අල්ලස් ගත් හිටපු විදුහල්පතිනිය වසර 20 කට හිරේ.... | Reporter අල්ලස් ගත් හිටපු විදුහල්පතිනිය වසර 20 කට හිරේ.... - Reporter

Hot News

අල්ලස් ගත් හිටපු විදුහල්පතිනිය වසර 20 කට හිරේ....


මාතලේ විජය විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා  රුපියල්  ලක්‍ෂ  දෙකක අල්ලසක්  ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 1 1/2ක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකාරිය වු එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියට වසර 20ක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඇයට රුපියල් 20,000/- ක දඩයක් ද නියම කළේය.
2014 වසරේදී මාතලේ විජය විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ පියාගෙන් ලබා ගන්නා ලද  රුපියල්  ලක්‍ෂ 1 1/2ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද විනිසුරුවරයා නියම කළේය.
චෝදනාවන්ට වරදකාරිය වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මාතලේ විජය විද්‍යාලයේ 2014 වසරේදී විදුහල්පතිනිය ලෙස කටයුතු කළ කළුආරච්චිගේ දයාවතී (47)  මහත්මියටය.
2014 පෙබරවාරී මස 08 වැනිදා මාතලේ දී මාතලේ විජය විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී එම විදුහලේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ පියාගෙන් රුපියල්  ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 1 1/2ක් ලබා ගන්නා ලදැයි චෝදනා හතරක් යටතේ විත්තිකාරියට එරෙහිව  අල්ලස්  කොමිසම විසින් නඩු පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකාරියට එරෙහි සියළුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.
විත්තිකාරියට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් චෝදනා හතරටම ඇය වරදකාරිය බවද විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ චන්ද්‍රිකා ජයසේකර මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් දරුවන් පාසලට ඇතුලත් කර ගැනීම සඳහා අල්ලස් ගැනීම මේ වන විට අප රටේ එක්තරා කලාවක් වී ඇතැයි කීවාය.
අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇතැයි කී අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ චන්ද්‍රිකා ජයසේකර මහත්මිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකාරියට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකාරියට එක් චෝදනාවකට වසර 05 බැගින් චෝදනා හතරට වසර 20ක 
සිරදඬුවමක් නියම කර එය වසර 05ක කාලයකින් ගෙවෙන ලෙස නියම කළ අතර විත්තිකාරියට එක් චෝදනාවකට රුපියල් 5,000/- බැගින් චෝදනා හතරට රුපියල් 20,000/- ක දඩයක්ද නියම කළේය.
අල්ලස් වශ්‍යයෙන් ගත් රුපියල් ලක්‍ෂ 1 1/2ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීම නියම කළ විනිසුරුවරයා දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුව හොත් අමතර වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.
අල්ලස් කොමසමේ පොලිස් පරීක්‍ෂක අබේසිංහ මහතා විසින් මෙම සිද්ධියට අදාළ වැටලීම සිදුකර විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබු අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ චන්ද්‍රිකා ජයසේකර මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

No comments