"ටික වෙලාවක් යනකොට සීයාගේ සද්දේ නැති වුණා" - සුනාමිය ආයෙමත් ජීවිත කඳුලින් පුරවයි | Reporter "ටික වෙලාවක් යනකොට සීයාගේ සද්දේ නැති වුණා" - සුනාමිය ආයෙමත් ජීවිත කඳුලින් පුරවයි - Reporter

Hot News

"ටික වෙලාවක් යනකොට සීයාගේ සද්දේ නැති වුණා" - සුනාමිය ආයෙමත් ජීවිත කඳුලින් පුරවයි


දෙසැම්බර් 26 වැනිදා අපේ රටට ආපු සුනාමිය ජීවිත ලක්ෂ ගණනක් කඳුලින් තෙත් කළා.

ඒ මතකය අදටත් අමිහිරි මතකයක්.

ඒ අමිහිරි මතකයට අවුරුදු 11ක් සපිරෙනවා. නමුත් තවමත් සුනාමි කියන වචනයේ පවා තිබෙන්නේ බියකරු රුදුරු බවක්. එදා සුනාමියට මුහුණ දීලා ජීවිතය බේරාගත් පුංචි දියණියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. එවකට ඇය වයස අවුරුදු 07ක් වුව ද මේ වනවිට ඇය වයස අවුරුදු 18 සම්පූර්ණ තරුණියකි. ඇය ගාල්ල ප්‍රදේශයේ පදිංචි නිපුනි වත්සලා ය.

මේ එදා සුනාමි කතාවෙන් අද ආයෙමත් ජීවිත කඳුලින් පුරවන මතකයක් ගැනයි.

නිපුනි මේ වනවිට ජීවත් වෙන්නේ අහංගම ඉමදූව ප්‍රදේශයේ. ඇය 2004 දෙසැම්බර් 16 වැනි දා සුනාමි ව්‍යසනයට මුහුණ දෙන්නේ මගීන් විශාල ප්‍රමාණයක් බිලිගත් පැරැලියේ දී පෙරළුණු කෝච්චියේ දී ජීවිතය බේරා ගනිමින් ය.

ඇය සිද්ධිය විස්තර කරන ආකාරය පහතින්…..

“එදා අපි ආපු කෝච්චිය පැරැලියේ දී පෙරළෙනකොට මගේ වයස අවුරුදු 07යි. වාසනාවට මාව බේරුණත් මාත් එක්ක ආපු මගේ සීයා ගැන අදටත් හොයා ගන්න බැරි වුණා. ඒ අවාසනාවන්ත දිනය මතක් වෙන හැම දවසකම තවමත් මම කම්පනයට පත් වෙනවා…”

“ඒ කාලේ අපේ මාමා හිටියේ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ අපිට ඉස්කෝලේ නිවාඩු නිසා ලොකු අම්මයි, සීයයි මාත් එක්ක එහෙ ගියා. මාමා අපිට නවතින්න නිල නිවසක් දුන්නා. අපි ත්‍රිකුණාමලයේ හුඟක් තැනවල ඇවිදින්න ගියා. 25 දා රාත්‍රී තැපැල් දුම්රියේ අපි කොළඹට පිටත් වුණා. 26 උදේ කොළඹ කොටුවට ආවා. කොළඹ කොටුව දුම්රියපොලේ කැන්ටිමේ දී සීයා මට කන්න අරගෙන දුන්නා. පස්සේ මාතර යන කෝච්චියට නැග්ගා.”

”මමයි ලොකු අම්මයි සීයයි එක ළඟ වාඩි වෙලා හිටියේ මුහුද පැත්තට වෙන්න. අම්බලන්ගොඩ පහු කරලා ටිකක් දුර යනකොට දුම්රිය එක පාරටම නතර වුණා. අපි බැලුවා ඇයි එක පාරටම කෝච්චිය නතර කළේ කියලා. එතකොට මිනිස්සු කෑගහගෙන දුවගෙන ඇවිත් කෝච්චියට නැග්ගා. ඒ මිනිස්සු පස්සෙන් විශාල කළුපාට වතුර පාරක් වේගයෙන් ගලාගෙන ආවා… සමහර මිනිස්සු බඩු මුට්ටුත් ඔළුවේ තියාගෙන ආවේ. එතකොටම කෝච්චියේ ඉස්සරහම පෙට්ටිය පෙරලුනා. අපි හිටිය පෙට්ටියේ ජනෙල් වහන්න එපා කියලා සීයා කෑගැහුවා මට හොඳට මතකයි. අපේ පෙට්ටියේ ජනෙල් මට්ටමට වතුර ආවා. එතකොටම අපේ පෙට්ටියත් පෙරළුනා. අපි හිටියේ මුහුද පැතෙතේ නිසා ගොඩබිම පැත්තේ හිටපු හැමෝම යට වුණා…”

