Breaking News

කවුද මේ ටිරාන්?

කූඹියෝ ටෙලි මාලාවේ චරිතවලට ලැබෙන ප්‍රතිචාර මොන වගේද කියා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ජෙහාන්, ප්‍රියන්ත, ඔස්ටින් අයියා, පද්මකුමාර කස්තුරි, හිරුනි, ටිරාන් යන මේ සෑම චරිතයක්ම අද දවසේ ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයින් අතර වඩා ප්‍රතිචාර ලබන චරිත ලෙස හැඳින්වීමට පුළුවනි. මේ චරිත සියල්ලටම එක වගේ ප්‍රතිචාර ලැබුණත්, ඒ අතරින් ටිරාන්ගේ චරිතය රඟපාන ශිල්පියා මාධ්‍ය හමුවේ එතරම් පෙනී සිටියේ නැහැ. ඔහු නමින් ඇන්ඩෲ පුල්ලේ ය. කූඹියෝ කතාවේ පාතාල නායකයකු වූ ඔස්ටින්ගේ සුවච කීකරු, විටෙක නාහෙට නාහන ගෝලයා මේ ටිරාන්ය. එක බැල්මකින් ටිරාන් බොහෝ දේ ප්‍රකාශ කරන්නේය. පළපුරුදු දක්ෂ රංගන ශිල්පියකු මෙන් මෙලෙසින් ප්‍රථම ටෙලි නාට්‍ය රංගනයේදීම රංගනයේ යෙදෙන මේ ටිරාන් හෙවත්, ‘ඇන්ඩෲ පුල්ලේ’ කවුද?



ඇන්ඩෲ කියන්න ද? පුල්ලේ කියන්න ද?
ඉස්කෝලේ යාළුවෝ වගේම ඉන්පසුව ක්ෂේත්‍රයේදීත් වැඩි දෙනා මාව අමතන්නේ පුල්ලේ කියලා.
ගම?
කොළඹ.
ඉගෙන ගත්තේ?
කොළඹ රාජකීය විද්‍යාලයෙන්.
පවුල් පසුබිම ගැන සඳහනක් කළොත්?
තාත්තාත් කලා ක්ෂේත්‍රයේ සිටින කෙනෙක්.
ඔබ ගැන වැඩි දෙනෙක් මුලින්ම දැන ගත්තේ?
මම හිතන්නේ භාතිය සන්තුෂ්ගෙ ‘රැස්විහිදෙන සමනළියක’ මියුසික් වීඩියෝ එක සමඟයි.
ඉන්පසුව ඇයි දිගටම රඟනොපෑවේ?
බොහෝ වෙලාවට රූපවාහිනී වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියා.
අද වනවිට ඔබගෙ ප්‍රධාන රාජකාරිය වන්නේ?
වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂණයෙන් සහ ඒ අංශයෙන් නිර්මාණ ක්‍රියාවලියට සම්බන්ධව තමයි සියයට සීයක්ම වගේ දායක වෙන්නේ. මේ වනවිට සෑහෙන නිර්මාණ ප්‍රමාණයකට දායකත්වය ලබාදී තිබෙනවා.
එතකොට ඇන්ඩෲ පුල්ලේ ‘ටිරාන්’ වුණේ කොහොමද?
ටී.වී. කොමර්ෂල් සහ ඒ අංශයේ නිර්මාණ අධ්‍යක්ෂණය කළ නිසා රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු සමඟ වැඩ කරලා තිබුණා. ඒ අතරින් ජගත් මනුවර්ණ දැනගෙන සිටියා. ඔහු එක්ක චිත්‍රපටයක් කරන්න හිටියෙ. ඒකේ ට්‍රේලර්ස් (පෙර ප්‍රචාරක) දැකලා තමයි කූඹියෝ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න මට කතා කළේ.
කූඹියෝහි ඔබගෙ චරිතය ගැන කිව්වාම?
මීට පෙර ටෙලි නාට්‍යයක රඟපාලා තිබුණේම නැහැ. පූර්ණ කාලීනව මගෙන් සිද්ධ වුණේ කොමර්ෂල් ඩිරෙක්ටින්. කොහොම වුණත් මගේ රිද්මය දැකලා එයාලා මේ චරිතයට මාව තෝරා ගත්තා. ලක්මාල් ධර්මරත්නගෙ අධ්‍යක්ෂණයේ ඇති රිද්මය අපි දැනගෙන හිටියෙ. අවසානයේ නිර්මාණයෙන් පිටවන ධාරිතාවය මොන වගේ ද කියලත් අපිට දැනුණා. අපි මෙතෙක් ලංකාවේ නැරඹූ සියලූ දේ එක්ක මෙහි සැබෑ වෙනසක් දුටුවා. අපි සියලූ දෙනාගෙන්ම ඒ ඒ චරිතවලට අදාළව හොඳ දායකත්වය ලැබෙන්න ඇත්තේ ඒ සියලූ දේ නිසයි. කොහොමටත් මේ නාට්‍යයේ ශෛලියට මම ආසයි. ඒ තියෙන ඇක්ෂන් ඩ‍්‍රාමා ගතිය නිසා තමයි කැමති වුණේ.
ටිරාන් පාරේ යද්දී මිනිස්සු බයලූ නේද?
මම නෙවෙයිනෙ කූඹියෝ චණ්ඩියා. නැත්නම් ඔස්ටින් අයියා වුණේ. මම එයාගෙ සුවච කීකරු ගෝලයා වුණා. මිනිස්සු මාව දැක්කාම අර ඉන්නේ ටිරාන් කියලා කියනවා මට ඇහෙනවා.

