Breaking News

මේ දැන්ම ඔබේ ෆේස්බුක් ගිණුමෙන් මකා දැමිය යුතු දේවල් 10ක්

ෆේස්බුක් තමයි දැනට ලෝකේ තියෙන ජනප්‍රියතම සමාජ ජාලය. මහද්වීප, සාගර, කඳු තැනිතලා, මිටියාවත් වලින් වෙන්වුණු මුළු ලෝකෙම තනි යායක් කරන ෆේස්බුක් අපේ ජිවිත වලට නැතුවම බැරි දෙයක් වෙලා ගොඩක් කල්. මේ ලෝකේ ඉන්න මිනිස්සු ගානටත් වැඩියෙන් දැන් ෆේස්බුක් ගිණුම් තියෙනවා. 2004 වර්ෂයේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලෙ හොස්ටල් කාමරේක පොඩියට ආරම්භ වුණු ෆේස්බුක් මේ වෙනකොට ඩොලර් බිලියන 50ක වත්කමක් වලට උරුමකම් කියන ලොව අංක එකේ සමාගමක්. ෆේස්බුක් හි ජනප්‍රියතාවය දිගින් දිගටම පවත්වාගන්නත්, සාමාජිකයින් තවදුරටත් රඳවා තබා ගන්නත් ෆේස්බුක් කාලෙන් කාලෙට අරුමෝසම් විශේෂාංග හඳුන්වා දෙනවා. හැමදාමත් ලස්සන වෙන ෆේස්බුක් නිසා දවසින් දවස කැත වන ජිවිත ගණනත් ඉහළ යනවා. මේ අවුරුද්දේ විතරක් ෆේස්බුක් නිසා ලංකාවේ වාර්තා වුණු පොලිස් පැමිණිලි ගණනත් දෙදහසකට අධිකයි.
Image result for facebook evil
සීමාව අභිබවා ෆේස්බුක් තුල ඔබේ පෞද්ගලික තොරතුරු පළ කිරීම ඔබටත්, පවුලේ අයටත් හොඳ නැති දෙයක් වෙන්න පුළුවන් වගේම එනිසා සොරකම් සහ වංචා සිදු වීමට ඇති ඉඩකඩත් ඉහලයි. මේ නිසා විශ්ම ලෝකේ අපි හිතුවා දවසින් දවස ඉහල යන මේ දේවල් අඩු කරන්න අපිටම කරන්න පුළුවන් දේවල් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ දක්වල තිබෙන දේවල් ඔබේ ෆේස්බුක් ගිණුමෙන් වහාම මකා දැමුවොත් ගොඩක් ෆේස්බුක් ප්‍රශ්න අතේ දුරින් තියා ගන්න ඔබට පුළුවන් වේවි.
ජංගම දුරකථන අංකය
කෙනෙක් විනෝදයට ෆේස්බුක් භාවිතා කරන කොට තවත් කෙනෙකු ෆේස්බුක් භාවිතා කරන්නේ ව්‍යාපාරික කටයුත්තකට වෙන්න පුළුවන්. හැම දෙයකටම ලියුම් යව යව ඉන්න බැරි නිසා තමන්ගේ දුරකථන අංකය ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ෆෙස්බුක්හි ප්‍රසිද්දියේ යොදා තිබීමේ වැරද්දක් නෑ. එත්, එහෙම විශේෂ අවශ්‍යතාවක් නැතුව, දුරකථන අංකය ප්‍රසිද්දියේ පල කරලා තියෙන එක නරක පුරුද්දක්.. සිය දහස් ගණනක ෆේස්බුක් යාලුවෝ ලිස්ට් එකේ හැම ජාතියකම මිනිස්සු ඉන්න පුළුවන්. ඒ හැම කෙනාටම, ඔබ පෞද්ගලිකව දුරකථන අංකය දීල නැත්නම්, ලෝකේ ඉන්න හැම කෙනාටම පෙනෙන්න ජංගම දුරකථනය දාල තියන්නේ ආයේ මොකට ද? දකින දකින හැම කෙල්ලටම කෝල් කර කර හිංසාකාරී ඇමතුම් ලබා දෙන මිනිසුන් දැන් රටේ වැහි වහලා. වහසි කියල තමන්ගේ ඕන එපා කම් පිරිමහගන්න බලන් ඉන්න සල්ලාලයින්ට නම් මේ නොම්මරේ විවෘතව තියන එක ඉබ්බා ගඟේ දැම්ම වගේ දෙයක්. ඒ නිසා අදම ඔබේ දුරකථන අංකය ෆේස්බුක් තුලින් ඉවත් කරගන්න. නොදන්නා මිනිස්සු කතා කරලා කරදර කරනවා කියල ආයේ පසුතැවිලි වෙන්න එපා.
