Breaking News

මම සත්‍ය හෙළි කළොත් බොහෝ දෙනකුගේ රෙදි ගැලවේවි....!


ප්‍රවීණ රංගන ශිල්පී සහ චිත්‍රපට අධ්‍යක්‌ෂ සනත් ගුණතිලක කලකට පසු දේශීය සිනමාව පිළිබඳව කළ සංවාදයක සටහන මතු දැක්‌වේ.

නව වසරේ සිනමාව පිළිබඳ ඔබේ බලාපොරොත්තු සමඟ මේ සංවාදය අපි ආරම්භ කරමු?

ඔබ ඔය වක්‍ර ලෙස අහන්නේ ගිය වසරට වඩා ප්‍රගතියක්‌ සිද්ධ වෙලා තියනවද? නැත්ද? ඒවාට හේතු මොනවාද? කියලනේ. එවැනි ප්‍රශ්න අසද්දී ඇතිවන්නේ හරිම අපහසු තත්ත්වයක්‌. එක වෙලාවකට හිතෙනවා, මේ අහන දේට ඇත්ත කියන්න ගිහින්, අනුන්ගේ හිත් රිදවන්නේ මොකටද කියා. අනිත් අතට හිතෙනවා හැමදාම කියන්නෙත් එකම දේ නේද? කියලා. කොහොම හරි දේශීය සිනමාවට හෙට අනිද්දා වෙනකොට අවුරුදු 71 යි. මම සිනමාවට ඇවිල්ලත් දැන් දශක හතරකට ආසන්න වෙනවා.ආධුනිකයෙක්‌ විදියට මේ ක්‌ෂේත්‍රයට ඇවිත්, නළුවෙකුටත් වඩා මනුෂ්‍යයෙක්‌ විදියට අද වෙනකොට දැන ඉගෙන ගත් හුඟක්‌ දේවල් පිළිබඳ මගේ හිතේ තිබෙන්නේ ලොකු සතුටක්‌. ඒත් අද එදාට වඩා භෞතික වශයෙන් මොන දියුණුව තිබුණත් මනුෂ්‍යයන් විදියට, සමාජයේ එකිනෙකා අතර තිබෙන කුහකකම්, ඊර්ෂ්‍යා කිරීම් , කකුලෙන් ඇදීම් වැනි දේ ගැන දකින විට, දැනෙන විට, ඒවා නොදැක අපෙන් වියෝ වූ සහෘදයන් වාසනාවන්තයි කියලා මට හිතෙනවා. මට කියන්න තිබෙන දේ ගැන ,මම හුඟාක්‌ ප්‍රවේශමෙන් කතා කරන්න උත්සාහ ගන්නේ බයකට නොවෙයි. මම කාටවත් බය මිනිහෙක්‌ නොවෙයි. මගේ අතින් නොදැනුවත්ව හෝ යම් වරදක්‌ වුණානම්, ඒ වරද හදාගෙන, හෘද සාක්‌ෂියට එකඟව, අවංක මනුෂ්‍යයෙක්‌ විදියට ජීවත්වීමට තරම් මට හොඳ ආත්ම ශක්‌තියක්‌ තිබෙනවා. අද දිනයේ මම බලන්නේ කිසිවෙකු රිදවන්නේ නැතුව, අසතුටු කරන්නේ නැතුව ජීවත්වෙන්න.
කියන්න හදන්නේ ඔබ ඔබේ ජීවිතය වෙනස්‌ මඟක්‌ තෝරාගෙන කියලද?
මාව අසතුටු කරපු, හිතාමතා මට ගරහපු කිහිප දෙනෙක්‌ තමන් ගේ නිවට කම්, ජඩකම් බැටළු හමෙන් පොරවාගෙන, විවිධ කාල පරිච්ඡේදවල, විවිධ මාධ්‍ය ඉදිරියේ සුදනෝ වෙනකොට මම කළේත්, ඉදිරියට කරන්නේත් නිහ`ඩව සිටීම පමණයි. ඒ මම තදබල විදියට ආගම දහම විශ්වාස කරන නිසා. බුද්ධ ධර්මය විතරක්‌ නොවෙයි අනෙකුත් ආගම්වල තිබෙන ගුණ ධර්මවලට , යහපත් දේ වලට ඇහුම් කන් දෙන්න මම පුරුදුවෙලා ඉන්නවා. දැන් මට බොහෝ අවස්‌ථාවල ආරාධනා ලැබෙන්නේත් යහපත් දේට. වැදගත් දේට. ඒක මම ලෞකික වශයෙන් දිනා ගත්ත ලොකු දෙයක්‌. මම දන්න දෙයක්‌ නොදන්න කෙනෙකුට කියලා දෙන්න, සමාජ සුබ සිද්ධිය උදෙසා කරන වැඩ වලට දායක වීමට, අලුත් පරපුරට හැකිතාක්‌ දුරට සහාය දීම වැනි කටයුතුවලට මට ලැබෙන ආරාධනා, එක්‌තරා විදියකට මගේ ජීවිතයට ලැබෙන විශාල ආශිර්වාදයක්‌ කියලා මට හිතෙනවා. නමුත් මට වැරදෙන අවස්‌ථාත් ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ වැරදි හරියාකාරව දැන ගත් විට, නිවැරදි කර ගැනීමට තරම් මම නිහතමානීයි. අවංකයි. අවංකවම ඒ වැරැද්ද ආයේ නොවෙන්න මම ජීවිතේ හැඩ ගස්‌සා ගන්නවා. 

