Breaking News

මේ ලෝකේ ඉන්න මිනිස්සු විවිධාකරයි - හැබැයි ඒ කවුරුත් මිනිස්සු...


" කනවද ? " 
බබල්ගම් පැකට් එක එහා පැත්තේ ඉදපු අංකල්ට දික් කරන ගමන් මන් ඇහුවා.
" තැන්ක් යූ පුතා "
ඔහු සිනා මුසු මුණකින් ඒක පිලිගත්තා.
ලයනල් වෙන්ට් එකේ බැල්කනියේ පස්සෙම පේළියකට වගේ වෙන්න මන් වාඩි වෙනකොටත් මේ මනුස්සයා එතන හිටියා.
කම්මැලිකමටත් වඩා කාත් එක්ක හරි වචනයක් කථා කරන එක ආසවක් වෙලා තියෙන නිසා මන් මේ ට්‍රයි කරන්නේ අංකල්ව කථාවට අල්ල ගන්න.
මොකද ඩ්‍රාම එක පටන් ගන්න තව ටික වෙලාවක් තියෙනවා.
" අංකල් සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යය බලනවද ? "
" එහෙමමත් නෑ පුතා. වෙලාවක් තිබුනොත් බලනවා.. පුතා මේ ලගද ? "
" නෑ අංකල් මන් පිළියන්දල .. "
" මොකද තනියම ? “
ඔහු ඇහුවේ හිනා වෙමින්.
" මොන තනියක්ද අංකල් මේ ඉන්නේ ඕන තරන් මිනිස්සු.. "
මන් හිනා වෙමින් කිවුවා..
" ඒ උනාට ඉතින් කොච්චර මිනිස්සු හිටියත් උබටම කියලා නෑ නේ..බලපන් ඔය හැම කෙනාටම වෙන වෙන ගමනක් තියෙනවා. එයාලා ඒක පස්සේ හැල්මේ දුවනවා. තව එකෙක් ගැන හිතන්නේ නෑ පුතා "
" ඉතින් ඇයි අංකල් තනියම ? "
" මේ ලෝකේ මට ඉන්නේ මන් විතරයි පුතා. මට දැන් 65ක්. තව දහයක් ඉදියි "
ඔහු හදිසියේ යමක් මතක් උනා වගේ සාක්කුවට අත දාලා පෝන් එක අරන් ඕෆ් කර ගත්තා.
මේ මනුස්සයා හරිම සරලයි. ඒ වගේම හරිම සැහැල්ලුවෙන් ඔහු හිටියේ.
මන් හිතුවේ ඔහු විශ්‍රාමික රාජ්‍යය සේවකයෙක් කියලා.
"අංකල් මොනාද කරන්නේ ? "
" මන් පොඩි බිස්නස් වගයක් කරනවා පුතා "
තර්ඩ් බෙල් එකත් වැදුනට පස්සේ මන් ඔහුත් එක්ක කථාව නැවැත්තුවා.
පැය එක හමාරේ නාට්‍යය දර්ශණයෙන් පස්සේ මන් ඔහුත් එක්ක කථා කර කරමයි පල්ලෙහාට බැස්සේ.
“ යමුද අංකල් මොනා හරි බොන්න ? "
මන් යෝජනා කලා.
" මන් කොහොමත් රේස් ක්‍රොස් එක පැත්තේ වෝක් එකක් දාලා තමයි යන්නේ. යමු ඒ පැත්තට."
මීටර් කිහිපයක් ඇවිදගෙන එනකොට පාර අයිනේ තිබුන අළුත්ම බෙන්ස් රථයක් අන්ලොක් උනා.
" ඒක මගේ වාහනේ පුතා " මන් පුදුමෙන් ඔහු දිහා බලනකොට ඔහු කිවුවා.
විස්තර කථා කරන කොට මට හිතුනේ ඔහු ටිකක් වෙනස් කෙනෙක් වගේ.
ජීවීතේ ගැන ගොඩක් අත්දැකීම් ඔහුට තිබුනා.
" ඔය බෙන්ස් නිකම්ම ලැබුනේ නෑ පුතා. ටිකට් වලින් ඇදිච්ච ඒවත් නෙමෙයි. හොරකන් කරලා ගත්ත ඒවත් නෙමෙයි. මන් ගොඩාක් දුක් විදපු කෙනෙක් පුතා."'
" ඇයි අංකල් බැන්දේ නැත්තේ ? "
කෙනෙක්ගේ පුද්ගලික දේවල් අවුස්සන්න එක හොද නැති උනත් අහන්න හිතිච්ච නිසා අහලා දැම්මා.
ඔහු හිනා උනා. ඒ වගේම එක පාරටම ඔහුගේ මූණ වෙනස් උනා..
" එයා නැති උනා පුතා."