අනවශ්‍ය යාළුවො
ඔබේ ෆේස්බුක් එකේ යාළුවො කියක් විතර ඉන්නවද? ඔබත් මමත් බොහෝවිට කරන දෙයක් තමයි හම්බෙන, කතා කරන හැම කෙනාවම ෆේස්බුක් තුලට එකතු කරගන්න එක. එහෙම අය කී දෙනෙක් දැනටත් ඔබේ ෆේස්බුක් එකේ ඉන්නවා ද කියල හිතල බලන්න. දවසක් හම්බෙලා වචන දෙකක් තුනක් හුවමාරු කරගත්ත පලියට ෆේස්බුක් තුළට එකතු කරගන්න අවශ්‍ය ද? ආපහු එයාලව අපිට කවදාවත් හම්බ නොවෙන්නත් පුළුවන්.. එත් අපේ සියලුම පෞද්ගලික තොරතුරු එයාලට ෆේස්බුක් හරහා විවෘතයි. .. තව මාස තුන හතරකින් එයාලව ඇත්තටම හමු උනොත් එයාලගේ නමවත් ඔබට මතක තියේවිද, එදාට ඔයාගේ පෞද්ගලික ජිවිතේ ගැන අලුත්ම තොරතුරු ඔවුන්ට කියන්න ඔයා කැමති ද? එහෙනම්, ෆේස්බුක් හරහා එහෙම පෞද්ගලික තොරතුරු ඔවුන්ට පැවසීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? එනිසා මින් පසු කවුරුන් හෝ කෙනෙකු ෆේස්බුක් එකෙන් එකතු කරගන්න කලින් ටිකක් හිතල බලන්න.
ෆේස්බුක් මොබයිල් ඇප් එක
ජංගම දුරකථන වල බැටරියේ හිලක් වත් තියෙනවා ද කියල හිතෙන තරමට සමහර අයගේ දුරකථනවල බැටරි බලන් ඉන්නකොට බහිනවා… එහෙම උනාම යන යන තැනක් ගානේ දුරකථනය එක මදිවට, ඒ වගේ දෙකක් විතර ලොකු පවර් බෑන්ක් එකකුත් උස්සගෙන යන අය දැන් කාලේ බොහොම සුලභයි. දුරකතනය් භාවිතා නොකර නිකන් තිබ්බත් බැටරිය බස්සවන්න, ෆේස්බුක් මොබයිල් ඇප් එකට පුලුවන්. මේ ඇප් එක නිසා ෆේස්බුක් භාවිතය පහසු වුනත්, නිතරම බැටරිය බහින එක කොපමණ ලොකු හිසරදයක් ද කියල තේරුනොත්, ඇප් එක වහාම අයින් කරලා දාන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ නෑ. ඇප් එක නැතුවත් ෆේස්බුක් වෙත පිවිසෙන්න පුළුවන් බව අමතක කරනන් එපා.
වෙළඳ දැන්වීම්වලට පාර කියන පෞද්ගලික තොරතුරු
සමහරු ෆේස්බුක් ගැන හිතාගෙන ඉන්නේ අපි වෙනුවෙන්ම හැදුනු නොමිලේ දෙන දෙයක් විදියට. ෆේස්බුක් වල ප්‍රධානතම් ආදායම් මාර්ගය වෙළඳ දැන්වීම්. අපි ආසම දේවල්වලට අදාළ වන ලස්සන වෙළඳදැන්වීම් පෙන්වන්නට උපන් හපනෙක් වෙච්ච ෆේස්බුක් එහෙම කරන්නේ මොකක් හරි අමුත් මැජික් එකකින් නෙමෙයි. අපිම ෆේස්බුක් තුළට ඇතුළු කරලා තියෙන කැමතිම ගීත, චිත්‍රපට, පොත් වර්ග, වාහන මාදිලි, ජිවත් වන නගරය, කන බොන තැන්, ගියාපු තැන ආදී දේවලින් තමයි ඒ පෙන්විය යුතු වෙළඳ දැන්වීම් වලට අදාළ තොරතුරු ගන්නේ. ඒ දේවල් වලට අදාළ වෙළඳ දැන්වීම ආපහු අපටම පෙන්නුවාම සමහර වෙලාවට අපිට අදහගන්නත් බෑ. එත් ඇත්ත කතාව ඒකයි. මොකටද බලෙන් වෙළඳ දැන්වීම් බලලා ඒවාට අහු වෙන්නේ? අද ම මේ පෞද්ගලික තොරතුරු ෆේස්බුක් තුලින් ඉවත් කරලා දාන්න.