මගේ ජීවිතේ මට සැබෑවට ම හිතවත්කම් පෑ තැනැත්තන්, තැනැත්තියන් මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඒ අයගේ ඕනෑම දෙයකට මම හදවතින්ම, දැඩි කැමැත්තකින් දායක වෙනවා. එහෙත් සමහරු අද හැසිරෙන සහ කියන කරන දේවල් දකින විට, මට ඒ අයගේ ඇසුරෙන් ඈත් වීමට හැකි වුණේ පූරුවේ කරපු විශාල පිනක්‌ නිසා යෑයි මට හිතෙනවාර අනන්තයි, අප්‍රමාණයි. කළගුණ අමතකකළ , කිසිම පාපයක්‌ නොකළා මෙන් මේ අය කතා කරන්නේ. ඇත්තටම කෙනෙකුට මෙච්චර තමන්ටම වංක වීමට, තමන්ම රවටා ගැනීමට, තමන්ම සනසා ගැනීමට හැකිවීම විශ්වාස කරන්න බැරි තරම් නිහීනයි. තුච්ඡයි.

පසුගිය දිනක ඔබේ සමකාලීන මිතුරු ජීවන් කුමාරතුංග සමඟ සජීවී වැඩසටහනකට ඉතා උවමනාවෙන් සහභාගී වූයේ ඒ නිසාද? 