" සිරාවටම සොරි අංකල්. මන් හිතුවේ නෑ එහෙම දෙයක්. "
" පිස්සුද පුතා ඕවා මොනාද ? ... උඹ දන්නවද එයා මට හම්බ උනේ ඇමරිකාවෙදි. "
ඔහු ලොකු කථාවක් කියන්නයි මුළ පුරන්නේ...
" මන් ඉගෙන ගත්තේ නෑ හොදට. අපේ අම්මලට මාව වදයක් උනා. මගේ හීනයක් තිබ්බා පිටරටකට යන්න. මන් දිවුවෙම ඒක පස්සේ... ගෙදරත් එක්ක වලි දාගෙන ලක්ෂ ගානක් වියදන් කරගෙන මන් ගියා කොහොම හරි ඇමරිකාවටම.. "
" තමන්ගෙම කියලා කාත් කවුරුවත් නැති රටක කන්න බොන්න නැතුව මන් කුණු බක්කි වලින් කෑම අහුලන් කෑවා.මට තනිකම කියන දේ නුහුරු දෙයක් නෙමෙයි පුතා. දුක් වින්දා. කරන්න පුළුවන් හැම දේම කරා. කරන්න තිබ්බ දහ ජරා වැඩ සේරමත් කරා.... "
අවුරුදු එක හමාරකට විතර පස්සේ මට එයාව මුණ ගැහුනේ නයිට් පාර්ටියකදි.. තනියම ඉදපු මට එයා ගොඩක් ළං උනා. ඇත්තටම අපි ගොඩක් ආදරේ කරා. එයා ටිකක් යමක් කමක් තිබුන කෙනෙක්. හැබැයි මට වඩා අවුරුදු දොළහක් වැඩිමල්. මන් දුක් විදපු කාලේ ටිකෙන් ටික අඩු උනා. මන් ජීවිතේ විදින්න ගත්තා. අවුරුදු දෙකකට විතර පස්සේ මන් එයත් එක්ක ලංකාවට ආවා. හැබැයි අපේ ගෙදරින් මාව පිළිගත්තේ නෑ. අපේ තාත්තා මට බැන්නේ කුණුහරුපෙන්. එයාගෙයි මගෙයි සම්භන්දේ මේ අපේ රටේ විදියට ගැලපෙන්නේ නෑ. ඒක මන් දන්නවා. ඒත් එතකොටත් එයා මගේ ලෝකෙම වෙලා ඉවරයි...”
" ගෙදර මිනිස්සුන්ට තේරුන් කරලා දුන්නේ නැත්ද ඉතින් ? "
" මන් මොන දේ කිවුවත් එයාලා ඒවා පිළිගන්න තැනක හිටියේ නෑ පුතා. අම්මා මට වැදලා කිවුවා උඹ එහේම ඉදපන්. මෙහාට එන්න එපා කියලා."
ඔහු ගේ මුහුණේ තිබුනේ අමුතුම හැගීමක්. හැබැයි ඔහුගේ වචන හරිම කෙලින්.
" ඉතින් මන් සේරම අත ඇරියා. මන් ආපහු එයත් එක්ක ගියේ කවදාවත් ලංකාවට එන්නේ නෑ කියලා හිතා ගෙන. අපි ජීවත් උනා . ගොඩක්ම සතුටින්. අපිට කසාද බදින්න ලොකු හදිසියක් තිබ්බේ නෑ. මොකද එහෙම එකට ඉන්න එක එහේ සාමාන්‍යය දෙයක්. ආදරේ කියන්නේ ඇත්තටම මහා පුදුම දෙයක් පුතා.
අවුරුදු ගානක් මෙහෙම ගෙවුනා. එක දවසක එක සිදුවීමකින් මේ සේරම කණපිට පෙරලුනා. එයා ඇක්සිඩන්ට් එකකින් නැති උනා පුතා."
ඔහු හිනා වෙන්න උත්සාහ කරනවා.
" ඇති අංකල් අපි මොනා හරි බොමු "
" මට අවුලක් නෑ පුතා. උඹ කවුද කියලා නමවත් නොදැන මන් මේ උබට මේක කිවුවේ උඹ හොද එකෙක් කියලා මට තේරුන නිසා ...
ඇඩුවා, බිවුවා, කුඩු ගැහුවා, දවසට එකා ගානේ ගෑණු ගෙන්නගෙන හිටියා මොනදේ කරත් මට ඒ අඩුව පුරවන්න බැරි උනා... "
" ඒ අමුතුම රටේ ආපහු මන් තනි උනා. උබ හිතපන් මන් කාට කියන්නද ? හරිහමන් යාලුවෙක් නෑ, මගේම කියලා නෑදෑයෙක් නෑ.... පිස්සු හැදුනේ නැති එක විතරයි. "
" ආදරේ කරද්දි එහෙම තමයි අංකල් නැති උනාම ලොකු දුකක් "
" උබ මොනාද බන් ආදරේ ගැන දන්නේ ? උබ මොනාද බන් ජීවිතේ ගැන දන්නේ ? මට වෙච්ච දේවල් වලින් දශමයක් උබට වෙලා නෑ "
අංකල්ගේ ටෝකෙන් මන් කොර උනා.
