හිටපු විධායක චමත් පලිහපිටියට ෆේස්බුක් සමාගම ප්‍රතිචාර දක්වයි..! | Reporter හිටපු විධායක චමත් පලිහපිටියට ෆේස්බුක් සමාගම ප්‍රතිචාර දක්වයි..! - Reporter

Hot News

හිටපු විධායක චමත් පලිහපිටියට ෆේස්බුක් සමාගම ප්‍රතිචාර දක්වයි..!


සමාජ මාධ්‍ය ජාල සහ ඒ හා සමාන සේවාවන් "සමාජය කැබලිවලට ඉරා දමන" බවට හිටපු විධායක නිලධාරියෙකු කළ ප්‍රකාශයට ෆේස්බුක් සමාගම විසින් ප්‍රතිචාර දක්වනු ලැබ තිබේ.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත චමත් පළිහපිටිය විසින් ඉහත කී අදහස පසුගිය මාසයේ දී පළ කරනු ලැබ තිබු නමුත් එය සමාජ ජාල තුළ විශාල වශයෙන් සංසරණය වූයේ පසුගිය සඳුදාය.
"අපි සමාජය කැබලිවලට ඉරාදමන මෙවලම් නිර්මාණය කර ඇතැයි," ෆේස්බුක් සමාගමේ හිටපු විධායක නිලධාරියෙකු වන චමත් පළිහපිටිය පවසා තිබිණි.
ඔහු හුදකලා නොකරමින්, ෆේස්බුක් සමාගමේ පළමු සභාපති සහ එහි වානිජ වර්ධනයේ මූලික ආකෘතිය සකස් කළ ෂෝන් පාකර් (Sean Parker) ද, මෑතකදී ෆේස්බුක් සමාජ භූමිකාවේ ඉතිහාසය පිළිබඳව කනගාටුව පළ කර තිබේ.
මේ තත්ත්වයත් සමග ෆේස්බුක් සමාගම අසාමාන්‍ය පියවරක් තබමින් තම ආයතනය ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්ව ඇත.
ප්‍රකාශකයෙක් පැවසුවේ චමත් පළිහපිටිය වසර හයකට වඩා තම සමාගමේ සේවය නොකළ බවය.
"චමත් සේවය කරනවිට අප ෆේස්බුක් ලොව පුරා ප්‍රවර්ධනය කිරීමේ සහ නව සමාජ මාධ්‍ය අත්දැකීමක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව කටයුතු කළා. එවිට ෆේස්බුක් බොහෝ වෙනස් සමාගමක්. කාලයත් සමග වූ වර්ධනයවීම අනුව අපගේ වගකීම් වර්ධනය විය යුතු ආකාරයත් අපට වැටහුනා," යනුවෙන් සමාගමේ ප්‍රකාශකයා සඳහන් කළේය.
"අපි, අපේ භූමිකාව ඉතා බරපතල ලෙස සැලකිල්ලට ගන්නවා සහ එය වර්ධනය කිරීමට උත්සාහයෙන් කටයුතු කරනවා," යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්වේ.
සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් මෙම ප්‍රකට පුද්ගලයන්ගේ හඬ නැගීම කෙසේවුවද, ෆේස්බුක් සමාගමේ ව්‍යාපාරික සැලැස්ම බලගතු ලෙස ඉදිරියට ගමන් කරයි.
එකල, ෆේස්බුක් සමාගමේ පරිශීලක වර්ධන අංශයේ උප සභාපතිවූ චමත් පළිහපිටිය මේවනවිට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.

- BBC Sinhala 

No comments