ඔව්. ජීවනුයි මමයි සමකාලීන මිතුරෝ යෑයි ඔබ හැඳින්වුවත්, අප අතර ඇති සුහදතාවය නොදත් සමහර බෝනික්‌කියන්ට එය පුදුමයක්‌ වූ බව බොහෝ දෙනෙක්‌ දුරකතනයෙන් පසුව ප්‍රකාශ කළ බව මා කීවොත් ඔබ පිළිගන්නවාද? ජීවන්ටත් මටත් කිට්‌ටු බොහෝ අය අපට පමණක්‌ එසේ පවසා සිටියා. ජීවනුත්, මමත් එකම සම්මුඛ පරීක්‌ෂණයට පැමිණ, එකම කාලයේ සිනමාවට ගොඩවුණු, කාටවත් අහිතක්‌ කිරීමට ,වෛර කිරීමට , කුහකකම් කිරීමට උනන්දු නොවුණු ගැටවරයෝ දෙදෙනෙක්‌ ලෙසටයි, එකල අපව දුටු සිනමාවේ අධ්‍යක්‌ෂවරුන් පවසා සිටියේ. ඒක නැවත හමුවෙමු, තනි තරුව, ප්‍රාර්ථනා, සාරංගා ඇතුළු චිත්‍රපට කිහිපයකම මම වීරයා. ඔහු දුෂ්ටයා. ඒක අපි දෙන්නටම ප්‍රශ්නයක්‌ වුණේ නෑ. නමුත් නළුකම ලේ නෑකමින්ම දායාද කරගත්, ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සියල්ලෙන්ම සපිරි ගැටවරයෙකුට වීරයා වෙන්න තිබුණු අධිෂ්ඨානය සහ ආශාව අතිශයින්ම සාධාරණයි. ඔහු ඒ ගමන ගියේ තනිකරම ඔහු ගේ ආත්ම ශක්‌තියෙන් සහ ආත්ම ධෛර්යෙන් . ඒක ඒ වයසේ සිටින ඕනම ගැටවරයෙක්‌ට ඉතාම වැදගත් වටිනා පූර්වාදර්ශයක්‌. ඔහු වීරයා වෙන්න ගියා කියලා මට අමුතු උණක්‌ ගත්තේ නෑ. ශ්‍රී ලාංකික අද්විතීය නිර්මාණකරුවෙක්‌ වන ටයිටස්‌ තොටවත්තයන්ගේ රන් කහවනු ටෙලි නාට්‍යය සඳහා ඔහු අහිංසක සහෝදරයා ලෙසත්, මා දුෂ්ටයා ලෙසත් වර්ගීකරණය කරනවිට, ඒ සඳහා මගේ කිසිම අකමැත්තක්‌ තිබුණේ නෑ. ඒ තමයි අපි අතර තිබුණු අවබෝධය. අපි එකම ඉලක්‌කයකට, විවිධ පැති වලින් තරග කළත්, එය පෞද්ගලිකත්වයට එකතු කර ගත්තෙත් නෑ. ජනප්‍රිය නළුවා සම්මානයෙන් අපි ඈත්වූණේ හරියට දෙන්න කතා බහ කරලා වගේ. නමුත් එහෙම කතා බහක්‌ අපි අතර තිබුණෙත් නෑ. එකම ඡන්දෙට පක්‌ෂ දෙකකින් එක්‌වී ජයග්‍රහණය කරාට පස්‌සේ දේශපාලන වශයෙන් වත් ඇයි බොලං කියාගෙන නෑ. අප දෙදෙනා අතර තිබුණේ සාකච්ඡාවෙන් කතාබස්‌ කර නොගත් අවබෝධයක්‌. ඒ අවබෝධය තුළ මිත්‍රකම, සුහදකම සහ සහෝදරත්වය අව්‍යාජව තිබුණා. ඔහුයි මමයි අතර රහස්‌ පවා තිබුණා . ඒවා අදටත් රහස්‌ .කොච්චර රහස්‌ ද කියනවා නම් ඔහුටවත් මටවත් ඒවා මතක නෑ. මම මෙච්චර විස්‌තරයක්‌ කිවුවේ වෙන මොනවත් හින්දා නොවේ. මේ යාළුකමේ වැදගත්කම එදාට වඩා වටින්නේ අද නිසයි. අපට පෙර පරම්පරාවත්, අපට පසු පරම්පරාවටත් අප දෙදෙනා ගේ අවබෝධය ආදර්ශයක්‌ ලෙස නිර්භයව කීමට පුළුවන් නිසයි. අඩුවෙන්ම කතා කරන ජීවන් කවදාවත් මේ වගේ දේ ගැන අදහස්‌ ප්‍රකාශ නොකරන නිසා ඔහු ගේ වටිනාකම ගැන මම අද වැඩියෙන්ම කතා කරනවා. ඔහු මා පිළිබඳව හොඳ විශ්වාසයක සිටි බව මම දැනගෙන හිටියා. ප්‍රේම් ප්‍රනාන්දු නිෂ්පාදනය කළ, ක්‌ලීටස්‌ විසින් සංවිධාන කටයුතු කළ, පාස්‌කු නාට්‍ය යේ යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ චරිතය රඟපෑවේ ජීවන්. ප්‍රේම්ටත්, ක්‌ලීටස්‌ටත් ඕන වුණා වගේම ජීවන්ටත් ඕන වුණා, මා බෞද්ධයෙකු වුණත් ඒ වැඩේට සම්බන්ධ කරගන්න. මූලික කටයුතු වලට බාධාවක්‌ නොවන පරිදි මා පිලාත්ගේ චරිතය රඟපාන ගමන් එම දැවැන්ත නාට්‍යයේ මෙහෙයුමට ආධාර උපකාර කළා. ඔය වකවානුව තුළ ජීවන් ගත කළේ වෙනමම ජීවිතයක්‌. ඔහු මස්‌ මාංශ වලින් තොරව චරිතය සඳහා පේවෙමින්, කැපවෙමින් ශරීරය අඩුකර ගනිමින් සූදානම් වීම මා ඉතා ඉහළින් අගය කළ බවත් ඔහු දැන සිටියා. ඔහුගේ ඒ කැපවීම පිළබඳව, සාර්ථකත්වය පිළිබඳව මාධ්‍යයක සඳහන් වෙන ප්‍රථම අවස්‌ථාවත් සමහර විට මේ වෙන්න ඇති. එදා රූපවාහිනී වැඩසටහනෙත් ඔහු නිවේදකයාට කීවේ ''සනතුත් මෙතන ඉන්නවානේ මම ගැන අමතක වෙන දෙයක්‌ එයා මතක්‌ කරලා දෙයි'' කියා. ඔහු මා කෙරේ තිබුණු විශ්වාසය මට ලොකු ගෞරවයක්‌. මිත්‍රත්වය කියන්නේ අන්න ඒක. නැතුව දිනපතා හම්බවෙලා එකට කාලබීලා දොඩමළු වෙන එක නොවෙයි.

