Breaking News

අක්ෂේට අභියෝගයක්...



ඉන්දියාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් - සිනමා තරු පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත ද මෙම අභියෝගය එල්ල වෙලා.
දකුණු ආසියාවේ ප්‍රබලතම රටක් ලෙසින් සැලකෙන ඉන්දියාවේ අධික ජනගහනය, නාගරීකරණය සමඟින් විවිධාකාර ලෙසින් පැන නැගී ඇති සෞඛ්‍ය ගැටලු අතරේ කාන්තා සනීපාරක්ෂාවද එක් ගැටලුවක් වී තිබේ. තමිල්නාඩුවේ කොයිම්බතූර් හි වෙසෙන සමාජ ක්‍රියාකාරිකයකු වන අරුණාචලම් මුරුගනාදම් කුඩා යන්ත්‍රයක් නිපදවා එමඟින් අඩු වියදමින් සනීපාරක්ෂක තුවා නිපදවන්නෙකි. ඔහුට මේ පිළිබඳ අදහස එන්නේ තම බිරිය ශාන්ති නිසා ය.
සනීපාරක්ෂක තුවා වෙනුවට පැරණි රෙදි කැබලි පාවිච්චිය පිළිබඳ විමසන අරුණාචලම්හට බිරිය පවසන්නේ, තමන් සනීපාරක්ෂක තුවා භාවිත කරන්නේ නම්, ඒ සඳහා කිරි මිලදී ගැනීමට වියදම් කරන මුදලෙන් අඩක් වෙන් කළ යුතු බවයි. දිනක් සිය බිරිය වෙනුවෙන් සනීපාරක්ෂක තුවායක් මිලදී ගැනීමට වෙළෙඳ සැලකට ගොඩවන ඔහුහට එහි හිමිකරු එය ලබා දෙන්නේ නීති විරෝධි යමක් අයුරිනි. මෙම සිදුවීම සේම එහි මිල ද අරුණාචලම්ගේ නොසතුටට හේතුවන අතර කාන්තාවන්ගේ මෙම සනීපාරක්ෂක ගැටලුවට විසඳුමක් සෙවීමට ඔහු එදින අදිටන් කරගනී. අඩු වියදමෙන් වෙළෙඳ පොළේ පවතින මිලට වඩා තෙගුණයක් මිලෙන් අඩු සෞඛ්‍ය ආරක්ෂිත සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයට ඔහු පෙලඹෙන්නේ මෙලෙසින්.
ඇත්තෙන්ම මෙය නවකතාවක් හෝ සිනමා නිර්මාණක් නොව ඉන්දියාවේ සිදු වූ සත්‍ය සිදුවීමකි. පනස්හය හැවිරිදි අරුණාචලම් මුරුගනාදම් 2014 වසරේදී ටයිම් සමඟරාව විසින් නම් කළ ලොව බලගතු පුද්ගලයන් සිය දෙනා අතරට ද ඇතුළත් වුණා. 2016 වසරේදී ඉන්දීය රජය විසින් ඔහු පද්ම ශ්‍රී සම්මානයෙන් පුදනු ලැබුවා. මෙම අපූරු කතාව ඇසුරෙන් නවකතාවක් සේම සිනමා නිර්මාණයක් ද මේ වන විට නිර්මාණය වී අවසන්. 2016 වසරේදී කොයිම්බතූර්හි අරුණාචලම් මුරුගනාදම්ගේ කතාව The Legend of Lakshmi Prasad ලෙසින් රචනා කළේ බොලිවුඩයේ ජනප්‍රිය නිළියකව සිට කතුවරියක බවට පත්ව සිටින ට්වින්කල් ඛන්නා විසිනි. වසරක් ඇතුලත The Legend of Lakshmi Prasad කෘතියේ පිටපත් ලක්ෂයක් විකිණී තිබුණා. මෙම කෘතියේ "Salam, Noni Appa", "If the Weather Permits", and "The Sanitary Man of Sacred Land" ලෙසින් කොටස් හතරක් ඇතුලත් වේ. මේ අතරින් The Sanitary Man of Sacred Land කොටස Pad Man ('පෑඩ් මෑන්') නමින් සිනමා නිර්මාණයක් බවට පත් වුණා. එය නිෂ්පාදනයට ද ට්වින්කල්ගේ දායකත්වය ලැබී තිබේ.
Pad Man රචනා කොට අධ්‍යක්ෂණය කළේ ආර්. බල්කි විසින්.
මෙහි එන පෑඩ් මෑන් හෙවත් ලක්ෂ්මිකාන්ත් චෞහාන්ගේ චරිතයට පණ පොවන්නේ ට්වින්කල්ගේ අදරණීය සැමියා වන ජනප්‍රිය නළු අක්ෂේ කුමාර් ය. පසුගිය වසරේදී ද ඔහු Toilet: Ek Prem Katha ගෙන ආවේ ඉන්දියාව තුළ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුක් පිළිබඳ අවධානය යොමු කරමින්. සෝනම් කපූර්, රාධිකා ආප්තේ, සුධීර් පාණ්ඩේ ඇතුලු පිරිසක් 'පෑඩ් මෑන්' හි රංගනයෙන් දායක වී සිටිනවා. අමිතාබ් බච්චන් ද විශේෂ දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටින බවයි ආරංචි. 