Breaking News

මේසන් බාස්ලට අත්වැඩ දුන්නා..පිටකොටුවේ කඩේක බිල් ලිව්වා..රෑට නිදාගෙත්තේ නාටාමිලා නිදාගන්න තැන..දවසක් කන්න නැතුව ගිහින් ටවුන්හෝල් ළඟදී සිහි නැතිවෙලා වැටුණා - චාමර

චාමර ප්‍රියදර්ශණ කියන්නේ පුංචි තිරය හරහා නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙන චරිතයක්.හැබැයි චාමර නළුවෙක් වෙන්න ගමේ ඉඳන් කොළඹ ආපු ගමන නම් ලේසි පහසු එකක් වෙලා නැහැ.ඒ ගැන චාමර පහුගිය දවසක පුවත්පතකට කියලා තිබුණා. 
චාමර ජීවිතයේදී වැඩියෙන්ම සතුටු වුණේ කවදද?
කොළඹින් ඈත මහනුවර තෙල්දෙණියේ ඉපදිලා ජීවිතේ තිබුණු එකම හීනය, ඒ කියන්නේ නළුවෙකු වීමේ හීනය ඉටු කරගන්න ගමෙන් කොළඹ ඇවිත් අද දක්වා ආ ගමන, තවත් ඉදිරියට යන ගමන තමයි මගේ එකම සතුට.

 ඒ ගමනේදී ලැබූ  සතුටුදායකම අත්දැකීම?
අද මම පාරේ යද්දී මිනිස්සු මාව අඳුනගෙන “චාමර” කියලා කතා කරනවා. ඒ වෙලාවට දැනෙන සතුට තමයි ජීවිතයේ විඳින ලොකුම සතුට.

 ඒ වගේම දුක්බර  අත්දැකීමුත් ඒ ගමනේ ඇති?
අනන්තයි... අප්‍රමාණයි.

 ඒ අතුරින් ප්‍රබලම දුක්ඛදායක අත්දැකීම?
ඒ දවස්වල ආධුනික නළුවො හොයනවා කියල ආරංචියක් ලැබුණොත් මම එතැනට යනවා. සමහරු මට එන්න කියලා බොරු ලණු දෙන අවස්ථා තියෙනවා. දවස පුරා කොළඹ නගරයේ තැන් තැන්වලට මේ විදියට යන්න අතේ සල්ලි තියෙන්න ඕන හින්දා කෑම බිම අඩු කරන්න වෙනවා. ඔය විදියට දවස් දෙකක් මම කන්නේ නැතුව ගමන් ගියපු අවස්ථාත් තිබුණා. දෙවැනි දවසේදී ටවුන්හෝල් එකේ යද්දී මම සිහි නැතිවෙලා වැටුණා. සිහිය එද්දී මම කොළඹ ජාතික රෝහ‍ලේ. එදා මගේ ජීවිතේ දුක්බරම මොහොතේදී මාව රෝහල්ගත කළ නාඳුනන කෙනා කවුද කියලා අදටත් මම දන්නේ නැහැ.

 කොළඹ ඇවිත් නළුවෙක් වෙන්න යන ගමනේදී නවාතැනක් හොයා ගන්න එකටත් දුක් විඳින්න ඇති...?
මගේ මාමලගේ ගෙදර හිටියා. අයියගෙ ළඟ හිටියා. ඒ අය මට හොඳට සැලකුවත් මම ඒ අයට බරක් කියන හැඟීම මට තිබුණා. ඒ හින්දා මමම නවාතැන් හොයා ගත්තා. පන්සල්වල පවා සිටියා.

 ඔය ගමනට මුදල් හදල් හොයා ගන්න එක ඊටත් වඩා දුෂ්කර ක්‍රියාවක් වෙන්න ඇති.
මේසන් බාස්ලට අත්වැඩ දීල තියෙනවා. පිටකොටුවේ කඩේක බිල් ලියලා තියෙනවා. පිටකොටුවේ වැඩ කරන කා‍ලේ මම රෑට නිදාගෙත්තේ නාටාමිලා නිදාගන්න තැන. නාන්න, රෙදි හෝදගන්න රුපියල් 10ක් දීලා ‍පොදු ටැංකිය තමයි පාවිච්චි කළේ.
 ඔය යන ගමනේදී ජීවිතේදි සතුට වගේම දුක එක්කළ විවිධාකාර පුද්ගලයන් හමුවන්න ඇති?
වැඩිපුරම හමුවුණේ ජීවිතේට දුක එකතු කළ අය. විවිධාකාර අදහස් තියෙන කපටි පුද්ගලයන් හමුවුණා. නොයෙක් රැවටීම්වලට ලක්වුණා. ඒ වගේම ගොඩක් හොඳ අය හමුවුණා. රඟපාන්න පුංචි පුංචි චරිත ලැබුණා. ඒ විදියට උදව් කළ අයත් බොහොමයක් ඉන්නවා. ටෙලි නාට්‍ය 30ක 40ක පුංචි පුංචි චරිත රඟපාලා ඉන්න අතරේදී සන්ධ්‍යා මෙන්ඩිස් නිෂ්පාදනය කළ රංජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ “සිහින පුරය” ටෙලි නාට්‍යයේ සැලකිය යුතු චරිතයක් ලැබුණා. ඒ විදියට උදව් ලැබුණා.අද වන විට මම පිළිබඳව යම් විශේෂයකින් හොඳ චරිත ලබාදෙමින් උදව් කරන අය ඉන්නවා.

 අපි මෙච්චර වෙලා කතා කළේ කලා ජීවිතේ සතුට හා දුක ගැනනේ. ආදරයේ සතුට හා දුක විඳලා නැද්ද?
විඳල තියෙනවා.

 ඒ සතුට හා දුක ගැනත් කතා කරමු.
ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක්. ඒ සතුට දුකකට හැරුණේ ඒ ප්‍රේමය බිඳී යාමත් එක්ක. දෙවැනි ප්‍රේමය ඇතිවුණේ කොළඹදී. ඒත් ඇය හා ඇගේ පවුල් පසුබිමේ අය ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය. මම උසස් පෙළ කරලනේ ගමෙන් කොළඹ ආවේ. ඇයට මා ගැන හොඳ අවබෝධයක් තිබුණත් ඇගේ පවු‍ලේ අයට මාව මදි වුණා. ඒ හින්දා ඒ ප්‍රේමයේ සතුටත් දුකකට හැරුණා.

 ඔබ අද ඔබේ ජීවිතය ගැන, ආදරය ගැන සතුටු වනවාද?
මම වෙනත් රැකියාවක් නොකර නළුකම තුළම තමයි රැඳිලා ඉන්නේ. අද වෙද්දී යම් ස්ථාවර මට්ටමක ඉන්නවා. දැන් ඉතින් ආදරයක්් විවාහයක් දක්වා අරගෙන ගිහින් ජීවිතයේ සතුටුදායක තවත් අලුත් ආරම්භයක්  ලබන්න මම ආසාවෙන් ඉන්නේ.

No comments