ඔබ ජීවන් ගැන මෙච්චර කතා කරයි කියලා මම හිතුවේ නැහැ?

නෑ මෙහෙමයි. ජීවන්ට මම කරලා තියෙන කිසිම උදව්වක්‌ නෑ. අප අතර ඇත්තේ විශ්වාසය පමණයි. නමුත් මගෙන් 'භයානක උදව්' ඉල්ලපු, මා දැරූ තනතුරු වලට පවා නුසුදුසු යෑයි හැඟෙන ඉල්ලීම් කළ, අය ක්‌ෂේත්‍ර්‍රයේ ඉන්නවා. අසනීප වූ අවස්‌ථාවල මා නිසා ජීවිත බේරුණු අය ඉන්නවා . ඒ අයගෙන් මම ඊට පස්‌සේ ලැබුවේ ගැරහුම්. බොහෝ අය ඒවා විශ්වාස කරන්න ඇති. නමුත් මම නිහ`ඩව විඳ දරා ගත්තා. මම ඒ ගැන ඉදිරියේදී සඳහන් කරයිද, නැත්ද? කියන ප්‍රශ්නාර්ථයක්‌ තුළ ඉන්නේ . මම ළඟදී කැමරා ශිල්පී මහින්දපාල මහතා ලියපු මාලන් බ්‍රැන්ඩෝ ගේ චරිතාපදානය කියෙව්වා. ඔහු පිළිබඳව ලියවුණු මුසාවන් සියල්ල නිහ`ඩව විඳදරා ගත් මාලන්, වයස අවුරුදු 70 දී සියලු සත්‍ය සමාජයට හෙළි කළා. මමත් කෙදිනක හෝ එහෙම කරයිද දන්නේ නෑ. මම එහෙම කළොත් ඒ අයට ආයේ නම් ඇඳුම් ඇඳගෙන ඉන්න විදියක්‌ නම් නෑ. නමුත් ගෞරවනීය, යුක්‌ති ගරුක සදාචාර සම්පන්න මවුපිය යුවළකගේ දරුවෙක්‌ ලෙස, මම එහෙම හැසිරෙන එකක්‌ නෑ කියලා මට හිතෙනවා. මම පාරම්පරික සාරධර්ම, ගුණධර්ම හොඳට අගයන කෙනෙක්‌. තමන්ගේ ජීවිතයේ මවුපියන් වෙනුවෙන් කාලය මිඩංගු කර, එය කළමනාකරණය කරගන්න බැරි දූ පුතුන් ගැන මගේ පැහැදීමක්‌ නැහැ. ඒ වගේම මවුපියන්ට නින්දා කරද්දී නිහඬව ඉන්නා දරුවන් ගැනත් මගේ කිසිම තැකීමක්‌ නෑ. හැමදේම සල්ලිවලට ගන්න පුළුවන් කියලා හිතෙන කුමන තරාතිරමක කෙනෙක්‌ සමඟ වුවත් මම ආශ්‍රය කිරීමට කැමති නෑ. විශේෂයෙන්ම තමන් ගැන විතරක්‌ම හිතන, අනෙකාට මොන දුකක්‌ වුණත් තමාට සැපනම් ඒ ඇති යෑයි සිතන සැමියෙක්‌ වේවා බිරිඳක්‌ වේවා , පෙම්වතෙක්‌ වේවා, පෙම්වතියක්‌ වේවා මගේ ආශ්‍රයෙන් ඈත්වීම ගැන මට අද ඇත්තේ ලොකු සතුටක්‌. තිත්ත වුණත් ඇත්ත කවදාහරි එළිවෙනවානේ.

