Breaking News

හිරේට ගිය තාත්තා බේරගන්න නීතීඥවරියක් වෙන්න හදන දිරිය දියණිය!


ඇයට කුමුදු යෑයි කියමු. කුමුදු දකුණු පළාතේ පිහිටි ජනප්‍රිය බාලිකා පාසලක ඉගෙනුම ලබන්නීය.

මේ දැරිවිය පවුලේ එකම දියණිය වූවාය. කුමුදුගේ පියාට හරිහමන් රැකියාවක්‌ නොතිබූ අතර එදිනෙදා කුලී වැඩ කිරීමෙන් ලැබෙන ආදායමෙන් ජීවිතය සරිකරගනු ලැබීය.
මේ දියණියගේ මවද ගෙදරට වී නිකන් සිටියේ නැත. ඇය මැහුම් ගෙතුම් වැඩ කිරීමෙන් තම සැමියාට ශක්‌තියක්‌ වූවාය. පවුලේ එකම දරුවා වූ මේ දියණියට මවත් පියාත් දැක්‌වූයේ දැඩි ආදරයකි. සෙනෙහසකි.
 
කුමුදු ඉගෙනීමට ද දක්‌ෂ දැරියක්‌ වූවාය. දහසකුත් එකක්‌ වූ ආර්ථික ප්‍රශ්නවලට ද මේ දියණියට මුහුණ දීමට සිදු වූවාය. ඇය ඒ සියලු අභියෝග හමුවේ නොසැලි අධ්‍යාපන කටයුතු කරගෙන ගියාය.
කුමුදුගේ දෙමවුපියන්ගේ අරමුණ වූයේ ද දියණියට හොඳ අධ්‍යාපනයක්‌ ලබා දීමයි. වෙනත් දියණිවරුන්ට මෙන් ඇයට සපත්තු ජෝඩු දෙක තුනක්‌ තිබුණේ නැත. පාසල් නිල ඇඳුම් තුන හතරක්‌ තිබුණේ නැත.
එහෙත් ඒ අඩුපාඩු කිසිවක්‌ ඇය අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක්‌ කර නොගත්තාය. දිරියෙන් නැඟී සිටීම මේ දියණියගේ එකම බලාපොරොත්තුව විය.
කුමුදුගේ පියා ඉතා අහිංසක පුද්ගලයෙකි. ඔහු තමන්ගේ පාඩුවේ ජීවත් වූ අයෙකි.
දකුණු පළාතේ පිහිටි ගම්මානයක මොවුන් පදිංචිව සිටියහ. අසල්වැසියකු විසින් කුමුදුගේ පියාට නිතර නිතර කරදර කළේය. ඒ ඉඩම් ආරවුලක්‌ මුල්කරගෙනය. ඇතැම් දිනවල මේ පුද්ගලයා කුමුදුගේ පියා සමඟ ගැටුම් ඇති කරගනු ලැබීය. අවසානයේ දෙදෙන අතර පැවති මෙම ගැටුම පොලිස්‌ පොතේද සටහන් විය.
එහෙත් කුමුදුගේ පියාට මෙකී පුද්ගලයාගෙන් එල්ලවන හිරිහැර වලින් අඩුවක්‌ නොවීය. එහෙත් දියණිය නිසා ඔහු සියල්ල ඉවසා දරාගෙන සිටියේය. අනේ තාත්තේ ඔය මිනිහත් එක්‌ක රණ්‌ඩුවට යන්න එපා.
මේ ඉඩකඩම් අපි යනකොට අරගෙන යන ඒවාද එවකට අට වසරේ ඉගෙනුම ලැබූ කුමුදු තම පියාට නිරතුරුව කීවාය.
එක්‌ දිනක මෙකී පුද්ගලයා මේ අය පදිංචිව සිටි ඉඩමට පැමිණ වැට මායිම් වෙනස්‌ කරනු ලැබීය. මෙහිදී කුමුදුගේ පියාගේ ඉවසීමේ සීමාව ඉක්‌මවා ගොස්‌ තිබුණි. කොටින්ම කිවහොත් ඔහුගේ රතු කට්‌ට පැන තිබුණි. ඉවසා සිටීමට නොහැකි තැන මොහු මෙකී පුද්ගලයාට පොලු පහරක්‌ ගැසුවේය.
පොල්ලකින් පහර දුන්නේ මැරීමේ චේතනාවකින් නම් නොවේ. එහෙත් පොලු පහරන් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා මිය ගියේය. කුමුදුගේ පියා පොලිස්‌ අත්අඩංගුවට පත්විය. පොලිසිය විසින් මිනී මැරීමේ චෝදනාව යටතේ මොහුට විරුද්ධව නඩු පවරනු ලැබීය. ඔහු ඒ චෝදනාවට වරදකරු වූ අතර අධිකරණයෙන් ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කෙරිණි.
අනපේක්‌ෂිතව සිදුවූ මෙම සිද්ධියත් සමඟ කුමුදු තම මවත් සමඟ තනි වූවාය.