මුහුණු හඳුනා ගැනීම හෙවත් Facial Recognition
ෆේස්බුක් එකේ තිබෙන තවත් සිත්ගන්නාසුළු විශේෂාංගයක් තමයි මේ ෆේෂල් රෙකග්නිෂන් කියන්නේ. අප්ලෝඩ් කරන ෆොටෝස් වල ඉන්න අයව හඳුනාගන්න ෆේස්බුක් උපන් හපනෙක්. මේ නිසාම ෆේස්බුක් හරහා ඡායාරූප බෙදා ගන්න එක බොහොම පහසුයි. දෛනිකව ෆේස්බුක් තුලට ඡායාරූප මිලියන 5ක් විතර අප්ලෝඩ් වෙනවා. ඒ වගේම තත්පරයකට 4000ක් විතර ඡායාරූපවිවිධ අයගේ ටයිම්ලන් වලට ශෙයා වෙනවා. සමහර ෆොටෝස් ජිවිත කාලයටම වටිනා සුන්දර දේවල් වලින් පිරිලා. ඔබේ උපන්දිනය, සහකාරියගේ අත ගත් මංගල දිනය වගේ දේවල් මතකයන් වලින් පිරිලා. ඒ අතරේ වෙන කවුරුත් නොදැකිය යුතු, දැක්කොත් මහා විනාසයක් වන ඡායාරූපත් තිබෙන්න පුළුවන්. ඔයා බොන කෙනෙකු නොවුනත්, පාටියකදී ටිකක් වැඩි වුන යාළුවොත් එක්ක එකට ඉන්න ෆොටෝ එකක ඔයාව ඉබේම ටැග් වෙන්න පුළුවන්. එහෙම ඡායාරූපයක් ක්ෂණිකවම ඔබේ ෆේස්බුක් හිතවතුන් සියල්ලගේම ටයිම් ලයින් වල ශෙයා වෙලා ඔබේ නම කැත වෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නෑ. එහෙම වීමෙන් රස්සා නැති වෙලා, පවුල් ප්‍රශ්න ඇති වෙලා ජිවිත නැති නාස්ති වුනු කතා ගොඩක් සයිබර් ලෝකෙන් අපට ඇහිලා තියෙනවා.. ඒ නිසා, ඔබේ හොඳටම මේ ෆේෂල් රෙකග්නිෂන් විශේෂාංගය ඉවත් කරලා දාන්න
ඡායාරූපය ගත්තු තැන පෙන්වන ලොකේෂන් ටැග්ස්
ෆේස්බුක්හි තිබෙන අනේක වැඩ කාලි අතරින් තවත් නොම්මර එකේ අරුමෝසමක් තමයි ලොකේෂන් ටැග්ස්. ෆොටෝ එක අප්ලෝඩ් කරන කොටම, ඒ වෙලාවේ ඔයා හිටපු ස්ථානය ස්වයංක්‍රීයව පෙන්වීම තමයි මේකෙන් කෙරෙන්නේ.. රටේ නමගිය තැනක ගත්තු ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා මන් හිටියේ මෙතන කියල ඇඟ පතට නොදැනෙන්න අනිත් අයට කියල, එකට වැටෙන ලයික්ස් බලන් ඉන්න එක පුදුම ගැම්මක් තමයි. නමුත් ඒක නිකන් අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා වගේ වැඩක් කියල දන්නව ද? ගෙදර් ඉඳන් ගත්තු ෆොටෝස් වල ලොකේෂන් දාල තියෙනවනම්, ලෝකේ ඕනෑම නන්නාදුනන මිනිහෙක්ට ඔබේ ලිපිනය, එක විනාඩියෙන් හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම්, ඔබ මේ මේ වෙලාවට යන්නේ කොහෙද, වැඩිපුර ගත කරන්නේ මොන මොන තැන් වලට ද කියල දැනගන්නත් පුළුවන්. නොදන්නා මිනිසුන්ට අපි ඇඳල කාල බීල ඉන්න තැන් කියල බලෙන් පස්සෙන් පන්න ගන්න ඕන නෑ නේද? මතක තියා ගන්න, ඔබේ ලිපිනය කියන්නේ ඔබේ පෞද්ගලික තොරතුරක්.
ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු
හදිස්සියකට සල්ලි ඕනෑකමක් උනාම යාලු මිත්‍රයෝ අපෙන් ක්‍රෙඩිට් කාඩ් එකේ තොරතුරු ඉල්ලන අවස්ථා නැතුවා නොවේ. යාළුවා ගොඩක් විශ්වාසවන්ත කෙනෙක් නම් ඒ වෙලාවට කාර්ඩ් එකේ ෆොටෝ එකක් fb එකෙන් යවන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. එත්, ෆෝන් එක හෝ ලැප්ටොප් එක සොරකම් කරපු වෙලාවක, එහෙමත් නැත්නම් ගිණුමෙන් ලොග් අවුට් වෙන්න බැරි වුනු වෙලාවක හෝ ඔබේ ෆේස්බුක් ගිණුම වංචාකාරී පුද්ගලයෙකු අතට පත් වෙනවා කියල හිතන්න. ඒ වෙලාවකදී අර ක්‍රෙඩිට් කාඩ් තොරතුරු පහසුවෙන්ම ඒ අයට දැනගන්න ලැබෙනවා. එවිට ඔබේ කාඩ්පත් අංකය යොදා ගෙන එහි මුදල් සොරාගනිමටත් තවත් බොහෝ නොමනා දේවල් වලට එය යොදා ගන්නත් මහා ලොකු අමාරුවක් නෑ. ඒ නිසා කොයිම වෙලාවකවත්, ෆේස්බුක් හරහා ඔබේ ක්‍රෙඩිට් කාර්ඩ් තොරතුරු නම් හුවමාරු කරගන්න එපා.