වර්තමාන සිනමාව ගැන කතා කරන්නේ නැත්ද?

අනේ නෑ. මම සනත් ගුණතිලක කියලා සියලුදෙනාම දැනගත්ත සිනමාවට මම මගේ අම්මට තාත්තට පස්‌සේ වැඩියෙන්ම ආදරය කරන බව මම මීට ප්‍රථමත් කියලා තියෙනවානේ. අදත් දේශීය සිනමාව වෙනුවෙන්, එය ඔසවා තැබීමට අවංකවම කටයුතු කරන ඕනෑම තරාතිරමක කෙනෙකුට මා තුළ ඇත්තේ විශාල ගෞරවයක්‌, භක්‌තියක්‌.. නමුත් ඒ උත්සාහයේ තරමට ප්‍රතිපල තියෙනවාද? හිතාමතා කොයි තරම් ප්‍රමාදවීම්, කාලය නාස්‌තිකර දැමීම් සිදුවෙනවාද? ඉහළ සිට පහළට ත් පහළ සිට ඉහළටත් තනතුරු දැරූ සිනමාව කෙරේ සෘජුවම හෝ අනියම් විදියට දායක වන නිලධාරීන් ගේ කැපවීමේ ප්‍රතිශතය කුමක්‌ද? ඉතාම අවමයි නේද? මෙම ක්‌ෂේත්‍රයේ පමණක්‌ නොව පොදුවේ ක්‌ෂේත්‍ර රාශියක වර්තමාන තත්ත්වය මෙසේ කනගාටුදායක බව රටේ පොදු මතය නොවේද? වර්තමාන රාජ්‍ය නායකයාත් ඒ මතයම සනාථ කරමින් මාධ්‍ය ඉදිරියේ චෝදනා කළ අවස්‌ථාවන් නැතුවා නොවේද? 

වර්තමාන චිත්‍රපට සංස්‌ථා සභාපතිතුමා සියලු දෙනාටම කන්දෙන කාරුණික මහත්මයෙක්‌. ඔහු කාගෙවත් හිත රිදවන්න අකමැති කෙනෙක්‌ කියා මම හිතනවා. නමුත් ඔහුට රාජකාරී කරගෙන යාමට තිබෙන්නාවූ පුළුල් ක්‌ෂේත්‍රය තුළ ඔහුට ඉහළින් හෝ පහළින් හෝ සෑම පැත්තකින්ම නිරන්තරව, අඛණ්‌ඩව සහායක්‌ ලැබෙනවාද? ලැබුණත් ඒ සහය කෙතරම් අවංකද? ක්‌ෂේත්‍රයේ විවිධ කණ්‌ඩායම්වලින් එන යෝජනාවල අවංකත්වය පැවරී ඇත්තේ අයිසින් දාපු කේක්‌ එකක අයිසින් තට්‌ටුව වගේ. ඇතුලේ ඇත්තේ ලාභ ප්‍රයෝජන ආත්මාර්ථකාමීත්වය, තව කෙනෙකුට වළ කැපීම වැනි වංකවූත් කූට වූත් අදහස්‌ ගොන්නක්‌. එවැනි අවස්‌ථාවක අප ප්‍රගතියක්‌, සුගතියක්‌ බලාපොරොත්තු වන්නේ කෙසේද? මම හිතන්නේ මම මීට වැඩිය මේ ගැන කතා කළයුතුත් නෑ. මේ ගැන කවුරුත් උරණ විය යුතුත් නෑ. උරණ වුණත් මට කමකුත් නෑ. තොප්පිය හරිනම් දාගත්තාවේ. 

ජනාධිපතිතුමාට ඉදිරිපත් කීරීම සඳහා නිර්දේශ කරන වැඩසටහනක්‌ සකස්‌ කිරීමට සිනමාවට සම්බන්ධ වූවන්ගේ කමිටුවක්‌ මේ දිනවල ක්‍රියාත්මක වෙනවා ඔබත් එහි සාමාජිකයෙක්‌ ? 

