අත්තනගල්ලේ පොහොට්‌ටුව නවතීද? | Reporter අත්තනගල්ලේ පොහොට්‌ටුව නවතීද? - Reporter

Hot News

අත්තනගල්ලේ පොහොට්‌ටුව නවතීද?


අත්තනගල්ල ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ ජනසෙත පෙරමුණෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අවලංගු කරමින් "රිට්‌" ආඥවක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු තිදෙනෙක්‌ ඊයේ (5 දා) ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළහ. 

එක්‌ අපේක්‍ෂකයකු එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කොට්‌ඨාස දෙකකට තරග කරන බැවින් එම පක්‍ෂ දෙකේම නාමයෝජනා පත්‍ර නීතියට හා පළාත් පාලන ඡන්ද විමසීම් පනතට පටහැනි බැවින් එම පක්‍ෂ දෙකේම නාමයෝජනා පත්‍ර අවලංගු විය යුතු යෑයිද පෙත්සමෙන් කියා සිටියි.

පෙත්සමේ සඳහන් අන්දමට එම පළාත් සභා මැතිවරණයේදී ඡන්ද කොට්‌ඨාස දෙකකට තරග කරන්නේ නිට්‌ටඹුව රන්පොකුණ ගම අංක සී.බී. 4/16 පදිංචි හතකපුරුලාගේ හර්ෂ ලක්‌මාල් දයාරත්න නමැත්තායි.ඔහු ජනසෙත පෙරමුණෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ කහටෝවිට කොට්‌ඨාසයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රන්පොකුණගම කොට්‌ඨාසයටත් තරග කරන බවට එම පක්‍ෂ දෙකේම ලැයිස්‌තුවලට ඔහුගේ නම ඇතුළත්වී ඇතැයි පැහැදිලිව දැන ගත්තේ ඉකුත් ජනවාරි 25 දා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට අදාළ ඡන්ද ලැයිස්‌තුවෙන් බවත් පෙත්සමේ සඳහන් කර ඇත.


මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, කොමිසමේ අනිත් සාමාජිකයන් දෙදෙනා සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් සියලු දෙනාට පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සමේ 2 වැනි පෙත්සම්කාර නීතිඥ ප්‍රදීප් සංජීව ප්‍රනාන්දු මහතායි. ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අතිරේක අපේක්‍ෂක ලැයිස්‌තුවට ඇතුළත්ව සිටින අයෙකි. 3 වැනි පෙත්සම්කරු වන උදය කීර්ති කොරතොට, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් රන්පොකුණගම කොට්‌ඨාසයට තරග කරයි.

පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගය පවත්වා අවසන් වන තුරු අත්තනගල්ල ප්‍රාදේශීය සභා මැතිවරණයට තරග කරන කිසිදු අපේක්‍ෂකයකු මැතිවරණයේදී තේරීපත්වී ඇති බවට ප්‍රකාශයට පත් කිරීම තහනම් කරමින් අතුරු නියෝගයක්‌ නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

No comments