Breaking News

ප්‍රියන්ත හිරු සුපර් ඩාන්සර් වේදිකාවෙන් ඉවත් වුනේ ඇයි?

ඔබව මේ දවස්වල වෙනස් විදිහේ නිර්මාණ දෙකකින් ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙනවා..?
ඔව්. පිනි සහ පැහැසරා නාට්‍ය දෙක මේ දවස්වල විකාශය වෙනවා. පිනි නාට්‍යයේ ඩැඩා මහත්තයා කියන චරිතය අමාරුවෙන් කළ චරිතයක්. මොකද මට වයස වැඩිපුර පෙන්නන්න වුණා ඒ චරිතය හරහා. පැහැසරා නාට්‍යයේ රූබසිංහගේ චරිතය විනෝදකාමියි. ඒ චරිතයටත්
ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමැතියි. අමාරුවෙන් කළ චරිත දෙකක් වුණත් ප්‍රේක්ෂකයෝ ඒ චරිත දෙකම වැලඳගෙන තියෙනවා.

තවත් අලුත් රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්නත් ඇති..?
ඔව්. ගිරිරාජ් කෞශල්‍ය අධ්‍යක්ෂණය
කරන "කතුරු මිතුරු" කියන චිත්‍රපටයේ රූගත කිරීම් මේ දවස්වල සිද්ධ වෙනවා. එහි රූගත කිරීම් සිදුවෙන්නේ මාවනැල්ලේ. ඒ වගේම චන්ද්‍රරත්න මාපිටිගම මහත්තයා අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයකත් රූගත කිරීම්වලට එකතු වෙනවා.
ඔබ නිර්මාණ ගොඩක් බදාගෙන කරන කෙනෙක් නෙවෙයි වගේ..?
මම වෙනත් වෘත්තියක් කරන ගමන් තමයි රංගන කටයුතු කරන්නේ. ඒ නිසා විවේකය අඩුයි නිර්මාණ විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න. විවේකය තිබෙන විදියට තමයි වැඩ භාර ගන්නේ.
ඔබ රංගන කටයුතුවල තෝරා ගැනීමක් කරනවද..?
වැඩවල ප්‍රමිතිය ගැන හිතලා නම් මම තෝරා ගැනීම් කරන්නේ නැහැ. මට තියෙන කාලය ගැන හිතලා තමයි මම තෝරා ගැනීම් කරන්නේ. මට ලැබෙන අවස්ථාව අනුව මම මගේ හැකියාව පෙන්වනවා.
ඔබ හිරු සුපර් ඩාන්සර් වැඩසටහනට ඉදිරිපත් කිරීමේ ශිල්පියෙක් විදියට එකතු වෙලා හිටියා. ඒත් දැන් ඔබ එහි පේන්න නෑ...?
ඔව්. පහුගිය ටිකේ ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න බැරි වුණා.
ඔබ ඒ වැඩසටහනෙන් ඉවත් වුණාද..?
නැහැ. නැහැ. මම කලින් ගිරිරාජ්ගේ චිත්‍රපටයේ වැඩ භාරගෙන තිබුණේ. ඉතිං මම කලින්ම හිරු නාළිකාවට කිව්වා මේ කාල සීමාව තුළ වැඩසටහනට එන්න වෙන්නේ නෑ කියලා. ඔවුන් එයට එකඟ වුණා. ඒ පොරොන්දුව පිට තමයි මම හිරු සුපර් ඩාන්සර් වැඩසටහනට එකතු වුණේ.
ඔබ වෙනුවට ඒ රාජකාරිය ඉෂ්ට කළේ රජිත..?
රජිතවත් මම තමයි යෝජනා කළේ. ඔහුත් හොඳට ඒ වැඩසටහන කරනවා.
ඔබ ආයෙත් වැඩසටහනට එකතු වෙනවද..?
ඔව්. මම ආයෙත් වැඩසටහනට එකතු වෙනවා.
රංගන ශිල්පියෙක්ට තරම්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ වැඩසටහන හරහා ඔබට ලබාගන්න පුළුවන් වුණාද..?
හිරු සුපර් ඩාන්සර් කියන්නේ ජනප්‍රිය වැඩසටහනක්. එය මටත් ලැබිච්ච හොඳ අවස්ථාවක්. තරගයක හැඟීමක් තියෙද්දී ඒ දරුවන්ගේ, ඔවුන්ගේ, මවුපියන්ගේ ආතතිය වැඩියි. මට තිබ්බේ ඔවුන්ගේ ආතතිය ලිහිල් කරන්න. ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
පුංචි තිරයේ, රිදී තිරයේ හාසේ‍යාත්පාදක චරිත සැබෑ ජීවිතයෙදීත් ඒ විදිහටම ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙනවා කියලා සමහරු කියනවා. ඔබටත් එහෙම දැනිලා තියෙනවාද..?
මිනිස්සු අපිව ඒ විදිහට බලාපොරොත්තු වෙන්නේ අපි කරන චරිතවලට ආදරය නිසා. ඒකයි පාරේ දැක්කත් අපිට ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ. හැබැයි මම රඟපාන්නේ තිරයේ. එතැනින් පිට හැසිරෙන්න ඕන විදිහ තමන් දැනගන්න ඕන.
රංගන ජීවිතයේදී විනෝදබර ඔබ සැබෑ ජීවිතයෙදිත් එවැනි චරිතයක්ද..?
සැබෑ ජීවිතේ මට එහෙම වෙන්න බැහැ. මොකද සාමාන්‍ය මනුස්සයෙක් විදියට මට ඉෂ්ට කරන්න ගොඩක් වගකීම් තියෙනවා. නළුවෙක් කියලා ගෙදරට හාල්, පොල් ටික අරගෙන නොයා මට ඉන්න බැහැ.
දැන් වේදිකාවේ වැඩවලට එකතු වෙන්නේ නැද්ද..?
මම වේදිකා නිර්මාණවල රඟපාන එක නතර කළා. ආරාධනා නම් ලැබෙනවා. හැබැයි වේදිකා නාට්‍යකට ලොකු කැප කිරීමක් කරන්න ඕන. දුර පළාත්වල යන්නත් ඕන. තිබෙන කාර්යබහුලත්වය එක්ක වේදිකා නාට්‍යවලට කැප කරන්න කාලය මදිවෙලා තියෙනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ

No comments