Breaking News

දළ පුට්ටුවාගේ දළ යුගළ-ගජමුතු කොළඹ ගෙනියන්න කළ ඉල්ලීම කුණු කූඩෙට


ඝාතනයට ලක් වූ ගල්ගමුවේ දළ පුට්ටුවා හස්ථියාගේ දළ යුගළ සහ ගජමුතු වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන යාමට අවසර දෙන්නැයි සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීම මහව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය හා එක්ව ජාතික  සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා මෝසමක් මඟින් ඊයේ අධිකරණයෙන් කළ ඉල්ලීම මහව අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා ප්‍රතික්ෂේප කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


ඇත් දළ යුගළ සහ ගජමුතු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ අධිකරණය තුළ සිදුකිරීමට නොහැකි බැවින් එම ඇත් දළ සහ ගජමුතු  කොළඹට රැගෙන ගොස් තක්සේරු වාර්තාවක් ලබා ගැනීම සඳහා ඒවා කොළඹට රැගෙන යාමට අවසර ලබාදෙන ලෙස  සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

අදාළ ඉල්ලීම සලකා බැලූ මහව මහේස්ත්‍රාවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුව ඉදිරියට පවත්ගෙන යා හැක්කේ පරිවේෂණීය සාක්ෂි මත පමණක් බැවින් එම සාක්ෂි රදා පවතින්නේ ඇත් දළ යුගළ සහ ගජමුතු මත පමණක් බවයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඝාතන සිද්ධියට අදාළ සියලු පරික්ෂණ කටයුතු තමන් වෙත පවරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසයි නිකවැරටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාට අධිකරණය නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළව නඩු විභාගය අද දිනයේ කැඳවීමට නියමිතව තිබේ. 

(under the courtesy of adaderana.lk news web)

No comments