Breaking News

හමුදා මේජර්ගේ සපත්තු අඩියේ හෙරොයින් - සියඹලාපේ හන්දියේ දී


බියගම, සියඹලාපේ හන්දියේ තිබෙන ශාරීරික සුවතා ව්‍යායාම මංතීරුව අසල සැක කටයුතු අන්දමින් ගැවසුණු යුද හමුදාවේ මේජර්වරයකු පරීක්‍ෂා කළ විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් පන්සිය හැත්තෑ හතරක්‌ (574) බියගම පොලිසිය මගින් පෙරේදා (27 වැනිදා) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

එම යුද හමුදා මේජර්වරයා පැළඳ සිටි සපත්තුවල අඩියේ සූක්‍ෂම ලෙස පැකට්‌ කර හෙරොයින් සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

එම සැකකාර මේජර්වරයා රාජකාරියේ යෙදී සිටිමින් යුද හමුදා වාහනයකින් රියෑදුරු සෙබළා සමඟ එම ස්‌ථානයට පැමිණ තිබේ.

පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් එම මංතීරුව අසල පුද්ගලයෙකු හෙරොයින් අලෙවි කරන බවට ලද තොරතුරක්‌ මත වැටලීම සිදුකර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන ගැමුණු හේවා බළකායේ නිලධාරි අණදෙන ලෙස කටයුතු කරන එම යුද හමුදා මේජර්වරයා වත්තල, හැඳල රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේවයේ යෙදී තිබේ.

මාතර ගොඩගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අවිවාහකයකු වන හෙතෙම ඊයේ (28 වැනිදා) පස්‌වරුවේ මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණ.

බියගම පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කේ. ඩබ්ලිව්. විඡේතිලක මහතාගේ උපදෙස්‌ අනුව දූෂණ මර්දන විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක මනෝඡ් සම්පත්, සැරයන් කුමාර (48844), පො. කො. සංජීව (37813) හා ගාල්ලගේ (36491) යන නිලධාරීන් විසින් මේ වැටලීම සිදුකරනු ලැබූහ.

No comments