පවුලේ අගහිඟකම් වැඩිවන්නට විය. කුමුදුගේ පාසල් මිතුරියන් ද මුලදී ඇය දෙස බැලුවේ වපර ඇසිනි. එහෙත් මේ දියණිය ඒ කිසිදෙයකින් කම්පා නොවූවාය. කුමුදුගේ මව කුලී වැඩට ගියාය. කුලී වැඩ කිරීමෙන් ලැබෙන හැම ශතයක්‌ම වියදම් කළේ තම දියණිය වෙනුවෙනි.
පියා සිරගතවූවා යෑයි කියා මේ දිරිය දියණිය හඬ හඬා සිටියේ නැත. ඇය හදවතින් හැඬූ වාර අනන්තය. එහෙත් ඇය හිත ශක්‌තිමත් කර ගත්තාය. ඇය ඉතා හොඳින් සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියාය. එහි ප්‍රතිඵලය වූයේ ඇය අ.පො.ස සා.පෙළ විභාගයෙන් ඉතා ඉහලින් සමත් වීමය. ඇය විෂයන් නමයටම ඒ සාමාර්ථ ලබා ගත්තාය.
පියා සිරගත වූවා යෑයි කියා මේ දිරිය දියණිය පසුබට වූයේ නැත. පියා බේරාගැනීමට සිටින එකම ගැලවුම්කාරිය තමන් බව ඇය සිතුවාය.
තම පවුලට සමාජ අසාධාරණයක්‌ වී ඇති බවට ඇය විශ්වාස කළාය. සමාජ අසාධාරණයට එරෙහිව ඇති එකම විසඳුම තමන් හොඳින් ඉගෙන ගැනීම බවට ඇය අදිටන් කර ගත්තාය. සමාජයෙන් එන අපවාද ඇය තුට්‌ටුවකටවත් ගණන් නොගත්තාය. අ.පො.ස සා.පෙළ ප්‍රතිඵල නිකුත්වූ දින ඇයගේ දෑස්‌වලින් සතුටු කදුළු වැගිරෙන්නට වූවාය. සිරගතව සිටින පියා මතක්‌ වන විට ඇයට එය වාවා ගැනීමට නොහැකි වූවාය. අද තාත්තා ගෙදර හිටියා නම් කොච්චර සතුටු වෙනවාද. පවුලටම එකතුවෙලා අපිට ඒ සතුට සමරන්න තිබුණා. කුමුදු තම මවට කීවාය. ඇය කුමුදුගේ හිස අතගා ඇය අස්‌වසාලීමට කටයුතු කළාය.
මේ සුබ ආරංචිය කියන්න මවත් සමඟ බන්ධනාගාරයට ගිය දිනය මේ දිරිය දියණියට හොඳින් මතකය. බන්ධනාගාරයේ දැල් අතර සිටි කුමුදුගේ පියාට දියණිය දැකීමෙන් දෑස්‌වලින් කඳුළු කැට රූරා වටෙන්නට වූවාය. තාත්තේ මම විභාගයෙන් ඉහළින් සමත් කුමුදු කීවාය.
පියා තම දියණියට ආශිර්වාද කළාය. එහෙත් දියණිය සිප වැළඳ ගැනීමට ඇගේ හිස අතගා ආශිර්වාද කිරීමට මෙම පියාට ඉඩක්‌ නැත. තාත්තේ කවදාහරි මා තාත්තාව බේරා ගන්නවා කුමුදු දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කීවාය. ඔහු තම දියණිය දෙස ඉතා උපේක්‌ෂා සහගතව බලාගෙන සිටියාය.
මගේ සිහිනය තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීම. නිතිඥවරියක්‌ වීම තමයි මගේ බලාපොරොත්තුව. මා හඬන්නේ නැහැ. මගේ අධිෂ්ඨානයක්‌ තියෙනවා. මගේ තාත්තා ජීවිතාන්තය දක්‌වා මරණයට කැපවුණේ මැරීමේ චෙතනාවෙන් මිනී මරලා නෙවෙයි.
තාත්තා කන බොන මනුස්‌සයෙක්‌ නෙවෙයි. අපේ පවුලට කරන පීඩාව ඉවසා දරා ගැනීමට නොහැකි තැන තාත්තා මේ පුද්ගලයාට පහර දුන්නා. පහර දුන්නේ ඔහු පාලනය කිරීමට. මට හොඳට මතකයි මීට අවුරුදු ගණනාවකට පෙර වූ ඒ සිද්ධිය. නමුත් අවාසනාවකට එම පුද්ගලයා මියගියා. තාත්තාට පක්‌ෂව කියන්න සාක්‌ෂි තිබුණේ නැහැ. මගේ එකම බලාපොරොත්තුව නීතිඥවරියක වී මගේ සුදු තාත්තා බේරාගැනීම මේ දිරිය දියණිය කියන්නට වූවාය.
ඇය මෙවර අ.පො.ස උසස්‌ පෙළ විභායට කලා විෂය ධාරාවෙන් පෙනී සිටියාය. ඇය එම විභාග කඩඉමින්ද ඉහලින් සමත්වි නීති විද්‍යාලයට ඇතුල්වීමට හැකි බවට ඉර හඳ මෙන් විශ්වාසය. ඇයගේ එකම බලාපොරොත්තුව වන්නේ නිතිඥවරියක වී තම පියා බේරාගැනීමයි.
