Breaking News

බ්‍රොයිලර් කුකුළු මස් ගැන ප‍්‍රසිද්ධ බොරු මෙන්න....


කුකුළු කර්මාන්තයේ වේගවත් දියුණුව සමග හන්දියක් හන්දියක් ගානේ අධිශීතකරණ සහිත සිල්ලර කඩවලින් පවා කුකුල් මස් හා බිත්තර සුලබව මිලදී ගැනීමට ජනතාවට පහසුකම් සැලසිනි. එසේ වුවද වෙළෙඳපොළේදී කුකුල්මස් හා තරග කරන ශාක ප්‍රෝටීන අලෙවිකරණ ව්‍යාපාරිකයන්ගේ අලෙවිකරණ උපක‍්‍රම ලෙස සහ කුකුළු මස් සකස් කිරීමේ කර්මාන්තය පිළිබඳ සැබෑ තත්ත්වය නොදන්නාකම නිසා බ්‍රොයිිලර් කුකුළු මස් සම්බන්ධව පාරිභෝගික සමාජයේ විද්වතුන්ගේ සිට ගෘහණිය දක්වා විවිධ මතිමතාන්තර පැතිරෙන්නට පටන්ගෙන ඇත.
මෙකී මතිමතාන්තර බෙහොමයකට හේතු වනුයේ දින 35-40ක් වැනි කෙටි කාලයකින් ජීව බර 2 නට පමණ වර්ධනය වීමේ හැකියාව බ්‍රොයිලර් කුකුළන්ට තිබීමය. පාරිභෝගික සමාජයේ ඇතැමුන්ගේ මතයට අනුව බ්‍රොයිලර් කුකුළන්ගේ ඉක්මන් වර්ධනය සිදුවන්නේ විවිධ රසායනික සහ එන්නත් ලෙස ලබා දෙන හොමෝන නිසා බව නිරන්තර කසුකුසුවට ලක්වේ.
Broiler Chicken ලෙස සාමාන්‍ය භාවිතයේදී හඳුන්වන මෙම කුකුළන්, කාර්යක්ෂම දේහ වර්ධනය සහිත මවුපිය පරම්පරාවේ කුකුළන් තෝරාගෙන අභිජනනය කිරීම තුළින් අද දවසේ පවතින බ්‍රොයිලර් කුකුළන් බවට පරිණාමය වී ඇත.
මාංශ වර්ධනය වෙනුවෙන් මවුපිය පරම්පරාවෙන් ලැබුණු ජානමය හැකියාව සහිත දිනක් වයසැති බ්‍රොයිලර් කුකුළු පැටවුන් සදහා ප‍්‍රමිතිගතව සකස් කරගත් කුකුළු නිවාසයක ඇති කිරීමේදී එම සතුන් අපේක්‍ෂිත මට්ටමේ ශරීරයක් ලබාගනී. ඊට හේතුව කුකුළන්ට ලබාදෙන වර්ධක හෝමෝන බව ඇතැම්හු පවසති. නමුත් සත්‍ය කරුණ ඊට ඉඳුරාම වෙනස්ය. සැබැවින්ම එහිදී සිදුවනුයේ
සුවපහසු අභ්‍යන්තර ගොවිපොළ පරිසරයකදී ප‍්‍රමිතිගත කුකුළු ආහාර බ්‍රොයිලර් කුකුළාගේ ආහාර ජීර්ණ පද්ධතියේදී ජීරණය වීමෙන් පසු ශරීරයට උරාගන්නා ග්ලූකෝස්, ඇමිනෝ අම්ල, මේද අම්ල විටමින් සහ ඛනිජ විවිධ වූ ජීව ක‍්‍රියාවන්ට කුකුළාගේ අක්මාව තුළදී භාජනය වීමය. එම ජීවකි‍්‍රයා මගින් සත්වයාගේ දිනපතා දේහ නඩත්තුව සහ මාංශ පේශී වර්ධනය සිදුකිරීමයි. වර්ධනය වූ මාංශ පේශී තුළ පසු අවශ්‍යතා සඳහා ශක්තිය ගබඩා කරයි.
