Breaking News

හිඟන රටක් දියුණු වූ හැටි ගැන කියන ඩුබායි රටේ පළමු වෛද්‍යවරියගේ කතාව (PHOTOS)


ඇගේ නම සුලේඛා ඩාවුඩ්. සුලේඛා ජීවත් වන්නේ එක්සත් අරාබි එමීරයේ. එමීරය ඇය හඳුනන්නේ එරට පළමු වෛද්‍යවරිය හැටියටය.
දැනට අසූ වියේ පසුවෙන සුලේඛා 1963 අවුරුද්දේ දවසක 'ඩුබායි' භූමියට අහසින් සැපත් මොහොත සිහිපත් කරන්නීය.
"මම ඩුබායි භූමියට 'පාත් වුණ' දවස්වල එතැන ගුවන් තොටුපොළක් තිබුණේ නැහැ. අපි ආවේ හරියට පැරෂුට් වලින් බැස්සා වගෙයි. එතැන තිබුණේ ධාවන පථයක් විතරයි. පොළොවේ පය ගහනවත් එක්ක දරා ගන්න බැරි උෂ්ණත්වයක් තිබුණේ" සුලේඛා වසර පනහකට අධික අතීතය සිහිපත් කරයි.
සුලේඛා 'ඩුබායි' පදිංචිය තෝරා ගන්නා කාලයෙහි එහි විධිමත් රෝහල් නොවුණි.
වෛද්‍යවරුන් ගෙන්වා ගන්නා ලද්දේ වෙනත් රටවලිනි.
මහජනයාට අප්‍රමාණ රෝගාබාධ වලින් පීඩා විඳීමට සිදු විය.
එහි ක්ෂය රෝගයේ පටන් පාචනය තෙක් විහිදුණ රෝගාබාධ රැසකි.
ප්‍රශූතිය සඳහා පිහිට වීමට කාන්තා වෛද්‍යවරියෝ නොවූහ.
ළමුන් මන්ද පෝෂණයෙන් පෙළෙති.
එදා එවන් තත්වයක පැවති එක්සත් අරාබි එමීරයේ වෛද්‍ය පහසුකම් වෙනුවෙන් පැවති ඉල්ලුම සුලේඛා විස්තර කරන්නේ සිය මතක ගබඩාවෙන් මඳක් විවර කරමිනි.
"මම එමීරයට ලඟා වීමට පෙර 'ඩුබායි' ගැන අහලවත් තිබුණේ නැහැ. පැවතුණ තත්වය කොතරම් දුෂ්කරද කියන කාරණය මට වැටහුණේ එහි ලඟා වුනාට පසුවයි. එමීරයේ වැඩ කිරීම ඉතාම දුෂ්කර බව මට තේරුණා" ඇය පවසයි.
වෛද්‍ය සුලේඛා ඩාවුඩ් 'ඩුබායි' වෙත ලඟා වූ දිනවල ගුවන් තොටක් තබා වරායක් වත් එහි තිබී නැත.
ජීවත් වෙන පරිසරය ගිනි කබලකට සමාන නමුත් වායු සමීකරණ පහසුකම් එකල සිහිනයක් පමණක් විය.
කොන්ක්‍රීට් යොදා ඉදි කළ මහමාවත් සහ නිත්‍ය බල ශක්ති සැපයුම බොහෝ ඈත වූ සිහින මෙන් විය.
යටිතල පහසුකම් නොමැති හෙයින් සුලේඛා සමඟ පැමිණි සිරියානු සහ ලෙබනන් වෛද්‍යවරු එමීරයට සමු දෙමින් ඔවුන්ගේ රටවල් සොයා ආපසු ගියහ.
එහෙත් සුලේඛා ඔවුන් අතර 'වෙනත් තැනැත්තියක්' වූවාය.
"මම තේරුම් ගත්තා එමීරය වෙනුවෙන් මට කරන්න දෙයක් තියෙන බව" වෛද්‍යවරිය පවසන්නේ සාඩම්බරයෙනි.
"මම තේරුම් ගත්තා - මහජනයාට මාව අවශ්‍ය කරන බව. ඉතින් මම වැඩ පටන් ගත්තා"
සුලේඛා වෛද්‍යවරියක හැටියට පුහුණුව ලබා සිටියේ නාරි රෝග විශේෂඥවරියක හැටියටයි.
එහෙත් වෛද්‍යවරුන් නොවූ එමීරයේ විශේෂ උවමනාව පරිදි ඇය පොදු කායික රෝග සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරියක හැටියට රෝගීන් සුවපත් කිරීම ආරම්භ කළාය.
පිළිස්සුම්, සර්පයන් දෂ්ට කිරීම් සහ චර්ම රෝග ඇතුළු සියලු අසනීපවලට ප්‍රතිකාර කිරීමට ඇයට සිදු විය.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලද සුලේඛා ඩාවුඩ් වෛද්‍යවරිය, ඩුබායි කරා ලඟා වුණේ කිසිදු පෙර සැලසුමක් අනුව නොවේ.
'නාග්පුර්' වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලද ඇය ඉල්ලුම් කර තිබුණේ කුවේටයේ පිහිටි ඇමෙරිකානු මිසමක වෛද්‍යවරියක හැටියට කටයුතු කිරීම සඳහාය.
