Breaking News

බැදුම්කරය පරදවන බිලියන 40ක් පාඩුවන බලාගාර වංචාව (Exclusive)



භාන්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී සිදුවූ බව කියන රුපියල් බිලියන 11කට අධික මූල්‍ය අක්‍රමිකතාවය පිළිබඳව මේ දිනවල සමාජය තුල විශාල කතා බහක් ඇතිවී තිබේ. එය මෙරට සිදුවු විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකේ. නමුත් පෙරකී බැදුම්කර වංචාව මෙන් තුන් ගුණයක් විශාල, එනම් රුපියල් බිලියන 34 (මිලියන 34,000) පාඩුවක් රටට සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචාවක් මේ වනවිට රට තුල සිදුවෙමින් පවතී.

 ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කෙරවලපිටිය - II ව්‍යාපෘතිය ලෙස හැදින්වෙන නව LNG (ස්වාභාවික වායු ) බලාගාරය ඉදිකිරීම සදහා වන ටෙන්ඩර් පටිපාටිය හිතා මතාම පමා කිරීමට කටයුතු කිරීම හරහා මෙම මූල්‍ය වංචාව සිදුකිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු එක්ව කටයුතු කරමින් තිබේ. දීර්ඝ කාලයක් පුරා විවිධ හේතු මත පමා කරතිබූ මෙම ටෙන්ඩරය පසුගිය වසරේ අගභාගයේදී නීති විරෝධී ලෙස කොරියාවේ සැම්සුන්ග් සමාගමට ලබාදීමට දූෂිත  නිලධාරීන් පිරිසක් විසින් කටයුතු සැලසුම් කල අතර තාක්ෂණික ඇගයීම් කමිටුව ලබා දුන් නිර්දේශ පවා නොතකා එම සමාගම වෙතම මෙම ඉදිකිරීම් ටෙන්ඩරය ලබාදීම ඔවුන්ගේ අරමුණ විය. යම් හෙයකින් එම සමාගමට අදාළ ටෙන්ඩරය ලබා දුන්නේ නම් රටට දීර්ඝ කාලීනව සිදුවන පාසුව රුපියල් බිලියන 200 ඉක්මවන අතර දූෂණ විරෝධී ජනතාවගේ හඬ නැගීම හමුවේ එම කූඨ සැලසුම හකුලා ගැනීමට ඔවුනට සිදුවිය.

එම ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කල  ජී එස් විතානගේ අදාළ ටෙන්ඩර් කමිටුවෙන් ඉල්ලා අස්වීම දක්වාම ගැටලුව දුරදිග ගිය අතර පසුව එම ටෙන්ඩරය තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ කර තිබූ සමාගම් අතරින් අඩුම මිල ඉදිරිපත් කල සම්පූර්ණයෙන්ම දේශීය සමාගමක් වන   LTL Transformers (Pvt) Limited සමාගමට ලබාදීමට අදාල අංශ තීරණය කරන ලදි.

නමුත්  එම තීරණය නොතකා හැර, දෙවනි අඩුම ලංසුව ඉදිරිපත් කල සමාගමට ඉදිකිරීම් ටෙන්ඩරය ලබාදීමට අදාළ දූෂිත නිලධාරීන්  දැඩි ආයාසයකින් කටයුතු කරමින් සිටින බව වාර්තා වී තිබේ. අඩුම ලංසුව සහ දෙවන අඩුම ලංසුව අතර වූ වෙනස නිසා සිදුවන පාඩුව රුපියල් බිලියන 34 බව බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දී තිබේ. එමෙන්ම අවම ලංසුව ඉදිරිපත් කර ඇති සමාගමට වඩා දෙවනියට අවම ලංසුව ඉදිරිපත් කර ඇති සමාගමේ අදාල බලාගාරය ඉදිකිරීම සදහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 125කින් පමණ වැඩි වන අතර එලෙස වැඩි වීමට හේතුව මීට සම්බන්ධ වී සිටින  දූෂිත නිලධාරීන් පිරිසට ලැබෙන කොමිස් මුදල හේතුවෙන්ය. අවම ලංසුව ඉදිරිපත් කර ඇති දේශීය සමාගම සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් ඔවුන්ව බලශක්ති ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම සදහා එම නිලධාරීන්  විශාල උත්සාහයක් ගනිමින් සිටියි. 

VAT  කතාව 

මෙම අවම ලංසුව ඉදිරිපත් කල සමාගම නොසලකා හැරීමට හේතුව වශයෙන් පෙරකී නිලධාරීන් විසින් ප්‍රකාශ කරනුයේ ලංසු ඉදිරිපත් කිරීමේදී VAT බද්ද නොසලකා හැර ඇති බවයි.  සාමාන්‍යයෙන් මෙවැනි ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ව්‍යාපෘතියකින් රජය  බදු අය කිරීමට බලාපොරොත්තු නොවන අතර එම බදු ඉවත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. රජය විසින් කිසිදු වියදමක් නොදැරීම සහ වසර විස්සකින් බලාගාරය රජයට අයිති වීම යන කරුණු මත මෙම බලාගාරය ඉදිකිරීම ජාතික වශයෙන් වැදගත් වන සම්පතක් බවට ඕනෑම අයෙකුට තේරුම් ගත හැක. 