”ලොකු අම්මා මාව වඩාගෙන එක අතකින් රැක් එකේ එල්ලුනා. ලොකු අම්මාගේත් බෙල්ල ළඟට වතුර තිබුණා. සීයා කෝච්චියේ පෙට්ටිය උඩ නැගලා ලොකු දුව….. සුදු නෝනා…. කියලා කෑ ගැහුවා. ලොකු අම්මා එක අතකින් මාව වඩාගෙන රැක් එක අල්ලාගෙන හිටපු නිසා මාව උස්සලා සීයාට දෙන්න ලොකු අම්මාට පුළුවන් වුණේ නැහැ. ටික වෙලාවක් යනකොට සීයාගේ සද්දේ නැති වුණා. සීයාත් වතුරේ පාවෙලා ගිහිල්ලා…”
feature-top

“පස්සේ බලනකොට මිනිස්සු ගොඩක් මැරිලා හිටියා. කිහිප දෙනෙක් මිනි උඩින් පැනලා ජනේලයෙන් එළියට පැන්නා. එක මනුස්සයෙක් මගේ ඔළුව උඩින් කකුල තියලා ජනේලයෙන් එළියට පැන්නේ. ඊට පස්සේ ලොකු අම්මත් මාව අරගෙන ජනේලයෙන් එළියට පැන්නා. හැම තැනම වතුර කොහෙටද යන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. එක පැත්තකට දුවන්න යනකොට පිරිසක් කෑගහනවා ඒ පැත්තට යන්න එපා ඒ පැත්තේ ගගක් කියලා. පස්සේ කට්ටියම කඹවල ආධාරයෙන් ගොඩට ඇදලා අරගෙන පන්සලකට එක්ක ගියා. පන්සලෙන් කන්න බොන්න ඇඳුම් එහෙම දුන්නා. ඒ තෙල්වත්ත පන්සල කියලා පස්සේ දැන ගත්තේ.”

”දවස් කිහිපයක් එහෙ හිටියත් ගෙදරට පණිවිඩයක් දෙන්න අපිට පුළුවකමක් තිබුණේ නැහැ. මම ඇඬුවා. එහෙම ඉන්නකොට දවසක් ඇල්පිටියේ සර් කෙනෙක් කෑම අරගෙන පන්සලට ආවා. ඒ සර් අපෙන් විස්තර ඇහුවා. අපේ නෑදෑ කෙනෙක් ඇල්පිටියෙ හිටිය නිසා ඒ සර්ගෙන් ඇහුවා අපිව එහෙ එක්කගෙන යන්න පුළුවන්ද කියලා. ඒ වෙනකොට මාතර ගාල්ල සියලුම පාරවල් කැඩිලා විනාශ වෙලා තිබුණේ. ඒ සර් අපිව ඇල්පිටියට එක්කගෙන ගියා. ඒ ගෙදරත් හමුදාවේ වැඩ කරන දෙන්නෙක් හිටිය නිසා අපේ මාමාට කතා කරලා අපි හොඳින් ඉන්නවා කිව්වා. නමුත් සීයාගේ මිනියවත් අපිට හොයා ගන්න බැරි වුණා. අදටත් සීයාට වුණේ මොකක් ද කියලා අපි දන්නේ නැහැ. අපේ ගම් පාළාතත් සේරම විනාස වෙලා. ලොකු අම්මාට වතුර පෙවිලා අමාරු වෙලා ඉස්පිරිතාලේ හිටියේ… මම දැන් උසස් පෙළ කරලා ප්‍රථිපල එනකල් ඉන්නවා. මම අද සුනාමිය කියන්නේ මොකක්ද කියලා දන්නවා. නමුත් මම අදටත් කම්පනයෙන් ඉන්නේ. සුනාමියෙන් මැරුණු හැමෝටම හා සියා වෙනුවෙන් අපි හැම අවුරුද්දෙම පින් දෙනවා..” 
(under the courtesy of adaderana.lk news web)

No comments