කොහොඹ කොල අත්තකින් වහගෙන ගියත් නම්බරේ මාට්ටුයි, මුළු පවුලම කාමරේක හිර කරලා. | Reporter කොහොඹ කොල අත්තකින් වහගෙන ගියත් නම්බරේ මාට්ටුයි, මුළු පවුලම කාමරේක හිර කරලා. - Reporter

Hot News

කොහොඹ කොල අත්තකින් වහගෙන ගියත් නම්බරේ මාට්ටුයි, මුළු පවුලම කාමරේක හිර කරලා.



අපේ රටේ පොලීසය සම්බන්ධයෙන් කලින් කලට විවිධ පුවත් මැවෙනවා. ඒ වගේම පසුගියදා  අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයෙන් වාර්තා වුන පුවතක් ගැන තමයි මේ කියන්න යන්නෙ.


කොළඹ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ උප පොලිස් පඑරීක්ෂකවරයකු ඇතුළු පිරිසක් පසුගිය 12 වෙනිදා අනුරාධපුර ශ්‍රාවස්තිපුරයට ගිහින් තිබුනා. පසුව එම ප්‍රදේශයේ එරංග ඉන්දික සිරිවර්ධන නමැති පුද්ගලයෙකුගේ නිවසට ඇතුලු වූ පොලිස් කණ්ඩායම අදාල නිවසේ නාන කාමරයේ පොළව හාරා ලබාගත් නිදන් වස්තු වලින් කොටසක් ලබාදෙන ලෙසට තර්ජනය කර තිබුනා

එලෙස තර්ජනය කිරීමෙන් අනතුරුව කුඩා දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනා නිවෙසේ උඩු මහලේ පිහිටි කාමරයක සිරකර ආරක්ෂිත කැමරා පද්ධතියද විසන්ධි කර පැය කිහිපයක්ම නිවස පරීක්ෂා කර ඉන් පසුව පිටත්ව ගොස් තිබෙනා.

අදාල පොලිස් නිළධාරීන් එම නිවසේ හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් ඇතැයි පවසමින් නිවෙසට ඇතුළු වී ඇති අතර  මෙම පොලිස් කණ්ඩායම පැමිණි සුඛෝපභෝගී විසල් වර්ගයේ මෝටර් රථයේ ලියාපදිංචි අංක තහඩු දෙහි හා කොහොඹ අතුවලින් ආවරණය කරගෙන පැමිණ තිබෙනවා. නමුත් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු මෙම රථයේ ඡායාරූපයක් ලබාගෙන ඇති අතර එමගින් මෙම රථයේ අංකය  ඩබ්ලිව්. පී. සී. ඒ. යූ. 1499 බවට අනාවරණය කරගෙන තිබුණා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් නිවසේ සිටි   පහළොස් හැවිරිදි පුත්‍රයා ඔවුන් භාරයට ගෙන මෙලෙස ප්‍රකාශ කර තිබුනා ‘‘නිධානයේ බඩු ටික තියෙන තැන කියපන් හැබැයි අපට ඒවා අහුවුණොත් උඹලා ඔක්කොම හිරගෙදර‘‘

පසුව නිවසේ  අස්සක් මුල්ලක් නෑර සෝදිසිකල ඔවුන් ,  ඔවුන්ම රැගෙන ආ යකඩ ඉනි භාවිත කර නිවසේ භාවිත නොකරන නානකාමරයේ පොළොව කඩා නිදන් වස්තු සෙවීමට උත්සාහ කර තිබෙනවා.  නමුත්  ඔවුන්ට කිසිදු නිදන් වස්තුවක් හෝ හෙරොයින් මිලිග්‍රෑම් එකක ප්‍රමාණයක්වත් සොයා ගැනීමටනම්  හැකියාවක් ලැබුනේ නැහැ.එසේම අනුරාධපුරයේ දේශපාලනඥයෙකුද මෙම සිද්දියට සම්බන්ධ බවට සැක කරනවා.

මේ පිළිබඳ ඉන්දික සිරිවර්ධනගේ පුත්‍රයා මාධ්‍යයට කියා තිබුනේ මෙලෙසින්.

පසුගිය මාස දෙකේ අවස්ථා කිහිපයක්ම පොලිසියෙන් ඇවිල්ලා හංගලා තියෙන නිදන් බඩු දෙන්න කියලා තාත්තාට කරදර කළා. පස්සේ කුඩු වගේ පාර්සලයක් ත්‍රිරෝද රථය ඇතුළට දාලා පොලිසිය තාත්තව අත්අඩංගුවට ගන්න හැදුවා.

අලවංගු අරගෙන ඇවිල්ලා නානකාමරය කඩන්න පටන් ගත්තා. මට කිව්වා පුතා රත්තරං බුදුපිළිමයයි, පුල්ලෙයාර් පිළිමයයි, මුතු මැණික් ටිකයි තියෙන තැන කියන්න අපි භාගයක් අරගෙන ඔයාලට ඉතුරු භාගය දෙන්නම් කියලා. හැබැයි අපිට හම්බ වුණොත් එහෙම මුළු පවුලටම ඇප ගන්න බැරි විදියට හිරේ දාලා බඩුටික කෞතුකාගාරයට දෙනවා කිව්වා. මම කිව්වා අපේ ගෙදර ඇති නිදන් බඩුවක් නෑ තියෙනව නම් හොයාගන්න කියලා. පැය ගාණක් අපේ ගෙදර හිටපු අයට කුණුහරුපෙන් බැන බැන කාටවත් එන්න බැරි විදියට ගේට්ටුව ලොක් කරලා හැමතැනම පෙරළ පෙරළා හෙව්වා. හැබැයි කුඩු හම්බ වුණෙත් නෑ වෙන මොනවත් හම්බ වුණෙත් නෑ.

මේ  සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ලතීෆ් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ  තම නිළධාරී කණ්ඩායමක් හෙරොයින් වැටලීමක් සඳහා ගොස් ඇති බවත්, මෙම  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ත්‍රිකුණාමලය කලාපය භාර පොලිස් අධිකාරි රෝහණ කරුණාරත්න මහතාට උපදෙස් ලබාදී තබෙන බවත්ය. 

No comments