" ඒ රටේ ගෙවන හැම තප්පරයදිම මට එයාව මතක් වෙනවා. මට බැරි උනා එයාව අමතක කරන්න. මන් තීරණයක් ගත්තා. ආපහු ලංකාවට ආවා. හැබැයි ඒ ආවේ හිස් අතින් නෙමෙයි. යමක් කමක් ඇතුවයි ආවේ. හැබයි මන් ගෙදර ගියේ නෑ. මන් ආපහු සීරෝ ඉදන් පටන් ගත්තා. එයාව අමතක කරන්න මන් කරේ වැඩ කරන එක. වැඩ කරා වැඩ කරා වැඩ කරා... මන් අත ගහන හැම දෙයක්ම හරි ගියා. ඇත්තටම මට දැන් සල්ලි තියෙනවා ඇති වෙනකන්. පස්සේ ගෙදරය අය මාව හොයාගෙන ආවත් මන් ගියේ නෑ. හැබැයි මන් මගේ යුතුකම් සේරම එයාලට කරා. තාමත් කරනවා. "
" උබ කිවුවා හරි . අපි තනි වෙලා නෑ. අපි වටේටම මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඉන්නේ දාහක් ප්‍රෂ්ණ වල. සමහර වෙලාවට අපිට පුළුවන් ඒ මිනිස්සුන්ගේ මූණට හිනාවක් දෙන්න. සමහර වෙලාවට වචනෙකුත් ඇති පුතා. මන් මිනිසුන්ට ආදරේ කරන්න පටන් ගත්තා. මට පුළුවන් තරමින් මිනිහෙක් ගොඩ දාන්න මන් හිතා ගත්තා. ඇත්තටම පුතා මන් දැන් ණය නැති මිනිහෙක්. "
ඔහු ගේ කථාව ටිකක් මඤ්ඤන් වගේ මට.
" ඉතින් අංකල් මට පෙන්නුවේ නෑනේ එයාව ? "
ඔහු හිනා උනා. 
ඔහු පර්ස් එකෙන් එලියට ගත්ත පොටෝ එකක් මට දික් කරා.
ඒ දික් කරද්දි ඔහු කෙළින්ම මගේ මූණ දිහා බලා ගෙන උන්නු වග මට තේරුනා.
" මොකක් ? " මට කියවුනේ ඉඹේටමයි
" මන් හිතුවා උබ ඔහොම කියයි කියලා. " ඔහු හිනා වෙනවා.
ඒ පින්තූරේ හිටියේ සුදු ජාතික මැදිවයස් පිරිමියෙක්.
" පුදුම වෙන්න දෙයක් නෑ බන්. මන් ඒ ආදරේ කරේ පිරිමියෙක්ට. ඒකයි අපේ ගෙවල් වලින් උනත් එච්චරටම අකමැති උනේ ... "
තාමත් හිතා ගන්න බෑ. ඇත්තටම ඔහු හරිද? වැරදිද ? ඒක ගැළපෙන දෙයක් ද ? නොගැලපෙන දෙයක්ද ?
" අංකල් කවුද ඇත්තටම ? "
" මන් කවුද කියලා උඹට වැඩක් නෑ පුතා. එකක් කියන්නන් උඹට. මාත් එක්ක කතා කරනකොට උබ හිතුවේ නෑ නේද මන් පදින්නේ බෙන්ස් එකක් කියලා.. ? මගේ කථාව අහනකොට උබ හීනෙකින්වත් හිතුවේ නෑ නේද මන් ආදරේ කරේ පිරිමියෙක්ට කියලා ... ?
පිටින් බලලා මිනිස්සු ගැන තීරණය කරන්න එපා පුතා. "
" පුළුවන් නන් තමන් වටේ ඉන්න එක මිනිහෙක් හරි ගොඩ දාපන්. ඒක තමයි නියම මනුස්සකම.
" උබ මාව නමින් අදුර ගන්න ඕන නෑ. හැබැයි මතක තියා ගනින් මේ ලෝකේ ඉන්න මිනිස්සු විවිධාකාරයි. හැබැයි ඒ කවුරුත් මිනිස්සු "
ඔහු කිවුව අන්තිම වචන ටික හිතට වැදුනා. " මේ ලෝකේ ඉන්න මිනිස්සු විවිධාකරයි. හැබැයි ඒ කවුරුත් මිනිස්සු "
 

No comments