Breaking News

මැතිසබේ ‘කෙටවූ’ නිදහස් පක්ෂයට ‘කෙළවීමට’ එජාපය සහ ඒකාබද්ධය එක්වෙයිද?

එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය ගුටිබැට හුවමාරු කරගැනීමේ සිද්ධිය භාවිත කොට තවත් පිරිසක් ඔවුන්ගේ සිහිනය ඉටු කරගැනීමට උත්සහ දරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රකාශ කළා.
ඒකාබද්ධ කණ්ඩායමත් එජාපයත් එක් වුවහොත් එම දෙපාර්ශවයටම “කෙළවන්නට” ගිය කණ්ඩායමට “කෙළවීමේ” හැකියාව පවතින බවත්, එකිනෙකා ඇණකොටා නොගෙන එම වැඩපිළිවෙල නිර්මාණය කළ යුතු බවත් විජේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර පෙරේදා සිදුවූ පාර්ලිමේන්තු ගැටුමෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ද චමින්ද විජේසිරි මහතා චෝදනා නැගුවේ එම ගැටුමේ සැලසුුම්කරුවන් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි.
මෙම ගැටුම ආරම්භ කර එම “නාට්‍යයේ” නිෂ්පාදන කටයුතු සිදු කර පැත්තකට වී සිටියේ නිදහස් පක්ෂය බවයි ඔහු ප්‍රකාශ කළේ.
“ඔවුන් මේක අවුස්සලා තියලා, පාඩුවේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා” යනුවෙන් විජේසිරි මන්ත්‍රීවරයා පැවසුවා.
තමන් ජයගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් සිතනු ඇති නමුත් තමන්ගේම වලිගය ගිලගත් සර්පයෙකු මෙන් එක මොහොතකදී ඔවුන් හිරවෙනු ඇති බවත් ඔහු අවධාරණය කළා.
මේ අතර මෙම ගැටුම සිදුවූ දින පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ එම අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් නොසිටිබවයි.
නිදහස් පක්ෂයේ සියල්ලෝම අනුරාධපුර රැළිය සඳහා පැමිණ සිටි බවත් ඉන් පසු පාර්ලිමේන්තුවේ ඉතිරිවූ දෙපාර්ශවය එකිනෙකාට ‘හොරා’ ලෙස ආමන්ත්‍රණය කර ගනිමින් ඇණකොටාගත් බවත්, හොරා කවුරුන්දැයි හඳුණාගැනීමට නොහැකි වූ ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එසේම හොරකම් කළ පිරිස්ම හොරා යනුවෙන් තවත් අයට චෝදනා නගමින් සිටින බවයි සිරිසේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
ජනාධිපතිවරයා ඊයේ සහභාගි වූ ජන රැළියක් අමතමින් කියා සිටියේ හොරා කවුරුන්ද කියා මේවන විට ජනතාව හොඳින්ම දන්නා බවයි.

No comments