Breaking News

ආණ්ඩුවේ දුර්වලතා ගැන ජනතාවගේ කලකිරීම ප්‍රතිඵලවලින් පේනවා

ආණ්ඩුවේ දුර්වලතා ගැන ජනතාවගේ ඇති කලකිරීම ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කර ඇති බැවින් ආණ්ඩුවේ බලගතු ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Image result for champika ranawaka at press

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(26) පෙරවරුවේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ  ද සඳහන් කළේය.

“මේ ඡන්ද ප‍්‍රතිපලයෙන් පෙන්වා දෙන්නේ 2015 ජනවාරි 08 වෙනිදා ජනතාව අපේක්‍ෂා කළ තීන්දු තීරණ ලබාදීම වෙනුවෙන් 2015 ජනවාරි 08 වෙනිදා බලවේග එකට එකතු විය යුතු බවයි. 

ඒ සඳහා හුදු පක්ෂ ගොඩනගා ගැනීමේ කාර්යයේ හෝ පුරාජේරු කතා වෙනවුට නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ එකට එකතු වී විධිමත් ප‍්‍රතිපලදායී ලෙස කටයුතු කළ යුතු බවයි. 

ඒ වගේම ආණ්ඩුකරණයේදී යහපාලන ආණ්ඩු ක‍්‍රමයේදී, ඇති වූ දුර්වලතා තීන්දු තීරණ ගැනීමේ මන්දගාමී ස්වරූපය සහ එහිදී ජනතාව පත්ව තිබූ කලකිරීම වහාම නැති කිරීම උදෙසා පියවර ගත යුතුයි. එසේ නම් ඒ සියල්ලටම අපි යෝජනා කරන්නේ බොහොම පැහැදිලි, බලගතු ප‍්‍රතිසංස්කරණයක් ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය බවයි. 

එහි පළමු කාරණය විය යුත්තේ කණ්ඩායම් දෙකටම එකඟ විය හැකි වැඩපිළිවෙලක් රට හමුවේ තබා කි‍්‍රයා කිරීමයි. ඉදිරි තුන් මාසයේ කටයුතු සහ 18 මාසයක් තුළ සපුරා ගත යුතු වැඩපිළිවෙල වහාම හඳුනාගෙන දැවෙන ප‍්‍රශ්න විසඳන දේශපාලනික වැඩපිළිවෙලක් බවට එය පත්කර ගත යුතු බවයි.

මේ වන විට ආණ්ඩුව විවිධ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ ඉදිරිපත් කර ඇත. දින 100 වැඩපිළිවෙල, 2020 දක්වා වූ වැඩපිළිවෙල සහ 2025 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඒ අතර වේ. 

ඒ සියල්ල එකට කැටිකොට ආර්ථික, සමාජීයීය සහ දේශපාලනික වශයෙන් අත්‍යාවශ්‍ය ප‍්‍රමුඛ කාරණා වෙත අවධානය යොමු කරමින් ඉදිරි තුන් මාසයට සහ 18 මාසයට ගැලපෙන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සිටින 50 දෙනෙකුට අධික තරුණ මන්ත‍්‍රීවරුන්ටත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින තරුණ මන්ත‍්‍රීවරු 36 දෙනාත් එකතු කර ගනිමින් ඔවුන්ගේ වගකීමට යටත්ව විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළ යුතුයි.

අද රටේ දැවෙනම ගැටළුවක් වන වතුර, නියඟය පිළිබඳ ගැටළුව, පොහොර සම්බන්ධ ගැටළුව මෙන්ම සමෘද්ධි සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් විධිමත් ක‍්‍රමවේදයක් සකසා දුගී බවෙන් රට මුදවා ගන්නා වැඩපිළිවෙලත්, ඉඩම් ඔප්පු ලබාදීම, නිවාස තනාදීමට නිවාස ණය ලබාදීම සහ ආර්ථික සහනාධාරය නිෂ්චිතව බෙදා හැරීම විධිමත් කළ යුතුයි. 

තවද රටේ ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ විශාල වැඩ ප‍්‍රමාණයක් ඉටු කළ යුතුව ඇත. නුදුරේදීම ඇතිවන විදුලිබල අර්බුදය, ජල සැපයුම් සහ ජල අපවහන පහසුකම් පිළිබඳ ගැටළුව, වරායේ ධාරිතාව නැතිවී තිබීම පිළිබඳ ගැටළුව, ගුවන් තොටුපලේ උද්ගත වී ඇති ප‍්‍රශ්න සඳහා වහාම පිළියම් ලබා දිය යුතුයි. 

ඒ වගේම ජනතාව අපේක්‍ෂා කළ දූෂණ මර්ධනය සඳහා වන තීන්දු තීරණ ගැනීමේ මන්දගාමී ස්වභාවය, රාජ්‍ය සේවක පඩිනඩි පිළිබඳව තිබෙන ගැටළු, වසර දෙකක් තිස්සේ දිග්ගැසෙන සයිටම් ගැටළුව වැනි ඍජුව ජන ජීවිතය සහ රටේ සමාජ ආර්ථික තත්වයන් සමග ගැටෙන ගැටළු සඳහා කඩිනම් පිළිතුරක් රජය විසින් ලබාදිය යුතු කාලය එළඹ ඇත. 

මේ සියළු ප‍්‍රශ්න ඉකුත් මැතිවරණයට බරපතළ ලෙස බලපෑ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 2016 - 2017 පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ රට පුරා උද්ඝෝෂණ 1414 ක් සිදුව ඇති බවත් එයින් 341 ක්ම සයිටම් අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ උද්ඝෝෂණ බවයි.

තවද ඡන්ද ක‍්‍රමයේ ඇති ප‍්‍රායෝගික අත්දැකීම් වේවා, ඉදිරි පළාත් මැතිවරණ ඡන්ද ක‍්‍රමය වේවා, ඉන් ඔබ්බට යන කාරණා වේවා රටේ යහ පැවැත්ම වෙනුවෙන් සමථයකට පත් කිරීම නිවැරදි සාධනීය මට්ටමින් රාජ්‍ය යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සහ පොදු මහජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න විසඳීම සඳහා වන දේශපාලන වැඩපිළිවෙලක් රජය සැකසිය යුතුයි. 

නෙඑසේ නම් එය කණ්ඩායමක් ලෙස අපට ඉදිරිපත් කළ හැකි බවත් එය සාකච්ඡාවෙන්, සංවාදයෙන්, ධනාත්මක වෙනස්කම් සහිතව රජය මැදිහත්ව කි‍්‍රයාත්මක කළ හැකි බවත්, අමාත්‍ය චම්පික රණවක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.“

No comments