Breaking News

අපි කවුරුත් හොඳ මිනිස්සු නෙමෙයි

පුංචි තිරයට පෙම්වතියක් වූ රිතූ ආකාර්ශා තවමත් පෙම්වතියගේ චරිතයට පණ පොවන්නේ ප්‍රේක්ෂක ආදරය දිනාගනිමිනුයි. නිරන්තරයෙන්ම රූපවාහිනියෙන් දකින්නට ලැබෙන ඇය රූප රචනා හා ටෙලි නාට්‍ය වල බෙහෙවින් ජනප්‍රියයි. එළඹෙන නත්තල් සමයේ කාර්යබහුලව ගතකරන රිතූ පෞද්ගලික ජීවිතයේ තොරතුරු කියන්නට සතිඅන්ත පුවත්පත් සාකච්ජාවකට එකතුවෙලා තියෙනවා.
''මේ වෙනකොට නම් මම නත්තලත් එක්ක සහ අලුත් අවුරුද්දක් එක්ක බිසිවෙලා තියෙනවා. මාසෙකට කළින් ෆ්‍රී වෙලා හිටියා. අලුත් අවුරුද්දට නාට්‍ය 02ක් පටන් ගත්තා. ඒවගේම කරපු නාට්‍ය ඉවර වුණා. මගේ වැඩ කටයුතු සුපුරු පරිදි කරගෙන යනවා. මිනිසුන්ගේ මතකයේ හැමදාමත් රැදෙන්න තමයි මම හිතන් ඉන්නේ. මම ගොඩක් ක්‍රීඩා කරපු කෙනෙක්. ගුවන් සේවිකාවක් වෙන්නත් අදහසක් තිබුණා. නමුත් ඒක මගහැරිලා මේ ක්ෂේත්‍රයට යොමු වෙලා තියෙනවා.''

කටකතා ගැන මගේ විශ්වාසයක් නැහැ.

''ඉස්සර නම් කටකතාවක ඇත්තක් තිබුණා. නමුත් අද කාලේ වෙනකොට කටකතා කියන ඒවා කටකතාම තමයි. කටින් කටට යන ඒවා. ඒක ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තියෙනවා. මම කොහොමත් කටකතා විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඇස් දෙකෙන් දැකලා, කනෙන් අහන දෙයක් ඇරෙන්න මම කවුරුත් කියන ඒවා විශ්වාස කරන්නේ නැහැ. කටකතා කියලා මම නම් කියන්නේ  අද කාලේ ඊර්ෂ්‍යාවට කියන කතා. මනුස්සයෙක් කැමති නෑ තවත් මනුස්සයෙක් ඉස්සරහට යනවට. අපිට කාගේවත් දේවල් විනිශ්චය කරන්න බැහැ. අපි කවුරුත් හොඳ මිනිස්සු නෙමෙයි. ඒ නිසා කටකතා කියන දේවල් මට අදාළ නෑ. මට මගේ දේවල් ඇරෙන්න අනිත් අයගේ  දේවල් අදාළ නෑ. ඒ නිසා  ගින්නක්  නැතිව දුමක් නැග්ගත් මට අදාළ නෑ. මම හිතන්නේ කටකතා කියන්නේ බොහෝ වෙලාවට බොරු දේවල්.''

ජීවිතයම කියන්නේ හීනයක් කියලයි මම හිතන්නේ.

''ජිවීතයම කියන්නේ හීනයක්. කලා කටයුතු කරගෙන සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි මට අවශ්‍ය. මගේ රැකියාවයි, පෞද්ගලික ජීවිතයයි ලස්සනට ගත කරන එකයි මගේ හීනේ.''

විවාහය ගැන හිතනවා කාලය ආවාම.

''විවාහ යෝජනා නම් ගැණූ ළමයෙක්ට ගොඩක් එනවා. මටත් ඇවිල්ලා තියෙනවා. විවාහය කියන එක කලට වෙලාවට සිද්ධවෙයි. අපි කවදාවත් හිතන දේවල් නෙමෙයි අපිට වෙන්නේ. අවුරුදු 27ක් වුනා මට. හරි උරුමක්කාරයා හම්බවුණාම ඒ කාලේට ඒ දේවල් වෙයි. දැනට නම් කලා වැඩකටයුතු සතුටින් සැහැල්ලුවෙන් කරගෙන ජීවිතය ගත කරන්න තමයි අදහස.''








No comments