ඔව්. ඒක හොඳ වැඩක්‌. වැඩේ තියෙන්නේ මේ හොඳ වැඩ ක්‍රියාත්මක වීම දින නියමයක්‌ නොමැතිව කල් යැමයි. එසේ ගිහින් හිමීට වියෑකී යැමයි. දැන් අගමැතිතුමා දාපු 2015 කමිටුවේ වර්තමාන තත්ත්වය කුමක්‌ද? එහි ඇති හොඳ දේවල් ක්‌ෂේත්‍රයේ හැමෝටම අවිවාදයෙන් පිළිගත හැකි දේවල් ප්‍රමාද නොවී ක්‍රියාත්මක නොවන්නේ ඇයි? ඒවා සභාපතිතුමාට තනියම කරන්න පුළුවන් දෙයක්‌ නොවෙයිනේ.

මීට ඉස්‌සරත් සිදු වුණේ හොඳ දේවල් පැත්තක තියා තම තමන්ට වාසි සහගත දේවල් යටි කූට්‌ටු විදියට ක්‍රියාත්මක කරගෙන පසුව එකිනෙකාට ඇඟිල්ල දික්‌ කරපු එකයි. ඔය කියන කමිටුවෙත්, පොදුවේ සමස්‌ත සිනමාවෙම දියුණුව, ප්‍රගතිය ගැන සලකා අවංකව අදහස්‌ පළකරන අය මෙන්ම අනුන්ට හෙණ ගැහිලා ගියත් මට මොකද කියලා හිතන තමන්ගේ සහ තම ක්‌ෂේත්‍රයේ වාසිය සඳහා පමණක්‌ කතා කරන අයගෙන්ද සමන්විත බව තමයි ඇත්තම ඇත්ත. නමුත් සිනමාවේ නාමයෙන් මෙම කමිටුවෙන් යහපතක්‌ම වේවා යෑයි මගේ ඒකායන බලාපොරොත්තුවයි. 

ඔබ යෝජනා කරන්නේ කුමක්‌ද? 

