Breaking News

මොරගහකන්ද පළමු දියවර නිකුත් කිරීම හා රාජගිරිය ගුවන් පාලම අද ජනපති ප්‍රධානත්වයෙන්


රාජගිරිය ප්‍රදේශයේ පවතින දැඩි රථ වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරෙනවා.
මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට පියවර ගැණුනා.
ස්පාඤ්ඥ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700ක්.
ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම, යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ද ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.
මෙරට විශාලතම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත් කෙරෙනවා.එහි පළමු දියවර නිකුත් කිරීම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදු කෙරෙනු ඇති.
ඒ අනුව, මොරගහකන්දු ව්‍යාපෘතිය භාර චීන සමාගම විසින් එහි කටයුතු නිම වූ බව දන්වමින් එය ශ්‍රී ලංකා රජය වෙත භාරදීම ද ප්‍රධාන වේල්ල අසලදී අද සිදු කිරීමට නියමිතයි.
මොරගහගන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතිය සඳහා 1950 වසරේ දී මුල්ම ශක්‍යතා අධ්‍යයනය සිදු කළත් එය වඩාත් විධිමත්ව ආරම්භ වන්නේ 2000 වසරේදීයි.
2007 වසරේ දී එහි කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණ ද එවට රජය ගත් ඇතැම් තීණ්දු හේතුවෙන් එහි වැඩ නිමකිරීමට නොහැකි වුණා.
පසුගිය රජයේ දී මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා මහඟු කාර්්‍යයක් ඉටුකරනු ලැබුවා.කෙසේ වෙතත්, එහි කටයුතු සක්‍රීයව ආරම්භ වුණේ නව රජය බලයට පත්වීමෙන් අනතුරුවයි.
අද ජනතා අයිතියට පත් කෙරුණේ මොරගහකන්ද කලුගඟ ජලාශයේ සම්පූර්ණ ධාරීතාවය අක්කර අඩි හයලක්‍ෂ  හැට දහසක්.අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල  යල සහ මහ කන්න දෙකෙහිම වගාකිරීම සඳහා ජලාශයේ ජලය ප්‍රමාණවත් වන අතර, ඒ යටතේ අදාළ ප්‍රදේශවල පානීය ජල  අවශ්‍යතා සැපිරීම ද විශේෂත්වයක්.

No comments