ආදර සම්බන්දතා තොරතුරු දක්වන රිලේෂන් ෂිප් ස්ටේටස් එක
ඔබේ ආදර සම්බන්ධතාවය ගැන හැමෝටම පේන්න ෆේස්බුක් එකේ දාල තියෙන්න පුළුවන් කියල හැමෝම දන්නවනේ. දිවට දිව ගාගෙන, එකට කාල බීල කොච්චර ආදරෙන් හිටියත් සමහර සංසාරගත ආදර කතා නැතිවෙන්න යන්නේ බැලුමකට ඉඳිකට්ටකින් ඇනල පිපිරෙනවා වගේ ක්ෂණිකව. එවිට Relationship Status එක In a relationship ඉඳන් නැවතත් single වලට දාන කොට සිතට දැනෙන වේදනාව කොපමණ දරුණු වේද? කි දෙනෙක් ඒක දකීවිද? ඒ විතරක් නෙමෙයි, Engagement Date එක පොස්ට් කරාම මංගල උත්සව වලට අදාළ වෙළඳ දැන්වීම් ද ෆේස්බුක් එකේ ඉබේම දර්ශනය වෙනවා කියල ඔබ දන්නවා ද? . මේ සියල්ල වෙන්නේ රිලේෂන්ශිප් ස්ටේටස් එක නිසා. ඒ නිසා එය හැම විටම ඔබට පමණක් සිමා කර තබාගන්න.
ඔබේ උපන් දිනය
ෆේස්බුක් එකෙන් අද ඔබේ උපන්දිනය කියලා යාලුවන්ට මතක් කරාම එයාල දිගට හරහට වෝල් එකේ ඔබට සුභ පතන කොට ගොඩක් සතුටුයි නේද? එත් ඇත්තම යාලුවන්ට නම් සුභපතන්න, ෆේස්බුක් එකෙන් මතක් කරනතුරු සිටින්න ඕන නැහැ. උපන්දිනේ කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්. බැංකු ගිණුම් සහ වෙනත් පෞද්ගලික ගිණුම් රාශියකට ඇතුළු වීම සඳහා උපන්දිනය යොදාගන්න පුළුවන්. එත් ෆේස්බුක් හරහා ඔබේ උපන්දිනය ලෝකෙටම පේන්න තැබුවාම ඔබේ පෞද්ගලිකත්වයට විශාල පහරක් වදින බව අමතක කරන්න එපා. ඒ නිසා මෙය රහසිගත ලෙස තබා ගන්න එක නුවණට හුරු දෙයක්.
යන තැන කියන ට්‍රැවලින් ටු ටැග් එක
නිවාඩු ලැබෙන විදියට ට්‍රිප් යන්න කවුද අකමැති? ඒ වගේම, ට්‍රැවලින් ටු කියල දාල ඒ යන ගමන්වල තොරතුරු ඒ වෙලේම ෆේස්බුක් පොස්ට් කරන්නත් කවුද අකමැති. එත් නිකමට වත් හිතුන ද මේ දේවල් බලන්නේ යාළුවො විතරයි කියල? මිතුරු වෙසින් ඉන්න හොරුන්ටත් ඔබ මේ දවසේ මේ වෙලාවට ගෙදර නෑ කියල දැනගන්න පුළුවන්, ඒක නිකන් හරියට, අපි ගෙදර නෑ, අදම ගිහින් අපේ ගෙදර කඩපන් කියල හොරුන්ගේ මූනට දමල ගහනවා වගේ නෙමෙයිද? .. ඒ විතරක් නෙමෙයි යන්නේ කොහෙද කියල සමාජ ජාල වල ෂෙයාර් කරලා තිබෙන අවස්ථාවකදී රක්ෂණ සමාගම් වලින් ඒ කාලවලදී සිදු වන සොර සතුරු අලාභහානි වලට ගෙවන එකත් අවලංගු කරනවා. ඒ නිසා මේ පුරුද්දෙන් ඉතාම ඉක්මනින් ඉවත් වෙන එක බුද්ධිමත් තීරණයක් නෙමෙයිද ?

No comments