මෙසේ ගබඩා කරගත් ශක්තියෙන් සීමාසහිත ඉඩ ප‍්‍රමාණයක් ඇති කුකුළු නිවාසයක (Intensive Farming- දෑඩි ක‍්‍රමය) දී සතාගෙන් වැයවන ශක්ති ප‍්‍රමාණය ඉතා අඩුය. එම නිසා, දිගින් දිගටම බ්‍රොයිලර් කුකුළන් වැඩෙන විට ශක්තිය තැන්පත්වීම වැඩිවීම නිසා දේහ වර්ධනයක් සත්වයාට ලැබේ. එසේ වුවද ක‍්‍රමානුකූලව එම වර්ධනය ස්ථාවරවීම වයස දින 49 පසු සිදුවේ. එසේ නොමැතිව වර්ධක හෝමෝන ඉන්ජෙක්ෂන් කිරීමක් හෝ බොන ජලයට දීමක් හෝ සිදු නොවේ. ශ‍්‍රී ලංකාවේ බ්‍රොයිලර් කුකුළු අභිජනන ගොවිපළවල්වලින් මසකට දැනට නිපදවන බ්‍රොයිලර් කුකුළු පැටවු සංඛ්‍යාව ආසන්න වශයෙන් ලක්ෂ 125 (12,500,000) කි. මෙකී ලක්ෂ 125ට ප‍්‍රසිද්ධ බොරුකාරයන් කියන ආකාරයට වර්ධක හෝමෝන ලබාදීම ප‍්‍රායෝගිිකව සිදුකළ හැකි ආකාරය එකී බොරුකාරයන්ගෙන්ම පාරිභෝගික ජනතාව අසා දැනගත යුතුය.
මනුෂ්‍යයන් වන අපටද ආහාරයෙන් ලැබෙන ශක්තිය වැයවන කි‍්‍රයා අඩුවූවහොත් එනම්, ව්‍යායාම කිරීමෙන් වැළකී සිටියහොත් අපද ස්ථුලතාවයට පත්වන බව නොරහසකි.
පසුගිය දිනක ”ලක්බිම ඉරිදා සංග‍්‍රහය” පුවත්පතට ඉහත මාතෘකාව සම්බන්ධව අදහස් පළ කළ ලියුම්කරු කියා තිබුණේ කුකුළු මස් අනුභවය තුළින් අනිවාර්යෙන්ම හෘද රෝග, දියවැඩියාව වැළඳෙන බවය. ඒ සඳහා ඔහු උපයෝගී කරගත්තේ ඔමේගා-06 මේද අම්ල කුකුළු මස්වල වැඩි බවය. අපි ඔබව දැනුවත් කරන සත්‍ය නම් හෘද රෝග සම්බන්ධව වඩා වැදගත් වන්නේ යම් ආහාරයක ඇති ඔමේගා-06 සහ ඔමේගා-03 මේද අම්ල අනුපාතය (RATIO) බවය. ඒ අනුව කුකුළු මස්වල ඔමේගා-06 සහ ඔමේගා-03 මේද අම්ල හිතකර අනුපාතයකින් පවතින බවත් එයට කුකුළු මස්වල ඇති සෙලනියම් (se) තවදුරටත් සහයෝගය දක්වන බවය. පිළිකා, හෘද රෝග, රුමැටික් සන්ධි රෝග හා HIVඅසාදිත රෝගීන්ට පෝෂණවේදීන්ගේ උපදෙස් අනුව ප‍්‍රමාණය තීරණය කර දෛනික ආහාරයට එක් කර ගැනීම සුදුසු බවය.^The open agriculture journal, 2011,Volume 5 / chicken meat rich in selenium and omega -3 fatty acids) යන පරීක්ෂණ පති‍්‍රකාව බලන්න. තවද මනුෂ්‍යාට කුකුළු මස් කෑමෙන් පමණක් හෘද රෝග, දියවැඩියාව සෑදුන බව සනාථ කළ හැකි විද්‍යාත්මක තොරතුරු සහිත සාක්ෂියක් ඉදිරිපත් කර අපගේ දැනුම වර්ධනය එකී ලියුම්කරුගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ශ‍්‍ර‍්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව ලියාපදිංචි සත්ව අභිජනන ගොවිපොළ සංඛ්‍යාව 34කි. මෙකී අභිජනන ගොවිපළවල්වලින් මසකට නිපදවන බ්‍රොයිලර් කුකුළු පැටව් සංඛ්‍යාව ලක්ෂ 125 (12,500,000)කි. මේ සෑම බ්‍රොයිලර් කුකුළු පැටියකුටම අක්මාවක් ඇත. ඒ අනුව දින 35-40ක් අතර ප‍්‍රමිතිගත සත්ව ආහාර පරිභෝජනය කරමින්, සුවපහසු පරිසරයක වැඩුන