Breaking News

"කරන්ට් එකෙන් මිනී පිච්චීමේ" ඔබ නොදත් කතාව මෙන්න

යමෙකු මිය ගිය පසු උරුම වනුයේ 'හතර රියනක්' පමණක් බව සමාජය පුරා පැතිරගත් පිරුළකි. එහෙත් නූතන සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙකුට ඒ හතර රියනේ උරුමයවත් හිමි නැති බව සමහරෙක් දෙනෙක් නොසිතති. ඒ දිනෙන් දින වර්ධනය වන ජන පීඩනය නිසා මියගිය අයෙකුට සැතපීමට 'හතර රියනක්' වත් සොයා ගැනීමට මේවනවිට ලක් පො‍ළවේ ඇති ඉඩකඩ කෙමෙන් ඇහිරෙමින් පවතින බැවිනි. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල සුසාන භූමි සඳහා වෙන්කොට ඇති ඉඩ ප්‍රමාණය ප්‍රදේශයේ ජනගහනයට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බරපතල ගැටලු සහගත තත්ත්වයන් ඇති වූ අවස්ථා පිළිබඳව මා‍ධ්‍ය මඟින් වාර්තා පළවිය.

විශේෂයෙන් පසුගිය කාලයේ නුගේගොඩ, උඩහමුල්ල සුසාන භූමියේ මළ සිරුරු භූමදාන කිරීමට සැරසුණු ඇතැම් අවස්ථා වලදී එම පස් යට තිබී අඩක් දිරූ මළ සිරුරු හමුවූ අවස්ථා පිළිබඳව මාධ්‍ය මඟින් වාර්තාකොට තිබුණි. නමුත් මෙකී සියළු දෝෂ තත්ත්වයන් සමනය කරන විසඳුමක් මීට දශක කිහිපයකට පෙර සිටම කොළඹ බොරැල්ල කනත්තෙන් ඉදිරිපත් විය. ඒ මෘත ශරීර දහනය කිරීම සඳහා වූ ආදාහනාගාරයක් ඉදිකිරීමය. ඉන්පසු එම නව ආදාහනාගාර ක්‍රමය දෙහිවල ගල්කිස්ස සුසාන භූමිය වෙතද ආදේශ කෙරුණේ එම ප්‍රදේශය ද අධික ජන ගහනයකින් යුතු බැවිනි. එවක මෙසේ ආදාහනාගාර මඟින් මළ සිරුරක් ආදාහනය කිරීම බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලද්දේ 'කරන්ට් එකෙන් පිච්චීම' යනුවෙනි. නමුදු විදුලි බලය යොදා මළ සිරුරක් දහනය කිරීම අතිශය අසීරු කරුණකි. ඊට හේතුව එමගින් මළ සිරුර අඟුරුවීම මිස අළු වීමක් සිදුනොවන බැවිනි. පුද්ගල මළ සිරුරක් අළු කිරීමට නම් අධික වෝල්ටීයතාවයකින් යුත් විදුලි බලයක් ඒ සඳහා යෙදවිය යුතුය.
මෙහිදී ‍මළ සිරුරු බොහෝ විට ආදාහනය වනුයේ වායු බලයෙනි. මුලදී කොළඹ බොරැල්ලේ සහ දෙහිවල ගල්කිස්ස සුසාන භූමි සඳහා එවක Town Gas යනුවෙන් හැඳින්වුණු ජීව වායුව නළ මඟින් එම ආදාහනාගාර වෙත සපයන ලදී. එම වායු නලවල සුන්බුන් මෑතක් වනතුරුම එම පරිශ්‍ර ආශ්‍රිතව දැකිය හැකි විය.  එහෙත් අද වන විට මෙම මළ සිරුරු ආදාහනය කිරීම සඳහාද යොදාගන්නේ ගෘහස්ථ පරිභෝජනය සඳහා වන LP (liquid petroleum Gas) ගෑස් මය.
මුලදී මෙම ආදාහනාගාර සඳහා අවශ්‍ය දැවුම් කට්ටල ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ එංගලන්තයෙනි. ඒ සඳහා කළම්බු කොමර්ෂල් සමාගම පුරෝගාමී වී තිබේ. පසුව ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ විශිෂ්‍ටතම ඉංජිනේරුවරයෙකු වන ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ශූරීන්  විසින් ඔහු එවක ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන  ආයතනයේ (NERD) සභාපතිව සිටියදී මේ සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමයක් හඳුන්වාදෙන ලදී. එදා මෙදා තුර නවීකරණයට ලක්වෙමින් අදත් අප ‍රටේ යොදාගනු ලබන්නේ ආචාර්ය කුලසිංහයන් ලොවට හඳුන්වාදුන් එම NERD තාක්ෂණයයි. දැනට මෙම ආදාහනාගාර පාලනය කරනු ලබන පළාත් පාලන ආයතන විසින් විවිධ සමාගම් සහ ඒ සම්බන්ධ විශේෂඥ දැණුම ඇති පුද්ගලයන් ලවා මේවායේ සවිකිරීම් සහ නඩත්තු කටයුතු සිදුකරයි.
සාමාන්‍යයෙන් මෙම ආදාහනාගාරයක් සඳහා කිලෝ ග්රෑම් 40 ධාරිතාවකින් යුත් ගෑස් සිලින්ඩර් 05 ක් පමණ එකි'නෙකට සම්බන්ධ කොට යොදා ගැනෙයි. එවැනි ගෑස් ප්‍රමාණයකින් මෘත ශරීර 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් ආදාහනය කළ හැක.  මීට වෙනස් ආකාරයට ගෑස් ලබා ගන්නා ආදාහනාගාරත් තිබේ.

