කිවුල් ජලය පිරිපහදු කිරීමේ තාක්ෂණයෙන් යුත් ළිඳක් කෑගල්ලෙන් මතුවෙයි | Reporter කිවුල් ජලය පිරිපහදු කිරීමේ තාක්ෂණයෙන් යුත් ළිඳක් කෑගල්ලෙන් මතුවෙයි - Reporter

Hot News

කිවුල් ජලය පිරිපහදු කිරීමේ තාක්ෂණයෙන් යුත් ළිඳක් කෑගල්ලෙන් මතුවෙයි


වියළි කලාපීය පානීය ජලයෙහි කිවුල් සහගත ස්වභාවය බැහැර කරමින් පානීය ජලයේ ප්‍රමිතිය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය තාක්ෂණයෙන් යුත් ළිඳක් කෑගල්ල – රඹුක්කන මාර්ගයේ බතමුරේ නවගමුව පුරාණ දේවාලය අසලින් හමු වී තිබෙනවා.
විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුලට බස්සවා එහි බිත්ති ආවරණය කිරීම තුලින් ජලයේ ගුණාත්මක ප්‍රමිතිය හා සිසිලස ආරක්ෂා කර ගැනීමටයි මෙම ළිඳ භාවිතා කර ඇත්තේ.  
මෙය වට අඩි 05කට ආසන්න ප්‍රමාණයකින් යුත් අතර කැට 04 ක් පොළොව තුළට බස්සවා ඒ මත කළුගල් කිහිපයක් තබා ළිඳෙහි මුහුණත අඩක් ආවරණය වන පරිදි ගල් පතුරකින් ළිඳ තුළට අපද්‍යව්‍ය එකතු වීම ද වළක්වා තිබෙනවා.
මෙවැනි ළිං හැදින්වෙන්නේ 'ඌරාකැට ළිං' ලෙසයි.
නවගමුව පුරාණ දේවාලයට පැමිණි බැතිමතුන් තම භාරහාර ඔප්පු කරලීමට ප්‍රථම පිරිසිදුවීම සහ පඬුරු සේදීම ,පළතුරු පූජාවන් සඳහා පළතුරු සේදීම හා බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යාවයන් ඉටුකරගැනීම සදහා මෙම ළිඳ භාවිතා කර ඇති බව දැනට පවතින මතයයි.
වර්ග කිලෝමීටර් 1693කින් සමන්විත කෑගල්ල දිස්ත්‍රික්කයම ආවරණය පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේතුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම ගවේෂණ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ එම දිස්ත්‍රික්කය පුරා විසිරී ඇති පෞරාණික උරුමයන් මතුකර ගැනීමට සහ එම උරුමයන් සංරක්ෂණය කර මතු පරපුර වෙත ලබාදීමේ අවශ්‍යතාවය මත අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මතයි.
මෙම දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි විධිමත් පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදු කෙරෙන්නේ 1890-1892 කාලයේ පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ වන එච්.සී.පී.බෙල් මහතාගෙන් පසුව වීම විශේෂත්වයක්.
මෙම පුරාවිද්‍යා ගවේෂණ මගින් දැනට නාවන්දල අංගේ ගල්ලෙන පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපිය, මොල්ලිගොඩ මහ අදිකාරම් සිතුවම, කැප්පෙටිපොල පරපුර පිළිබඳ තොරතුරු ආදී වශයෙන් ඓතිහාසිකව වටිනා කරුණු රැසක් අනාවරණය වෙමින් පවතිනවා.

No comments