේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් ඊට සහභාගී වන සිසුන්ට ඇති විය හැකි බලපෑම් වළක්වා ගැනීමයි.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳව හෝ සලකා දුම්රිය ධාවනය කරන්නේදැයි වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවලින් නෙත් නිවුස් විමසීමක් කළා.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති ලාල් පරණවිතාන සඳහන් කළේ "අපිත් උත්සහ කරන්නේ සාමාන්‍ය පෙළ දරුවන්ට අපහසුතාවයක් සිදු නොවන අයුරින් කටයුතු කරන්නයි.. නමුත් පාලනාධිකාරිය අපිට පිළිගත හැකි පිළිතුරක් දෙන්න ඕනේ..ඒ නිසා කවුරුහරි මේකට මැදිහත් වෙලා සාධාරණ විසඳුමක් ලබා දෙන්න ඕනේ. ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා අපිට ලිඛිත පොරොන්දුවක් ලබා දෙනවා නම් වර්ජනය අත්හැරලා විභාගය වෙනුවෙන් දරුවන්ට දුම්රිය ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න අපි සූදානම්." යනුවෙන් සඳහන් කළා.

ඉකුත් 06 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ එන්ජින් රියදුරන් පළමුව වර්ජනය ආරම්භ කළේ දුම්රිය එන්ජින් සහයකවරුන් බඳවා ගැනීමේ ක‍්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කර ගනිමින්. පසුව ඊට විසඳුම් හිමිවුණා.

එහෙත් දුම්රිය රියදුරන් ද ඇතුළත් වන තවත් වෘත්තීය සමිති 04ක් ඇතුළත්ව ඉන් අනතුරුව යළි වැඩවර්ජනයක් ආරම්භ කළේ වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින්. 

වර්ජනය හේතුවෙන් ඊයේ (10) දිනයේ ද දුම්රිය ගමන්වාර 200ක් පමණ අවලංගු වුණා. සතියේ දිනයක සාමාන්‍යයෙන් සිදු වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 325ක්. එම ගමන්වාර සම්පූර්ණ කරන දුම්රිය සංඛ්‍යාව සියයකට අධිකයි. ඒ අතරින් දෛනිකව ධාවනය වන කාර්යාල දුම්රිය සංඛ්‍යාව 40ත් 50ත් අතර වනවා.   

ඒ අනුව කෙසේ හෝ අද දිනයේ දී කාර්යාල දුම්රියවත් හැකි පමණ ධාවනය කරවීමට අපේක්ෂා කරන බවයි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ. මේ වනවිට වැඩවර්ජනයට එක්ව නොමැති දුම්රිය රියදුරු සංගම් දෙකක සාමාජිකයින් යොදා ගනිමින් එම දුම්රිය ධාවනය කරන බව ඔහු සඳහන් කළා. 

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් සේවයට වාර්තා නොකරන්නේ මන්දැයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ සභාපති ලාල් පරණවිතානගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ එය වෘත්තීය සමිති මර්දනය කිරීමට යොදා ගත් තර්ජනය කිරීමක් සේ සලකන බවයි.

කෙසේවෙතත් සේවයට වාර්තා නොකරන සියලූ දෙනා සේවය අත්හැර ගියා සේ සලකා කටයුතු කරන බවයි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ වැඩිදුරටත් කියා සිටියේ. දුම්රිය සේවකයන් සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකා ලිපි යොමු කරන බවද සඳහන් කළා. ඉන් අනතුරුව ජනතාව දැනුවත් කර හැකි තරම් විකල්ප ගමනාගමන පහසුකම් සලසා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බවද පැවසුවා. 

දුම්රිය වර්ජනය පැවති ඉකුත් දිනවල ද දුම්රිය වාර කිහිපයක් ධාවනය කෙරුණා. වර්ජනය පැවතීම හේතුවෙන් දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍රයෙන් තවදුරටත් ලංගම බස් රථවල ගමන් කළ හැකි බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(under the courtesy of nethnews.lk news web)

No comments