ආදාහනාගාරයේ කුටීරය (Chamber) තුළට මෙම ගෑස් නිකුත් කරන අතරේ විදුලියෙන් ක්‍රියාකරන සුළංනළ (Blower)  මගින් ඊට අම්ලකර වායුවද අවශ්‍ය ප්‍රමාණයට වේගවත්ව සැපයිය යුතුය. දේහය කෙටි වේලාවක් තුළ සාර්ථක ලෙස දහනය වනුයේ මෙම වායු සුසංයෝගය මඟිනි. මෙම ක්‍රමය 'කරන්ට් එකෙන් පිච්චීම' ලෙස හඳුන්වා ඇත්තේද එනිසා විය යුතුය.

එමෙන්ම දේහය ආදාහනාගාරය තුළ දහනය වන අතරේ ඉන් පිටවන දුම සෘජුවම අහස්ගතවීමට අවශ්‍ය බලයද  සුළං බලය මගින්ම ලබා දිය යුතුය. එසේ නොමැතිව ආදාහනාගාරයකින් පිටවන දුම නැවත පොළවට පහත්වනවාට කිසිවෙකුත් කැමති නොවෙති. එබැවින් මේ සඳහා ඉංජිනේරු තාක්ෂණික ශ්‍රමය සහ සම්පත් සහිත සමාගම් මඟින් මෙම කටයුත්ත කරගැනීමට බොහෝ පළාත් පාලන ආයතන යුහුසුලු වෙයි. ඒ එසේ නොකළ හොත් ඊළඟට එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් එහි සභිකයන්ට 'යන එන මං' නැතිවන බැවිනි.

සාමාන්‍යයෙන් ආදාහනාගාරයක් තුළට පිවිසුවන මෘත දේහයකට දෙපස ඇති දාහක (Burner)පහකින් හෝ හයකින් ගිනි නිකුත් කෙරේ. ඇතැම් ආදාහනාගාර වල දාහක 04 ක් සහ ඉහළ සිට සිරුරට ගිනි නිකුත් කෙරෙන ප්‍රධාන දාහකයක් ද ක්‍රියාත්මක වේ. ඒ මළ සිරුරේ දැවීම ඉක්මන් කරනු පිණිසය.

නූතනයේ බොහෝ ආදාහනාගාර ක්‍රියාත්මක වන්නේ  ස්පර්ශක පද්ධතියක් (touch system) සහිත පුවරුවකිනි. ඒ එම පුවරුව නොදන්නා කෙනෙකු විසින් ක්‍රියාත්මක වීම හෝ වැරදීමකින් අත වැදීමකින් ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ වලකාලීමට තාක්ෂණික ක්‍රම තිබේ. මෙම ස්පර්ශක පද්ධතිය ක්‍රියාත්මක වීමට පෙර මෙම ආදාහනාගාර ක්‍රියාත්මක කරන ලද්දේ අතින් වායු කරාම විවෘත කෙරෙන ක්‍රමයකටය.
අතීතයේ මෙවන් ආදාහනාගාරක මළ සිරුරක් දහනය වීමට පැය එකහමාරක් දෙකක කාලයක් ගත වුවද නවීන තාක්ෂණය යටතේ විනාඩි 45 ‍හෝ පැයක් තුළ එය දහනය වී හමාර වේ. සාමාන්‍යයෙන් පිළිකා, දියවැඩියාව ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නවුන්ගේ මළ සිරුරු වල මේද තත්ත්වය අඩුවීමත් සිරුරේ දියර බව වැඩිවීමත් ආදී  හේතු නිසා එවන් මළ සිරුරු දහනය වීමට තරමක වැඩි කාලයක් ගත වේ. නමුත් හෘදයාබාධ ආදියෙන් මියයන්නවුන්ගේ ශරීර තුළ ස්වභාවිකවම මේදය බහුල වීම නිසා එවැනි සිරුරු තරමක් ඉක්මනින් දැවී යා හැක. ඒ අනුව මෙම සිරුරු දහනය වීමේ ශීඝ්‍රතාව පදනම් වනුයේ ශරීරයේ ඇති මේද ප්‍රමාණය අනුව මිස ශරීර ස්කන්ධය අනුව නොවේ.

