Breaking News

ඡන්දයද? බැඳුම්කරයද? – අවසන් තීන්දුව අද


පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ කොමිසම් සභා වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න තීරණය කිරීම  සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (30) දහවල් පැවැත්වෙනවා.
කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පක්ෂ නායක රැස්වීමේදී පවතින මැතිවරණ නීති රීතිවලට අනුව විවාදය පැවැත්විය හැකි ද යන්න සාකච්ඡා කිරීමට නියමිතයි.
ඒ සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද එක්වන බවයි කථානායක කාර්යාලය කියා සිටියේ.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු එළඹෙන 07 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
ඒ අනුව 08 වන දා සැලසුම් කළ පරිදි විවාදය පැවැත්වුවහොත් එහි තොරතුරු මාධ්‍ය මගින් අනාවරණය කිරීමට නොහැකි බවට විරුද්ධ පක්ෂ නියෝජිතයින් විසින් කිහිප වරක් මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කරනු ලැබුවා.
ඒ පිළිබදව වැඩි අවධානයක් අද පැවැත්වෙන මෙම පක්ෂ නායක රැස්වීමේදී යොමු වනු ඇති.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා, දූෂණ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවල අඩංගු කරුණු පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවට විපක්ෂය නියෝජනය කරන පිරිස් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ විවාදය ලබන පෙබරවාරි 08 වන දා ලබාදිය හැකි බවට කථානායකවරයා දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දා ප්‍රකාශ කළා.
එහෙත් පවතින මැතිවරණ නීතිරීතිවලට අනුව එම විවාදය පැවැත්වීම පිළිබදව විවිධ මත පළවීම හේතුවෙනුයි අද දිනයේ මෙලෙස පක්ෂ නායක රැස්වීමක් කැදවීමට කථානායකවරයා පියවර ගනු ලැබුවේ.
මේ අතර, බැඳුම්කර කොමිසම් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

No comments