Breaking News

අගමැතිගෙන් විශේෂ නිවේදනයක්


නීතිය නොරකින පාලනයක තර්ජනයෙන්, රට සදාකාලිකව මුදාගැනීම සඳහා අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීමට වන එකඟතා වෙනුවෙන් කැපකිරීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක පවුලක් විසින් භාවිතා කරන ලද විධායක බලය ආපසු ලබාගෙන එම බලය ජනතාව විසින් මෙහෙයවන නිදහස් ස්වාධීන විනිවිදභාවයකින් යුතුව සහ ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වන බලවේගයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා 2015 ජනවාරි 08 දා යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන් අයට ස්තුතිය පුදකරන බවද අගමැති වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මම 2014 නොවැම්බර් 21 යහපාලනය සඳහා වූ ව්‍යාපාරය ආරම්භ කරනවිට අපගේ දේශය ඥාති සංග්‍රහයෙන් පිරී තිබුණා. ඒ අවස්ථාවේ අප කටයුතු කළේ ශ්‍රී ලංකාව ඥාති සංග්‍රහයෙන් මුදාගෙන අන්තර්ජාතික ප්‍රජාව තුළ නිදහස් සාමාජිකයෙක් ලෙස නගාසිටුවන්නයි. ඒ සඳහා දේශයෙන් හඬක් නැගෙමින් තිබුණා.
අප ජනතාවට පොරොන්දු වුණේ 2015 ජනවාරි 08 දින ජනාධිපතිවරණයෙන් අපව බලයට පත්කළොත් රටේ ආර්ථිකය ගලවා ගැනීම, රාජ්‍ය බලය යොදාගනිමින් නීතියට පිටින් ක්‍රියාත්මක කෙරෙන භීෂණය නැවැත්වීම සහ නැතිවූ නිදහස නැවත ස්ථාපිත කර නීතියට ගරු කිරීමේ පරිසරයක් ගොඩනැගීමයි.
අපට තව බොහෝදුරක් ගමන් කිරීමට තිබෙනවා. ළඟා කර ගැනීමට බොහෝ දේ තිබෙනවා. මේ වනවිට ජයගෙන තිබෙන කඩුලු ප්‍රමාණය පිළිබඳව අප ආඩම්බර වෙනවා.
ගෙවී ගිය වසර තුනක කාලය තුළ අප රටට බොහෝ යහපත් දේ සිදුකර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජීවයක් දී තිබෙන අතර දේශපාලනඥයන්ගේ හිතු මනාපයට නොව තමන්ගේ හෘදසාක්ෂියට අනුව වැඩ කළ හැකි රාජ්‍ය සේවයක්, ‍අධිකරණයක්, පොලිසියකට ඉඩකඩ සලසා තිබෙනවා.
ස්වාධීන කොමිෂන් සභා පත්කර තිබෙනවා. සෑම පුරවැසියකුටම තොරතුරු දැන ගැනීමේ අයිතිය සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. පොලිසිය බලාත්මක කර තිබෙන අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට සංකීර්ණ මූල්‍ය අපරාධ පරීක්ෂාවට ලක්කර චෝදනා ගොනු කරනවා.
එක පවුලක් විසින් භාවිතා කරන ලද විධායක බලය ආපසු ලබාගෙන එම බලය ජනතාව විසින් මෙහෙයවන නිදහස් ස්වාධීන විනිවිදභාවයෙන් යුතුව සහ ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වන බලවේගයකට ලබාදෙන්න ක්‍රියාත්මක වී තිබෙනවා.
මේ වනවිට අප විවිධ ජයග්‍රහණ ලබාගෙන තිබුණත් අප තව ජයග්‍රහණ ලබාගත යුතු වෙනවා. අතීතයේ සිදුවූ අසාධාරණයන්ට සාධාරණය ඉෂ්ට කළ යුතුයි. පසුගිය පාලනයේ පැවැති ම්ලේච්ඡත්වයේ සංස්කෘතිය සුවපත් කිරීමට තව බොහෝ දේ කිරීමට තිබෙනවා.
එක පවුලක සිතැඟි අනුව ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවය නැවත ගොඩනැගීමේ සහ මාරාන්තික සුදු වෑන්, මාධ්‍ය හිලෑ කිරීමට යොදා ගත් මාරක බලඇණිවලට විරුද්ධව අප අරගල කරනවා. අපේ සටන එයයි. එදා පැවැති එම ම්ලේච්ඡ සංස්කෘතියේ වික්‍රමාන්විත ගොදුරක් වූ ලසන්ත වික්‍රමතුංග ඔහුගේ අවසාන කතුවැකියේ සඳහන් කළේ රාජ්‍යයේ යාන්ත්‍රණය වශයෙන් ඔහු හැඳින්වූ මහින්ද රාජපක්ෂ පවුල රාජ්‍ය මෙහෙය වූ ආකාරයයි.
ඔහු විසින් මරණය පිළිබඳව අපේක්ෂාවෙන් ලියන ලද කතුවැකිය එය පැහැදිලි කරයි.
දැන් මේ යාන්ත්‍රණය ඉතා හොඳින් ක්‍රියාත්මක වූ බව මගේ පුතාලාට හා දුවට පියෙකු නැති බව දකින විට සියලුදෙනාට පැහැදිලි වේ.
යහපාලන රජය වසර තුනක් සපුරා අද දවසේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ නව වැනි අවුරුද්දත් සනිටුහන් කරනවා.
අප ඔහුගේ ඝාතකයන් නීතියේ හමුවට පමුණුවන බවට දිවුරුවා. පසුගිය රාජ්‍ය සමයේ අඳුරු දිනවලදී මාධ්‍යකරුවන්ට එරෙහිව කරන ලද භීෂණයන්ට එරෙහිව කටයුතු කරන බවට, ඝාතකයන්ගේ අපරාධකරුවෝ නීතිය ඉදිරියට ගෙන එන බව අප පොරොන්දු වුණා.
නීතිය නොරකින පාලනයක තර්ජනයෙන් රට සදාකාලිකව මුදාගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ඉලක්ක සපුරාගැනීම සඳහා වන එකඟතා වෙනුවෙන් කැපකිරීම් අප සිදුකරනවා.
මම අප කෙරේ විශ්වාසය තැබීම පිළිබඳ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මම සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිබඳව විශ්වාසය තබමින් 2015 ජනවාරි 08 දින ඡන්දය දුන් සැමට ස්තුතියි. එතැන් පටන් අපගේ දර්ශනය සමඟ එක්වෙමින් වර්ෂ තුනක් අප ගමන් කළා. අනාගතයේ අපට ලබාගැනීමට තිබෙන ජයග්‍රහණ සඳහාද එක්ව ඉදිරියටම යමු. 

No comments