 අතීතයේ මිනීපෙට්ටි කුෂන් කිරීම සඳහා අධික ලෙස පිදුරු භාවිතා කිරීම බොහෝ ආදාහනාගාර සේවකයන්ට අමතර කරදරයක් විය. ඒ  මළ සිරුර ආදාහනාගාරයට ඇතුළු කොට මිනී පෙට්ටිය දැවුණු  පසු පිටුපස දොර විවර කොට පෙට්ටිය දැවීමෙන් පසු පිදුරුගොඩක් මැද ඇති මළ සිරුර මතුවන සේ යකඩ කූරු මගින් එම පිදුරු එහා මෙහා කළ යුතු වූ බැවිනි. එසේ නොවන්නට පැට්රල් මැක්ස් ලාම්පුවක 'මැන්ටලය' මෙන් කොතෙක් දැවුණද එම 'පිදුරු අකුල' මළ සිරුර වටා මද වේලාවක් රැදී පවතිනු ඇත.

නමුත් අද වන විට පිදුරු සොයා ගැනීමට ඇති අපහසුතා නිසාත් සුසාන භූමි පාලකයන්ගේ ඉල්ලීම් වලට කන්දීම නිසාත් බොහෝ මල් ශාලා හිමියෝ මිනී පෙට්ටි කුෂන් කිරීම සඳහා කොහු, යතුගෑමෙන් ඉවත්වන ලී කුඩු, හා කොට්න් වේස්ට් ආදිය යොදා ගනිති. නමුත් නවීන ආදාහනාගාරවල ඇති ප්‍රබල ක්‍රියාකාරීත්වය නිසා දේහය දැවෙන අතරේ නැවත විවෘත කිරීමට අවශ්‍ය නොවේ. එහෙත් එහි පිටුපස‍ දොරටුවේ ඇති කුඩා වීදුරු විවරයෙන් එම දේහය දැවෙන ආකාරය ආදාහනාගාර සේවකයාට නිරීක්ෂණය වෙයි. බොහෝ විට එසේ නිරීක්ෂණය කිරීමෙන් දේහය වෙත සැපයෙන ගිනි දළු අඩු වැඩි කොට දේහය කඩිනමින් දහනයවීමට කටයුතු සැලසීමට එම සේවකයාට පුළුවන.

එක් දිනයක් තුළ මෘත ශරීර කිහිපයක් ආදාහනය කළ ද ඒවායේ භෂ්මාවශේෂ වෙන් වශයෙන් පිටතට ගැනීමේ විධිමත් ක්‍රමවේද තිබේ. එහෙත් පිටතට ගන්නා භෂ්මාවශේෂ වල ඇතැම් කොටස් පොල්කටු අඟුරු ස්වභාවයෙන් පවතින අතර ඒවා කුඩු කිරීමට මඳ වේලාවක් ගතවේ. දේහයක් ආදාහනය කොට පැයකින් පමණ භෂ්මාවශේෂ ලබාගත හැකි වුවද සාමාන්‍යයෙන් ඒ වන විට ඒවායේ උණුසුම පහව ගොස් නොමැති බැවින් ඒවා ඥාතීන්ට ලබා දෙනු ‍නොලැබේ.

දේහයක් ආදාහනය වන අතරේ හිටි හැටියේ විදුලිය අක්‍රීයවීමක් වුවහොත් එම සුළංනළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විදුලිය ජෙනරේටර් යන්ත්‍ර මගින් ඒ සඳහා ලබා දෙනු ඇත.  එසේ ලබා නොදුන්නද එම දේහය ආදාහනයට ඉන් සෘජු බලපෑමක් සිදු නොවේ. සිදුවන්නේ ආදාහනය වීමට ගත වන කාලය මඳක් දිගුවීම පමණි. සාමාන්‍යයෙන් එක් දේහයක් දැවුණු පසු දෙවන තුන්වන දේහ දැවීම සඳහා වැය වන ඉන්ධන ප්‍රමාණය සහ කාලය මඳින් මඳ අඩුවෙයි. ඒ එම අවස්ථාවල කුටීරය තුළ උණුසුම ඉහළ නැංවී ඇති බැවිනි.

අතීතයේ විවිධ යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් සඳහා මිනී අළු භාවිතයට යොදාගෙන තිබූ බැවින් මිනී අළු සම්බන්ධ ගුප්ත බියක් තවමත් අපේ සමාජයේ ඇතැමුන් තුළ පවතී. එහෙත් ඒ කතාව මොන තරම් බාල බොළඳ විහිළුවක්ද යන්න සුසාන භූමි පාලකයෝත්, ආදාහනගාර සේවකයෝත් ඉතා හොඳින් දනිති.

Image result for dehiwala cemetery
උදිත ලක්ෂ්මන් ප්‍රනාන්දු,
හිටපු ජ්‍යෙෂ්ඨ සුසාන භූමි පාලක

No comments