එහෙත් කුවේටයට පැමිණි ඇය එතැනින් 'ඩුබායි' කරා එවනු ලැබුණි.
ඇය වෛද්‍යවරියක ලෙස පුහුණුව ලබා සිටියේ නාරි රෝග විශේෂඥවරියක ලෙසයිImage copyrightZULEKHA DAUD
Image captionඇය වෛද්‍යවරියක ලෙස පුහුණුව ලබා සිටියේ නාරි රෝග විශේෂඥවරියක ලෙසයි
අවිවාහක තරුණියකට එසේ හුදෙකලාව වෙනත් දේශයක් කරා ගමන් ගැනීමට ඇය අයත් සාම්ප්‍රදායික ඇගයුම් සහිත මුස්ලිම් පවුලකින් අවසරයක් ලැබේද?
සිය වාසනාවට තම දෙමව්පියන්ගෙන් ඒ සඳහා අවසර ලද බව දැන් මහළු වියේ පසුවෙන වෛද්‍යවරිය පවසන්නීය.
"මගේ දෙමව්පියන් මගේ ගමනට මාව දිරිමත් කළා"
සුලේඛා සිය පළමු වෙද මෙහෙවර ආරම්භ කරන ලද්දේ වැඩි වශයෙන් ගෝත්‍රික ජනයා පදිංචි 'ඩුබායි' කාන්තාරයේ ඉදි කරන ලද තාවකාලික රෝහල් මඩුවක සිටයි.
මාස කීපයක් එහි වෛද්‍යවරියක ලෙස කටයුතු කරද්දී 'සාජා'හිත් සායන කටයුතුවල නිරත වෙන මෙන් සුලේඛාට දැනුම් දෙනු ලැබුණි.
ඇයගේ හාම්පුතුන් සාජාහි කුඩා සායනයක් ආරම්භ කිරීමත් සමඟ එම ඉල්ලීම ඉදිරිපත් විය.
"ඩුබායි ඉඳල සාජා වලට කිලෝමීටර් දොළහක් තියෙනවා. ඒත් ඒ අතර යන්න එන්න කොන්ක්‍රීට් පාරවල් තිබුණේ නැහැ. අපි ගමන් ගත්තේ කාන්තාරය දිගේ. අපේ වාහන නිතරම වගේ වැල්ලේ එරුණා" ඇය එදා ජීවිතය සිහිපත් කරන්නීය.
සුලේඛා ගේ සායන කටයුතුවල ප්‍රගතියත් සමඟ ඇය සඳහා වූ පිළිගැනීමත් දළු ළා වැඩෙන්නට විය.
'ඩුබායි' සහ 'සාජා' වැසියන් විසින් තරුණ වෛද්‍යවරිය සලකන ලද්දේ තමන් ලද "සුවිශේෂී ත්‍යාගයක්" ලෙසයි.
එමීර් වාසියෝ ඇයට අනන්ත සම්මාන පුදන්නට වූහ.
සුලේඛා කාන්තාරයේ සේවය කළ තාවකාලික රෝහලක්
Image captionසුලේඛා කාන්තාරයේ සේවය කළ තාවකාලික රෝහලක්
1971 දී එක්සත් අරාබි එමීරය රාජ්‍යයක් මට්ටමින් ප්‍රතිෂ්ඨාපනය කරන ලද අතර ඒ සමඟ රටේ වෛද්‍ය පහසුකම් ද වේගයෙන් වර්ධනය වන්නට විය.
ඒ සමඟ වෛද්‍ය සුලේඛා ඩාවුඩ් ගේ ජීවිතයේත් නැග්ම ආරම්භ විය.
සමාජය ගමන් ගනිමින් පැවති දිශාව තේරුම් ගත් ඇය පෞද්ගලික රෝහලකට මුල පිරුවාය.
අද ඇය රෝහල් තුනක හිමිකාරියයි.
ඉන් එකක් සිය මව්බිම වන ඉන්දියාවේ 'නාග්පූර්හි' පිළිකා රෝහලකි.
සුලේඛා ඩාවුඩ් යනු අද එක්සත් එමීරය තුළ කීර්තිමත් නාමයකි.
සුලේඛා හොස්පිටල්- වෛද්‍ය සුලේඛා අද මෙවැනි රෝහල් තුනක හිමිකාරියයි
Image captionසුලේඛා හොස්පිටල්- වෛද්‍ය සුලේඛා අද මෙවැනි රෝහල් තුනක හිමිකාරියයි
වෛද්‍යවරියක හැටියට වසර පනහකට අධික කාලයක මහජන සේවයෙන් අනතුරුව දැන් ඇය සිය සේවය තමාගේම 'සාජා' රෝහලේ පැය කීපයකට සීමා කොට විශ්‍රාම සුවය ලබයි.
සුලේඛා එමීරයේ වාසය කළත් සිය මව්බිම වන ඉන්දියාව සමඟ පවතින බැම්ම පවත්වා ගැනීමේ අධිෂ්ඨානයෙන් තමා ලද ඉන්දීය විදේශ ගමන් බලපත්‍රය දිගටම නොවෙනස්ව තබා ගත්තාය.
"ඒත් මම ආපසු යන්නේ නැහැ.මම දැන් අයිති මේ භූමියටයි. ඉන්දියාව සමඟ මගේ බැම්ම දිගටම තියෙනවා. මගේ මිනිස්සු ජීවත් වෙන්නේ ඉන්දියාවේ. ඒත් මගේ අද නිවස මෙතැනයි"
(බීබීසී හින්දි සේවයේ සුබෙර් අහමඩ් ගේ පිටපත ඇසුරෙනි)

No comments