මා මීට ප්‍රථම අනන්ත අප්‍රමාණ වතාවක්‌ කියා ඇති පරිදි සියලුම ක්‌ෂේත්‍ර නියෝජනය වන පරිදි සාකච්ඡා වට කිහිපයක්‌ අඛණ්‌ඩව පවත්වා, හැමෝටම එකඟවිය නොහැකිවුවත්, වැඩි දෙනාට එකඟ විය හැකි ක්‍ර්‍රමවේදයක්‌ සකස්‌ කර ගැනීමයි. එම ක්‍රමවේදය ගැන ඉතා කෙටි කාලයක්‌ තුළ නැවත නැවත සාකච්ඡා කර, අවශ්‍ය නම් පිටස්‌තර විද්වත් දැනුමකටද භාජනය කර, නිශ්චිත කාල සටහනකට මෙම ක්‍රමවේදය ක්‍ර්‍රsයාත්මක කිරීමයි. මා මෙහිදී කාලය ගැන සඳහන් කරන්නේ 1971 චිත්‍රපට සංස්‌ථාව පිහිටුවූවත් සිංහල චිත්‍රපට සම්පූර්ණ ලෙස රට පුරාම බෙදාහැරීම ක්‍රියාත්මක වූයේ එයට අවුරුදු කීපයකට පසුවයි. එනම් 1976 අප්‍රේල් 01 දායි. නමුත් ඒ දීර්ඝ කාල සීමාව තුළ නිලධාරීන් අක්‍රියව සිටියේ නෑ. ඔවුන් යම් ඉලක්‌කයකට වැඩ කටයුතු කළේ නිශ්චිත අරමුණක්‌ හදවත් තුළ මෙන්ම මනසේ ද රඳවා ගෙනයි. ඔවුන් සුවිශාල ලෙස අත්හදා බැලීම් කළා. මුලින්ම ඉතා ජනප්‍රිය හින්දි, දෙමළ සහ වෙනත් භාෂා වල චිත්‍රපට සංස්‌ථාව මඟින් ආනයනය කර ඒවා ක්‍රමවත්ව නගරයේ සිට ගමට බෙදාහැරීමක්‌ කළා. ඒ බෙදාහැරීම තුළින් ප්‍රේක්‌ෂක ආකර්ෂණය එම චිත්‍රපටවලට පමණක්‌ නොව මෙකී ක්‍රමවේදයටත් හුරු පුරුදු කළා. ගම්බද සිනමාකරුවන්ද කොම්පැනිවලින් මිදී මේ අලුත් වැඩ පිළිවෙලට සකස්‌ වීමට පුළුවන්a පරිසරයක්‌ සහ ජවයක්‌ ඔවුන් තුළ ඇති කළා. එයට පසු සුමානයක්‌ ඇතුළත කොම්පැනිවල චිත්‍රපට බෙදාහැරීමත් සංස්‌ථාවට පවරා ගෙන, සංස්‌ථාවේ ඒකාධිකාරය යටතේ අඛණ්‌ඩ සේවයක්‌ සියලු පාර්ශ්වවලට ලබාදුන්නා. මේ සඳහා චිත්‍රපට සංස්‌ථාවේ පළමු සභාපති ලෙස කටයුතු කළ වර්තමාන කැබිනට්‌ අමාත්‍ය මා මිත්‍ර සරත් අමුණුගම මහතාගේ දැඩි සහයෝගය එවකට චිත්‍රපට සංස්‌ථාවේ විධායක අධ්‍යක්‌ෂ සහ සාමාන්‍යාධිකාරී වූ ඩී. බී නිහාල්සිංහ නමැති උත්තමයාට ලබා දුන්නා. ඒ විතරක්‌ නොවෙයි, රටේ පළවෙනි පුරවැසියා වූ අගමැතිනි සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගේ පූර්ණ ආශිර්වාදයත් නිහාල්සිංහ මහතාට ලැබුණා. අන්න ඒ විදියටයි වැඩේ කෙරුණේ. ඒ ගැන හොඳට දන්න පිරිසක්‌ තාමත් ජීවතුන් අතර ඉන්නවා. මමත් කරුණු හොයා ගත්තේ ඒ අයගෙන් . මොකද මම ඒ කාලේ පාසල් ශිෂ්‍යයෙක්‌. අදත් මේ වගේ සුවිශේෂ කර්මාන්තයක්‌ ගැන වැඩක්‌ කෙරෙන්න ඕන ඒ විදියට. හැබැයි ඒක ලේසි නෑ. නමුත් වැඩේ වැඩේ විදියට නියමෙටම කෙරුණා. වැඩේ ලෙඩේ වුණේ කොතනින්ද කියලා මා වෙන දවසක කරුණු ඇතුව කියන්නම්. ඉදිරියේ ඡන්දයක්‌ තියෙන නිසා මා කියන දෙයින් අතට හෝ බුලත් කොලේට හෝ අලියට හෝ පුටුවට හෝ සීනුවට හෝ ඉණිමඟට හෝ වාසියක්‌වත් අවාසියක්‌වත් සිදුවෙනවට මම කැමති නෑ. ඒ නිසා මම ඉතිරිය පසුවට කියන්න තියා ගන්නම්.

ඔතරම් කරුණු හෙවූ ඔබ මේ ගැන වගකිවයුතු අයට කීවේ නැත්ද?

කියන්න ඕන හැමෝටම කියලා තියෙන්නේ. දැන් කියන්න ඉතුරුවෙලා ඉන්නේ දෙවියෝ විතරයි. ඒකත් නොකරනවා නොවෙයි. නමුත් මම කාටවත් දොස්‌ කියන්නේ නෑ. උනන්දුවෙන් අසා සිටි, උනන්දු වී කටයුතු කරමින් නියෝග දුන්, යම් ආකාරයක ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමට තරම් කාරුණික වූ අය නොසිටියා නොවේ. දෙවන තුන්වන පියවරවලට ගොස්‌ තවදුරටත් ඉදිරියට යැමට උත්සාහ ගත්තත් වළක්‌වා ගත නොහැකි විවිධ බාධක ඒ ඒ කාලවල රට තුළත්, ජාත්‍යන්තරයෙනුත් ඇතිවූ අවස්‌ථා මත අපේ ගැටලුවේ ප්‍රමුඛත්වයට හිමිතැන නොලැබුණු බව සඳහන් කරන්නේ, එකී රාජ්‍ය නායකයන්ව සාධාරණය කිරීමට නම් නොවේ. සිදුවූ ඇත්ත එය නිසයි. ඕනෑම කෙනෙක්‌ පළමුව බලන්නේ තමන්ට මොකද වෙන්නේ , තමන්ගේ තනතුර රැකෙයිද වැනි දේ. ඒක පෘතග්ජනයි. ඒවට මුල් තැන දුන්නම අපට හිමිතැන අහිමිවීම ස්‌වභාවිකයි. 