'පෑඩ් මෑන්' රූ ගැන්වී තිබෙන්නේ, නවදිල්ලිය ඇතුලුව නිව්යෝර්ක්හි බෘක්ලින් පාලම, ටයිම්ස් චතුරස්‍රය, ලින්කන් මධ්‍යස්ථානය, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය යන ස්ථානවල දී යී. අර්ජිත් සිං, මිකා සිං, අමිත් ත්‍රිවේදී, මොහිත් චෞහාන්, ජොනිතා ගාන්ධි ඇතුලු පිරිසක් ගායනයෙන් එක් වී ඇති මෙහි සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, අමිත් ත්‍රිවේදි විසිනි. සිනමා ලෝලීන්ගේ සේම ජනප්‍රිය බොලිවුඩ් තරුවලද ප්‍රතිචාර මධ්‍යයේ Pad Man පසුගිය 09 වැනිදා සිට ලොවපුරා තිරගත කෙරෙනවා. එදිනම එය රුසියාවේද තිරගත කිරීම ආරම්භ කළේ, ඉන්දියාවේ තිරගත කිරීම අරඹන දිනම තිරගත කිරීම අරඹන පළමු හින්දි චිත්‍රපටය වෙමින්.
හොලිවුඩයට සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, අයන් මෑන්, බැට් මෑන් වැනි සුපිරි වීරයන් සේම මෙම චිත්‍රපටය සමගින් බොලිවුඩයටත් අලුත් වීරයකු ලෙසින් 'පෑඩ් මෑන්' පැමිණ සිටීම විශේෂත්වයක්. පෑඩ් මෑන් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණය සමඟින් එය අන්තර්ජාලය ඔස්සේ ඉහළ කතාබහකට ලක් වුණේ 'පෑඩ් මෑන් අභියෝගය' ද සමඟින්. සනීපාරක්ෂක තුවායක් අතින් රැගෙන පළමුවෙන් මෙම අභියෝගයට ඉදිරිපත් වුණේ මෙම සත්‍ය කතාවේ හිමිකරු වන අරුණාචලම් මුරුගනාදම්. ඔහු එම ඡායාරූපය තම ට්විටර් ගිණුමේ පළ කරමින් අක්ෂේ කුමාර්, ටිව්නකල් ඛන්නා, සෝනම් කපූර් සහ රාධිකා ආප්තේ වෙත අභියෝග කර සිටියා. ඔවුන්ද එය භාර ගනිමින් සනීපාරක්ෂක තුවා අතැති ඡායාරූප පළ කර 'පෑඩ් මෑන් අභියෝගය' ඉදිරියට ගෙන ගියේ තවත් පිරිසකට අභියෝග කරමින්.
දැන් මෙම 'පෑඩ් මෑන් අභියෝගය' බොලිවුඩයේ ඉතා උණුසුම්ව පැතිර යන රැල්ලක් බවට පත් වී ඇති බව කීවොත් නිවැරදියි. මෙම අභියෝගය නිසා බොලිවුඩයේ ජනප්‍රිය තරු සනීපාරක්ෂක තුවා අතැතිව ගත් ඡායාරූප සමාජජාලාවල පළ කරන්න පටන් අරන්. අමීර් ඛාන්, අනිල් කපූර්, මධුරි ඩික්සිත්, දීපිකා පදුකෝන්, ආලියා භාත්, රාජ් කුමාර් රාඕ, අනුෂ්කා ෂර්මා, වරුන් ධවාන්, අර්ජුන් කපූර්, කරන් ජොහාර්, ශභානා අස්මි, ඩියා මිර්සා, කත්‍රිනා කයිෆ්, කරිෂ්මා කපූර්, ජැකී ශ්රොෆ්, රිතේෂ් දේශ්මුක් ඇතුළු පිරිසක් මේ වන විට 'පෑඩ් මෑන් අභියෝගය' භාර ගත් අය අතර සිටිනවා.
අමීර් ඛාන් සිය ඡායාරූපය පළ කරමින් අභියෝග කළේ අමිතාබ් බච්චන්, ශාරුක් ඛාන් සහ සල්මන් ඛාන් වෙතයි. සිනමා තරු පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත ද මෙම අභියෝගය එල්ල වෙලා. ඒ අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ත්‍රි ද සනීපාරක්ෂක තුවායක් රැගත් ඡායාරූපයක් තම ට්විටර් ගිණුමේ පළ කරමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි වෙත අභියෝග කර සිටියා. තම ජීවිතයේ සිදුවන සාමාන්‍ය සිදුවීමක් වන ඔසප් වීම කෙරෙහි ඉන්දීය කාන්තාවන් තුළ ඇති බිය තුරන් කිරීමට මෙන්ම කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම වෙනුවෙන් මෙය කදිම අවස්ථාවක් බව අක්ෂේ කුමාර්ගේ අදහසයි. විචාරකයන් පවසා සිටින්නේ අක්ෂේ කුමාර් ඉන්දියාවට අවශ්‍ය කර තිබූ චිත්‍රපටයක් ලබා දී ඇති බවයි.

No comments