දෙවනි තැනට අඩුම ලංසුව ඉදිරිපත් කර ඇති සමාගම අදාල ලංසු ඉදිරිපත් කිරීමේදී වැට් බද්ද ගණනය කර ඇති අතර ඔවුන් ඒකකයක මිල අවම ලංසුව ඉදිරිපත් කල සමාගමට වඩා රුපියලකින් වැඩි වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ එම වැට් බද්දේ අගයයි.

නමුත් එය ඉතා වංචාකාරි මිල තීරණය කිරීමකි. 

සාමාන්‍යයෙන් මෙම රුපියලක මිල වැඩි වීම මත බලාගාරයෙන් රටට වන පාඩුව වසර 20 තුලදී රුපියල් බිලියන 34 වන නමුත් වැට් බද්දේ සැබෑ බලපෑම වසර විස්සක කාලය සදහාම රුපියල් බිලියන 3ක් පමණ වේ. ඒ අනුව වැට් බද්ද යැයි පවසමින් රටට අහිමි කිරීමට සූදානම් වන මුදල රුපියල් බිලියන 30කට අධිකය.


බලාගාරය ඉදිකිරීම පමා කිරීමේ සැබෑ අරමුණ

මෙම නිලධාරීන් මින් පෙර අවස්ථාවකදී කූප්‍රකට ගල් අගුරු වංචාවට හසුවී ශ්‍රේෂ්ඨාධිකරණයේ උදහසට පවා ලක්ව සිටින අපකීර්තිමත් පිරිසකි.  බලාගාර ටෙන්ඩරය ලබාදීමේදී සිදුකරන අක්‍රමිකතාවය නිසා සිදුවන පාඩුව පැහැදිලිව ගණනය කල හැකි, බොහෝ විවෘතව සිදුවන වංචාවක් වන නමුත් මෙම ටෙන්ඩරය පමා කිරීම පසුපස ඇති සැබෑ හේතුව මීට වඩා බොහෝ භයානකය. මෙම බලාගාරය ඉදිකිරීම දිගින් දිගටම කල් දැමීම හරහා අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාගැනීමට හැකියාවක් නොමැති තැනට රට පත් කිරීම මෙම වංචාකාරයින්ගේ අරමුණයි. එසේ බලශක්තිය සපුරාගත නොහැකි වූ විට ඉල්ලුම සපුරාලීම සඳහා විදුලි බල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම් කිරීමට සිදුවන අතර එහිදී විදුලි ඒකකයක මිල ඉතා ඉහළ අගයක් ගනී.


දැනට එලෙස රජයට හදිසි විදුලිය සපයා ප්‍රකෝටිපතියෙකු වී සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු විසින් දූෂිත නිලධාරීන්  යොදා ගනිමින් මෙලෙස දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ලෙස මෙම සැලසුම දියත් කරමින් සිටියි. මෙම බලාගාරය ඉදිකිරීම තවදුරටත් පමා වුවහොත් විදුලිය බල මණ්ඩලයට මසකට රුපියල් මිලියන 1550ක අතිරේක වැය බරක් දරමින් හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවන අතර එය දීර්ඝ කාලිනව රටට දැවැන්ත ආර්ථික ප්‍රශ්ණ ඇතිකරනු ඇත.

වඩාත් කණගාටුදායක කරුණ නම් එම බලාගාරය ඉදිකිරීම පමා කිරීම නිසා මේ වන විට ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති මූල්‍ය පාඩුව රුපියල් බිලියන 12.4 වන අතර එය භාන්ඩාගාර බැදුම්කර වංචාව නිසා රටට අහිමි වූ මුදල ඉක්මවා යන ප්‍රමාණයේ බරපතළ මූල්‍ය අපරාධයකි. භාන්ඩාගාර බැදුම්කර වංචාවෙන් උපයන ලද මුදල් පාර්ලිමේන්තු පණතකින් හෝ නැවත අයකරගත හැකි වනු ඇත. නමුත් මේ බලශක්ති වංචාවෙන් පෙරකී දූෂිතයින් ඉපයූ ධනය මෙරට කිසිම බැංකුවක හෝ ව්‍යාපාරයක ආයෝජනය කර නැත. ඔවුන් ඒ මුදල් විදේශ බැංකු වල තැන්පත් කර තිබේ. තවදුරටත් මෙම වංචාව දිගින් දිගටම සිදුවුව හොත්, අපේ රටට සිදුවන දැවැන්ත පාඩුව නැවත කිසිදාක ප්‍රතිපූර්ණය කරගත නොහැකි වනු ඇත.

- සිලෝන් ටුඩේ ජාතික පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි. 
ඉංග්‍රීසි ලිපිය සඳහා පිවිසෙන්න  -  Power plant tender may cause Rs 40B loss to CEB

No comments