මිනිස්සු ඔබට මොනවද කියන්නේ දැන්?
මගේ පෙනුම සහ ඒ චරිතයට අදාළව හැඟීම් ප්‍රකාශ කිරීම නියමයි කියලා මට හමුවන බොහෝ දෙනා කියනවා. ඒ විදියට ප්‍රතිචාර ලැබේවි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ. ලක්මාල්ට තමයි එහි පූර්ණ ගෞරවය හිමිවන්න ඕනෑ. ඒක මටත් අලූත්ම අත්දැකීමක් ගෙන දුන්නෙ. මාත් අධ්‍යක්ෂණයෙන් කටයුතු කරන කෙනෙක් වුණාට කූඹියෝ මට අලූත් අත්දැකීමක්.
සැබෑවට ඔබ කොහොම කෙනෙක් ද?
මම සරලයි. ඩිජිටල් ඉන්ඩ‍්‍රස්ටි‍්‍ර එකේ සිදුවන අලූත් දේ ගැන නිතර සෙවුම් බැලූම් කරන්න ආසයි. මගේ ජීවිතය ගලා යන්නේ ඒ විදියටයි.
ඇයි පුවත්පත් සාකච්ඡාවලට එන්න අකමැති?
මම සාමාන්‍යයෙන් මගේ වැඬේ කරලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. ඒක මගේ විදිය. නැතුව වෙන හේතුවක් නැහැ. මා ගැන දන්න අය දන්නවා මම කවුද කියලා. බොහොම සරලව ඉන්න මම කැමතියි.
ඔබට ආදරය දැනෙන්නේ කොහොමද?
අපි හැමෝටම ආදරය නැතුව බැහැ නේද? ඒත් මම ඒක සසඳන්න යන්නේ නැහැ.
කූඹියෝ නිසා පුල්ලේට ලැබුණු දේ මොනවද කිව්වොත්?
සමාජයේ බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. කූඹියෝ නාට්‍ය කණ්ඩායම එක පවුලක් වගේ. ඒ අලූත් අත්දැකීමට මම ආසයි.
ටිරාන් හෙවත් ඇන්ඩෲ පුල්ලේ ඔබට ජීවිතය දැනෙන්නේ කොහොමද?
අත්දැකීම් සමඟ ගත යුතු දෙයක්. ඉදිරිය මේ විදියට සිටිය යුතුය යන ප්ලෑන් මට නැහැ. එහෙම හිතනවාට වඩා අත්දැකීම් සමඟ යන ගමනට මම ආසයි.

No comments