Breaking News

සුහද මාරුවකට නීතිය හා සාමය ශ්‍රීලනිපයට

feature-top


නීතිය හා සාමය අමාත්‍යංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයකුට ලබා ගැනීමට මේවන විට එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටී.
 
යහපාලන ආණ්ඩුව යටතේ නීතිය හා සාමය අමාත්‍යංශය හිමිව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයටය.
 
ඊයේ (26) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේය.
 
ඇතැමුන් වරදවා වටහාගෙන ඇති බවත්, මෙය අමාත්‍යංශ පවරා ගැනීමක් නොව දෙපාර්ශවයේ එකඟතාවය අනුව ඇතිව සිදුකරන්නක් බවද ඔහු එහිදී අවධාරණය කළේය.
 
මේවන විට අදාළ අමාත්‍ය ධූරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇති අතර ඒ මහතා එම ධූරය ලබාගෙන ඇත්තේ සති දෙකක කාලයකට බවද පැවසේ.
 
අගමැතිට බැරිද ?
මේ අතර, ශ්‍රීලනිප අමාත්‍යවරයකු ශ්‍රීලංකා මිරර් සමඟ කියා සිටියේ අගමැතිවරයා මේ අමාත්‍යංශය වෙන අයකුට පැවරීමට උත්සාහ කිරීමෙන් අගමැතිවරයාට මෙවැනි අමාත්‍යංශයක් පාලනය කළ නොහැකි බව ප්‍රදර්ශනය කිරීමක් බවයි.
 
එය අගමැතිවරයාගේ පෞරුෂයට යහපත් නොවන බවද ඔහු කියා සිටියේය.
 
අග්‍රාමාත්‍යවරයා මෙම අමාත්‍ය ධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස යෝජනා කර ඇති අතර ඒ සඳහා ශ්‍රීලනිප අමාත්‍යවරු බහුතරය විරුද්ධ බව පැවසේ.
 
එසේම නාහිමිවරුද ෆොන්සේකා මහතාට එය පැවරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇත.
 
ඊට අමතරව සිවිල් ක්‍රියාකාරීන් විසින් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ෆොන්සේකා මහතාගේ නමද ඈඳෙමින් ඇති බැවින් ඔහුට අදාළ ධූරය දීම සම්බන්ධයෙන් විරෝධය දක්වා තිබේ.
 
රනිල්ට විශ්වාස භංගයක් !
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ගෙන ඒමට තමන් ඇතුළු එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී පිරිසක්‌ තීරණය කර ඇති බව වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්‌ඩාර මහතා ඊයේ (26) පැවසීය.
 
පුත්තලමේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්‌ වෙමින් රංගෙ බණ්‌ඩාර මහතා මේ බව පැවසීය.
 
එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකත්වයේ ද පූර්ණ වෙනසක්‌ සිදු කළ යුතු බවත්, එම වෙනස සිදු නොකොට කුමන කැබිනට්‌ වෙනස්‌කම් සිදු කළත් පක්‌ෂය ඉදිරියට ගෙන යැමට නොහැකි බවත් රංගෙ බණ්‌ඩාර මහතා කීය. 
 
එම නායකත්ව වෙනස සිදු කරන්නට බලලෝභීත්වයෙන්, ආත්මාර්ථකාමීත්වයෙන් ඔද්දල් වන ඇතැම් නායකයන් කැමති නොවනු ඇති බවත් එසේ වුවහොත් විශ්වාසභංගයකින් හෝ ඔහු අගමැති ධුරයෙන් ඉවත් කිරීමට තමන් ඇතුළු පිරිස සූදානම් බවත් රංගෙ බණ්‌ඩාර මහතා පැවසීය.
 
මේ හඬ පුත්තලමේ ආණමඩුවේ හඬ නොවන බවත් මුළු රටේම ජනතාවගේ හඬ බව වික්‍රමසිංහ මහතා තේරුම්ගත යුතු බවත් ජනතාවගේ හඬට කන් දිය යුතු කාලය එළැඹ ඇති බවත් රංගෙ බණ්‌ඩාර මහතා කීය.
 
රටේ විශ්වාසය නැති පුද්ගලයාට එරෙහිව මෙසේ අනුකම්පා විරහිතව අප විශ්වාසභංගයක්‌ ගෙන එන බවත් එම විශ්වාසභංගයේ නායකත්වය ගැනීමට තමන් සූදානම් බවද රංගේබණ්ඩාර මහතා සඳහන් කළේය. 
(under the courtesy of srilankamirror.lk news web)

No comments