බ්‍රොයිලර් කුකුළන් අවම වශයෙන් ලක්ෂ 100 ක් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ කුකුළු මස් අවශ්‍යතාවය සඳහා මස් පිණිස සකස් කිරීමට යොදාගනී. ඒ අනුව එක් සතෙකුට එක් අක්මාවක් තිබෙන නිසා අවම වශයෙන් අක්මාවන් ලක්ෂ 100ක් වෙළෙඳපොළට නිකුත් වේයැයි සිතමු. ගැටලූකාරී තත්ත්වයකට පත්වූ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ 2017 පරීක්ෂණයේදී එකී විද්වත් ආචාර්ය දෙපළ විසින් යොදාගෙන තිබෙන නියැදි ප‍්‍රමාණය තීරණය කිරීම ඉහත සඳහන් වෙළඳපොළේ පවතින කුකුලන්ගේ අක්මා ලක්ෂ 100ක් පිළිබඳව සැලකිල්ලට ගනිමින් කළ විධිමත් නියෝජිත සාම්පල් ප‍්‍රමාණයක් (Representative Sampling) වූවාද යන්න පාරිභෝගික ජනතාව තේරුම් ගත යුතුය.
2010 වර්ෂයේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්යවරුන් විසින් සිදුකළ පරීක්ෂණය සදහාද කුකුල් මස් සාම්පල 15ක් පරීක්ෂා කර තීරණවලට එළඹ තිබුණු බව ඔවුන්ගේ පර්යේෂණ පති‍්‍රකාවේ සඳහන් වේ. ඒ පිළිබඳව කිවයුත්තේද පාරිභෝගික ජනතාවට වඩාත් නිවැරදි තීරණයකට එළඹීමකට නම් පිළිගත් ක‍්‍රමවේදයකට අනුව දැනට මසකට වෙළෙඳපොළට නිකුත්වන සකස් කළ කුකුල් මස් කිලෝ ලක්ෂ 150ට (15,000,000) ආසන්න කුකුළු මස් ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන විද්‍යාත්මක වූ නියෝජිත සාම්පල් ප‍්‍රමාණයක් මගින් එකී විද්වතුන්ගේ ඉලක්කගත අරමුණ පරීක්ෂා කර විද්වත් සභාවක් හා ලෝකයේ පිළිගත් විද්වත් සඟරාවලට ඉදිරිපත් කරගන්නා ලෙසය.
බ්‍රොයිලර් කුකුළු පාලනය පිළිබද විධිමත් දැනුමක් නොමැති සහ ශ‍්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව ආහාර සම්බන්ධ රෙජිස්ට‍්‍රාර් තැනගේ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නොමැති ලේඛකයකු සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ කුකුළු මස්වල ආසනික් ඇති බවට තොරතුරු ඉදිරිපත් කළ පර්යේෂණ මණ්ඩලය විසින්ද පසුගිය දිනවල පුවත්පත්වලට සඳහන් කර තිබුණේ ROXARSONE නමැති ආසනික් සහිත සත්ව ආහාර පරිපූරකයක් ශ‍්‍රී ලංකාවේ කුකුළන්ගේ ආහාරයට එක් කරගන්නා බවයි. මේ සම්බන්ධව එම පාර්ශ්වවල නොදන්නාකම පිළිබඳව අනුකම්පා කරමින් සහ වගකීමෙන් ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රී ලංකාවේ සත්ව ආහාර පිළිබඳ රෙජිස්ට‍්‍රාර් තනතුරේ අතීතයේ සිටි සහ දැනට සිටින කිසිම පශු වෛද්‍යවරයකු ඉහත සඳහන් ROXARSONE ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට කිසිදු අවසරයක් නොදී ලබාදී නැති බවත් එමෙන්ම එකී රෙජිස්ට‍්‍රාර් තැනගේ අවසරයකින් තොරව කිසිදු ආහාර පරිපූරකයක් ශ‍්‍රී ලංකාවේ රේගුව හරහා මෙරටට ආනයනය කළ නොහැකි බවත්ය.

No comments