Breaking News

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි


“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ. ගාමිණී ෆොන්සේකා සමග එදා ඇය කළ රංගනය බොහෝ දෙනෙකුගේ මතකයේ අමතක නොවන ලෙස රැඳී තිබෙනවා. එක්තරා කාලයක සිංහල සිනමාවේ ජනප්‍රිය නිළියක ලෙස වැජඹුණු ඇය පසු කලෙක රඟපෑමෙන් ඈත්ව නිහඬව සිටියා. මේ නිසා ඇය රඟපෑ කිසිදු නිර්මාණයක් දැක බලා ගන්නට ලැබුණේත් නැහැ. නමුත් ඇය යළිත් සිරස රූපවාහිනය හරහා දිග හැරෙන “සිරස film star” වැඩසටහනේ විනිසුරුවරියක් ලෙස කරළියට පැමිණ තිබෙනවා. අපි මේ කතා කරන්නේ. නදීකා ගුණසේකර නම් දක්ෂ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනිය ගැනයි. නදීකා “රිද්ම” සමග මේ විදිහට එකතු වුණේ කාලෙකට පස්සෙයි. 
 
කාලෙකට පස්සේ නේද ඔබ මේ විදියට ආයෙමත් කලා කටයුත්තකට එකතු වෙලා ඉන්නේ? 
 
ඇත්තටම ඔව්. “සිරස film star” විනිසුරුවරියක් විදියට මම මේ දිනවල කටයුතු කරනවා. ඒක වෙනස්ම අත්දැකීමක්. කාලාන්තරයක් ක්ෂ්ත්‍රයේ රැඳී සිටි කෙනෙකු විදියට මම ඒ තුළින් මගේ යුතුකමක් ඉටු කරනවා. 
 
ඒ කිව්වේ?
 
අපි හැමෝම ආධුනිකයන් විදියටයි මේ කලා ලෝකයට ආවේ. එදා අපි එද්දී ක්‍ෂේත්‍රයේ හිටපු වැඩිහිටියෝ, ප්‍රවීණයෝ අපිව පිළිගත්තේ නැත්නම් අපිට මේ ගමන එන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපෙත් යුතුකම නවකයින් වෙනුවෙන් යමක් කිරීම. මේක ඊට කදිම අවස්ථාවක්. 
 
නදීකා ඔය විදියට කිව්වාට රියැලිටි තරගවලින් එන නවකයින්ට බණින ප්‍රවීණයන් ඒ අයගෙ ඉදිරි ගමනක් නැතැයි කියලා හිතන අය ඕනෑ තරම් ඉන්නවා? 
 
රියැලිටි තරගවලින් එන අයට ගමනක් නැහැ කියන මතයක් සමාජය තුළ ගොඩනංවලා තියෙන බව ඇත්ත. නවකයින්ගේ දක්ෂතා අගය කරන්න අකමැති අයයි එහෙම කරන්නේ. රියැලිටි තරග හොලිවුඩ්වල පවා පැවැත්වෙනවා. මම රඟපාන්න එද්දී කැමරාව ඉස්සරහ වම, දකුණවත් දන්නේ නැහැ. ඒත් රියැලිටි තරගවලින් නවකයින්ට ලබාදෙන පුහුණුව කොයි තරම්ද කියලා මම මේ තරගයේදී දැක්කා. ඒ වගේම දක්ෂයින් මේ තරග තුළ ඒ අයට ඉදිරි ගමනක් ගොඩගාගන්න ඉඩකඩ සලසන එක ප්‍රවීණයින්ගේ යුතුකමයි. 
 
ඔබ හිතන විදියට කවුරුන් මේ තරගය තුළින් මතුවේවිද?
 
තාමත් තරගය පවතින හින්දා ඒකට පිළිතුරක් දෙන්න අපහසුයි. 
 
නදීකා දැන් පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් දකින්න ලැබෙනවා අඩුයි? 
 
පුංචි තිරයේ මම අන්තිමට රඟපෑවේ “දූවිලි මල්” ටෙලි නාට්‍යයේ. චිත්‍රපටයක් නම් කරපු කාලයක් මතක නැහැ. 
 
ඇයි ඔබේ සැමියා අකමැතිද ඔබ ආයෙම රංගනයට එනවට? 
 
සුරේන්ගේ කිසි විරුද්ධත්වයක් නැහැ. ව්‍යාපාරිකයෙක් වුණාට එයා ගොඩාක් කලාවට ලැදි කෙනෙක්. කලා ලෝකයේ මගේ හිතවතුන් එයාගේත් යාළුවෝ. මම රඟපෑම සීමා කළේ මගේම වාරණයක් විදියටයි. 
 
ඒකට විශේෂ හේතුවක් තියෙනවද? 
 
ඉස්සර අපි චිත්‍රපටයකට යද්දී අපේ දක්ෂතා උපරිමයෙන් ඒකට ගන්නවා. “බැද්දෙගම” චිත්‍රපටයේ මම රඟපෑවේ සුළු දර්ශන පෙළක්......” චායා චිත්‍රපටයේ මගේ චරිතය එන්නේ අන්තිමට. ඒත් මට ඔය චිත්‍රපට දෙකටම හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. අද තත්ත්වය ඊට වඩා වෙනස්. පාන්දර ඉඳන් මහ රෑ වෙනකල් අපි රඟපාලා ඒවා කැමරාගත කරනවා. සංස්කරණයේදී ඒවා නැති බව දකින්නේ මංගල දර්ශනයට ගියාම. ඒවායින් හිත කලකිරෙනවා. ටෙලි නාට්‍ය වුණත් කොටස් ගණනකට සැලසුම් කළත් රූගත කරන අතරේ නාලිකාව කියනවා පැය ගණන සීමා කරන්න කියලා. එතකොට නිෂ්පාදන, අධ්‍යක්ෂ නළු නිළියෝ ඇතුළු හැමෝම අමාරුවේ වැටෙනවා. ඔන්න ඔය වගේ කලකිරීම් හින්දයි රඟපෑමෙන් මම අද දුරස් වෙලා ඉන්නේ. හැබැයි හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවා. 
 
ඔබගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු දැන ගන්නත් “රිද්ම” පාඨකයෝ කැමති වෙයි?
 
මගේ දුව සෙනුකි යෙහන්සාට දැන් වයස අවුරුදු 13යි. සැමියා සුරේන්. දෙදෙනකුට යාළු වෙලා අවුරුදු 100ක් ඉන්න පුළුවන්. විවාහ වෙලා දවස් 100ඉන්න එක අමාරුයි. විවාහ ජීවිතය කියන්නේ හරිම සංකීර්ණ දෙයක්. සුරේනුයි මමයි අතර දැන් අවුරුදු 18ක සම්බන්ධයක්. අපි යාළුවෙලා අවුරුදු 3යි. බැඳලා අවුරුදු 15යි. ඒත් හරිම සතුටින් අපේ ජීවිත අදටත් ගෙවිලා යනවා. 
 
ආරියවංශ කුලතිලක


No comments