දැන් වර්තමාන කමිටුව ගැන ඔබේ අදහස්‌ ? 

කමිටුවක්‌ පැවතීම පිළිබඳව හොඳක්‌ මිස නරකක්‌ මා දකින්නේ නෑ. අසනීප ගතියෙන් පසු වූ නිසා අවසාන කමිටු රැස්‌වීම්වලට සහභාගී වන්නට මට ඉඩ ප්‍රස්‌ථාව තිබුණේ නෑ. එබැවින් ඒ ගැන මා අදහස්‌ දැක්‌වීම කිසිසේත් සදාචාර සම්පන්න නෑ. නමුත් මගේ එක සිතින් ප්‍රාර්ථනාව මේ අවස්‌ථාවේදීවත් ඉලක්‌කගතව යම්කිසි වැඩ පිළිවෙළක්‌ සිදු වෙයි කියා. එහෙම සිදු වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. මෑතකදී අපේ සිනමා කර්මාන්තය භාර ඇමතිතුමා චිත්‍රපටි සංස්‌ථා පරිශ්‍රයට පැමිණීමත් වැදගත් කරුණක්‌ ලෙස මා දකිනවා. එතුමා චිත්‍රපට කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් සුබදායක හ`ඩක්‌ නඟා වැඩදායක ලෙස අප ක්‌ෂේත්‍රයට උදව් කරාවි කියා මා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මගෙන් විය යුතු සේවාවක්‌ මගේ ශක්‌ති ප්‍රමාණයෙන් ලබා දීමට සූදානම්.

ඇමතිවරයා ඉදිරියේ ඔබට දැඩි දෝෂාරෝපණයක්‌ පැමිණි බව දන්නවාද?

මා එදා එහි සිටියේ නෑනේ. නැති තැන කියනවට වඩා මම ඉන්න තැනක කිව්වනම් හොඳයි. කිව්වේ මොනවද කියා දන්නේ නැතුව උත්තර දෙන්නේ කොහොමද? සිනමා කර්මාන්තයේ නියෑළුණු, පිළිගත හැකි නිෂ්පාදකවරයෙක්‌, ප්‍රදර්ශකවරයෙක්‌, සිනමා මණ්‌ඩලයක නියෝජිතයෙක්‌, ආනයනකරුවෙක්‌, චිත්‍රපට සංස්‌ථා සේවකයෙක්‌ හෝ වෙනයම් සුදුස්‌සෙක්‌ සමඟ ඕනෑම සාකච්ඡාවකට මා සූදානම්. ඒ මා නිවැරදි වීමට නොවේ. සාකච්ඡාවෙන් පසුව කුමක්‌ හෝ නිවැරදි මතය ජනගත කිරීමේ අවංක අරමුණින්. මගේ මිතුරෙක්‌ නම් මට කීවේ කලබල වෙන්න ඕන නෑ. ඔය අනම්මනං කිව්වේ පෝය දවසෙත් ජෝඩු වලට චිත්‍රපට පෙන්වලා දවස්‌ 14 ක්‌ රිමාන්ඩ් වුණු පූසෙක්‌ කියලා. මම ඒ පූසා කවුද කියලා හොයන්න ගියේ නෑ.

සනත් ගුණතිලක මේ සංවාදය නිමා කළේ ඉල්ලීමක්‌ද කරමිනි. එA ඔහුගේ නව නිවසේ ලිපිනය පළකර දෙන ලෙසය.

නො.187, ඕකිඩ් නිවාස සංකීර්ණය, පරාක්‍රම මාවත, තලාහේන, මාලබේ ඔහු පදිංචි නව නිවහනයි.

No comments