දඬුවම් විඳින සිරකරුවන්ගේ පවුල්වල අයට බන්ධනාගාරය තුළදී වසරකට එක්‌වරක්‌ හමුවීමට අවස්‌ථාව උදාවන්නේය. ඒ සිරකරු සුබසාධන දිනය යෙදී ඇති සැප්තැම්බර් මස 12 වැනිදාය. එදින අප මේ කියන දිරිය දියණියට හා මවට තම පියා බන්ධනාගාරය තුළදී හමුවීමට අවස්‌ථාව උදාවූහ.
සිරදඬුවම් විඳින සිරකරුවකු බන්ධනාගාරය තුළදී පවුලේ ඥාතීන් හමුවූවිට ස්‌පර්ශ කිරීම තහනම්ය. කථා කළ හැක්‌කේ දැල් කූඩුවට මෙපිටින් සිටය. නමුත් වසරකට වරක්‌ උදාවන මේ දිනය තුළ මේ දියණිය මව සමඟ පැමිණ සිරදඬුවම් විඳින මේ පියා හමුවී විනෝද වූහ. සිරදඬුවම් විඳින පියා සුදු සරමකින් හා කමිසයකින් සැරසී සිටියේය. පියා කැමැති ආහාරපාන දියණිය හා මව විසින් සකස්‌කරගෙන ගොස්‌ තිබුණි.
එදා තම දියණිය සිප වැළඳ ගැනීමට පියාට අවස්‌ථාව උදාවිය. පියා හා දියණිය එකිනෙකා බදා ගනිමින් දුක සතුට බේදාගනු ලැබීය. දියණියගේ මෙන්ම පියාගේ දෑස්‌වලින් කඳුළු කැට රූරා වැටෙන්නට වූහ. තාත්තේ මම තාත්තව බේරා ගන්නවා දියණිය කීවාය. පියා බන්ධනාගාරය තුළ වෘත්තීය පුහුණුවක්‌ ලබමින් සිටියේය.
ලී කැබැලි එක්‌කොට සෑදූ මාල පොටක්‌ පියා විසින් මේ දියණියට තිළිණ කළේය. දියණිය ඒ මාලපොට භාරගනු ලැබුවේ ඉහවහා ගිය සතුටකිනි. හෙල්පෝ ආයතනය මගින් මෙවැනි දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්‌ දැනට වසර 20 ක පමණ සිට ක්‍රියාත්මක කරනු ලබන්නේය. මේ දිරිය දියණියට ද අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්වයක්‌ ලබා දීමට හෙල්පෝ ආයතනයේ සභාපති චතුර වැලිවිටිය මහතා විසින් කටයුතු කර තිබුණි.
මේ දිරිය දියණිය තම පියාගේ දෑතින් අල්ලාගෙන පැමිණ එම ශිෂ්‍යත්වය ලබා ගනු ලැබුවේ සිරකරු සුබසාධක දිනය තුළ පැවති පවුල් හමුවේදීය.
මා වරදක්‌ කළේ නැහැ. මා නීතියෙන් වරදකරුවකු වී තියෙනවා. පහර දුන්නු එක ඇත්ත. ක්‌ෂණික කෝපය නිසා තමයි මේ සිද්ධිය වුණේ. ඒ ගැන දැන් මට ඇත්තේ කනගාටුවක්‌ මිනීමැරුමක්‌ කරන්න මට අවශ්‍ය වුණේ නැහැ මේ දිරිය දියණියගේ පියා කීවේය.
මේ දිරිය දියණිය ආදර්ශවත් චරිතයක්‌. තාත්තා සිරගත වූවා කියලා ඇය කම්පා වුණේ නැහැ. දිරියෙන් නැඟී සිටියා. මව ඇයට විශාල ශක්‌තියක්‌ වුණා. සමාජ අසාධාරණයේ දී වගකිවයුතු ආයතනවල සමාජ කාර්යභාරය නිසි අයුරින් ඉටු කළ යුතු වෙනවා. පැමිණිල්ලක්‌ ආ විට නිසි ලෙස විභාග වුණා නම් මේ දියණියගේ පියාට මේ වගේ දෙයක්‌ උරුම වන්නේ නැහැ.
බන්ධනාගාරගතව සිටින දූ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සඳහා උදව් කරනවා නම් එය විශාල පිනක්‌. ඒ විතරක්‌ නෙවෙයි, මේ දරුවන් වෙනුවෙන් මා පිය කැපකරු ක්‍රමයක්‌ ඇති කරන්න ඕන. එහෙම වුණොත් ඒ දරුවන්ගේ අනාගතය යහපත් කරන්න පුළුවන්. අම්මා තාත්තා දෙන්නම සිරගතව සිටින දරුවන් ද ඉන්නවා. හෙල්පෝ ආයතනයේ සභාපති චතුර වැලිවිටිය මහතා කීවේය.

No comments