Breaking News

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද තිරිසනාගේ කුසගින්න නිවන්නට දිවා රෑ නොබලා වෙහෙසෙනා හා තමා උපයන ධනයෙන් කොටසක් ඒ සඳහා වැයකොට එම සතුන් වෙතම ගොස් ඔවුන්ගේ කුසගින්න නිවන ඉතාම දුර්ලභගනයේ පින්වතෙක් පසුගියදා අපට හමුවිය.
ඔහු නමින් ජී.ඩී. සෝමවීර ජයනන්ද වන අතර ඔහුගේ ලිපිනය වන්නේ කිරිමැටියාන බෝත‍ලේගමයි.

වසර කීපයක්ම ඉතාලියේ රැකියාවේ නිරතව සිටි ජයනන්ද මහතා වසර කීපයකට වතාවක් දිවයිනට පැමිණ තම බිරිඳ හා දරුවන්ගේ දුකසැප වෙනුවෙන් වෙහෙසුණද ඔහුගේ සියලුම බලා‍පොරොත්තු සුන්ව ගියේ ඔහුගේ ආදරණීය බිරිඳ රෝගාතුරව හදිසියේ දිවියෙන් සමුගැන්මෙන් පසුවයි.
මියගිය බිරිඳ වෙනුවෙන් පින් රැස් කිරීමට වෙහෙසුණු ඔහුගේ යටිසිත පවසා ඇත්තේ තම මියගිය බිරිඳ වෙනුවෙන් අසරණ සතුන්ගේ කුසගින්න නිවීමට ප්‍රමුඛතාවක් දියයුතු බවකි. මිනිසාටත් වඩා තිරිසනා උසස් කොට සලකන ජයනන්ද මහතා පවසන්නේ කුසගින්නට යමක් ඉල්ලා ගන්නටවත් බුද්ධි ශක්තියක් නොමැති තිරිසණාගේ කුසගින්න නිවන්නට බුද්ධියෙන් පරිපූර්ණ මිනිසා දක්වන අලසකම තමාගේ හදවතට වේදනාවක්ව ඇති බවකි.
ඉතාලියේ සේවයේ නිරතව සිටියදීද අසරණ සතුන්ගෙ කුසගින්න නිවාලනුවස් පැස්තා හා පරළු පාන් එක්රැස්කොට ඉතාලියේ කතානියා නගරයේ යම් ස්ථානයකට ගොස් දහස් ගණනක් පරවියන්ගේ කුසගින්න නිවූ ඔහු තම ගම් ප්‍රදේශයේ අයා‍ලේ යන කාත් කවුරුවත් නැති අසරණ සුනඛයින්ගේ කුසගින්න නිවාලීමට දැන් හුරුපුරුදුව සිටී. දිනකට සහල් කිලෝ 8ක පමණ බත් උයා ඊටම සරිලන වෑංජනයක්ද සූදානම් කර ගන්නා ඔහු දිනපතාම උදේ හවස කිරිමැටියාන තුලාවල කොස්වත්ත හා යක්දෙස්සාව යන ප්‍රදේශ කරා තම යතුරුපැදියෙන් යන්නේ එය තම සුපුරුදු රැකියාවක් ලෙසයි.
දද, කුෂ්ඨ රෝගපීඩාවලින් අන්ත අසරණ වී සිටින සුනඛයන්ගේ ගැලවුම්කරුවකු ලෙස උන් වෙනුවෙන් මුළු දවස ගෙවන මේ පින්වතා උන්ට බේත්හේත් හා බිස්කට් යනාදියද රැගෙනයාම සුපුරුදු දසුනක්ව ඇත.
තම ආදරණීය බිරිඳ වන ජී.ඩී. විනීතා අයිරාංගනී මහත්මියගේ අකල් මරණය සිදුවූ දින සිට තමා ජීවත්ව සිටිනතාක් කාලයක් මේ අපූරු පුණ්‍ය ක්‍රියාවේ යෙදීමට අදිටන් කරගෙන සිටින ජයනන්ද මහතා පැමිණෙන තෙක් සුනඛයන් 60ක පමණ පිරිසක් මගබලා සිටින බව ඔහු මාධ්‍යයට කීවේ හදපිරි සතුටිනි.
අනේ මට බඩගිනියි. කන්න යමක් දෙන්නැයි, කටින් කතා කළ නොහැකි තිරිසන් සතුනගේ කුසගින්න නිවන්නට කටින් කතා කළ හැකි අපේ මිනිසුන්ට නොහැකි මන්දැයි ප්‍රශ්න කරන ජයනන්ද මහතාගේ මේ අපූරු සත්ක්‍රියාවේ වැරදි හොයන තිරිසන් ගණයේ මිනිසුන්ද සිටින බවත් ඔවුනට මිනිසා දෙවියකු යන කියමන අමතක වී ඇති බවත් ඔහු අවසන් වරටත් අප සමග කීය.

ජෝන් ඇන්ටනී - වෙන්නප්පුව

No comments