Breaking News

කඩතොළු ඉතිහාසයෙන් මිදෙන්නට බැරි ඕස්ට්‍රේලියානු ක්‍රිකට්.....


1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන සමයයි. නැතහොත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග සඳහා සහභාගි වීම ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රතික්ෂේප කළ සමයයි. එවක ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ පෝල් කීටින්ය. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කරමින් පළ වූ එක් ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානයට නතුව තිබිණ. එහි සඳහන් වූයේ 'Australian PM is Keating - Australian Team is Cheating' ලෙසය.   
මහත්වරුන්ගේ ක්‍රීඩාව ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාවක් බවට පත් කරමින් පළමු නිල ජාත්‍යන්තර ටෙස්ට් තරගය පැවතියේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර 1877 මාර්තු මාසයේදී මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේය. ඉන් ලකුණු 45ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. නමුත් එම මහත්වරුන්ගේ ක්‍රීඩාවේ කීර්තිය සුනුවිසුනු කරන මහත් හොරු බවට කුප්‍රකට ලකුණක් තබන්නට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ පසුකාලීනව කටයුතු කළහ. ඔවුන් මෑත ඉතිහාසයේ සිදු කළ අප්‍රියජනකම වංචාව වාර්තා වූයේ පසුගිය සෙනසුරාදා කේප් ටවුන්හිදී ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තෙවැනි ටෙස්ට් තරගයේදීය.   
තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් විසින් සිය කලිසම් සාක්කුවෙන් කහ පැහැති ඇලෙනසුලු පටියක් ගෙන එය ඔහුගේ යට ඇඳුම තුළට දමා ගන්නා ආකාරය දකුණු අප්‍රිකානු රූපවාහිනී ආයතනයක කැමරාකරුවකු වන සොටානි ඔස්කාර් සිය කැමරාවට හසුකර ගත්තේය. අනතුරුව මෙම කැමරා රූපසටහනේ පැහැදිලි සාක්ෂිය මත එම පටිය උපයෝගී කරගෙන බෝලය පළුදු කළ බවට පිළිගැනීමට කැමරන්ට සිදු වූවා පමණක් නොව ඊට ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් හටද වන්දි ගෙවීමට සිදු විය. එනම් බෝලය පළුදු කිරීමේ සැලසුම දියත් කර ඇත්තේ කැමරන් බැන්ක්‍රොෆ්ට් තනිවම නොවේ. එ් සඳහා මූලික සැලසුම කර ඇත්තේ ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ය. එනම් ඔස්ට්‍රේලියානු ‘නායකත්ව කණ්ඩායම’ ය. ඒ, සෙනසුරාදා දහවල් ආහාරය අතරතුරය.   
සොටානි ඔස්කාර් නම් දක්ෂ කැමරාකරුවාගේ තියුණු ඇස සහ තීක්ෂණ බුද්ධිය නොවන්නට කලින් කලට ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගෙන් මතු වන මෙවැනි අශිෂ්ට හැසිරීම් ක්‍රිකට් ක්ෂේත්‍රයේ අවධානයට නතු නොවීමට ඉඩ තිබිණ. මෙම ටෙස්ට් තරගාවලිය තුළ සිය දෙවැනි ජයග්‍රහණය අභියස සිටි දකුණු අප්‍රිකා කණ්ඩායමේ ජය ඇහිරීමට වංචාව නැමැති පන්දුව දැමීමට ගොස් ක්ලීන් අවුට් වන්නට සිදු වූයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයාට සහ උපනායකයාටය. ඉරිදා (25 දා) මෙම තරගාවලියේ නායකත්වයෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු විය.   
මේ සිදු වීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන ලෙස ක්‍රිකට් ලෝලීන්ගෙන්, රජයේ බලධාරීන්ගෙන් මෙන්ම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගෙන් බලපෑම් එල්ල වී ඇත. එසේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඔස්ට්‍රේලියානු නායකයාගේ තරග ගාස්තුව නොගෙවීමටත්, එක් තරගයක් සඳහා තහනමක් පැනවීමටත් කටයුතු කර ඇති අතර කැමරන් බැන්ක්‍රොෆ්ට්ගේ තරග ගාස්තුවෙන් 75%ක් කපා දැමීමට කටයුතු කර ඇත.   
ඔස්ට්‍රේලියානු නායකයා මෙන්ම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයද, බලධාරීන්ද, විශ්‍රාම ගිය ක්‍රීඩකයන්ද හැසිරෙන්නේ මෙය ඉතිහාසයේ පළමු වරට ඔවුන් කළ වරදක් ලෙසින් වුවත් ඉතිහාසය පුරා ඔස්ට්‍රේලියාවට එල්ල වූ පන්දුව පළුදු කිරීමේ චෝදනා ගැන වසන් කිරීමට එම රංගනය ප්‍රමාණවත් නොවේ.   
මෙම පන්දුව පළුදු කිරීමේ අවස්ථාවට ප්‍රථම අවසන් පැය බාගය තුළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ හැසිරීම පිළිබඳව වීඩියෝ සාක්ෂි ඇසුරෙන් සත්‍යය විමසා බැලීමට මාධ්‍ය ආයතන ගණනාවක් මේ වන විට ඉදිරිපත් වී තිබේ. එම අවස්ථාවට මිනිත්තු කිහිපයකට පෙර වෝකි ටෝකි උපකරණයක් ආධාරයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු ක්‍රීඩකයන් සිටි ස්ථානය ඇමතීම සහ ඉන් අනතුරුව හෙල්මටයක් රැගෙන අතිරේක ක්‍රීඩකයෙකු පිටියට පිවිසීමත්, එයින් පසු කැමරන් බැන්ක්‍රොෆ්ට් සැක කටයුතු ලෙස හැසිරීමත් ඉතා පැහැදිලිව වීඩියෝ රූප සටහන්වල ඇතුළත්ව තිබේ. ඒ අනුව එය ඉතා සැලසුම් සහගත ක්‍රියාවක් බව මැනවින් සනාථ වේ.   
මෙය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පන්දුව පළුදු කර වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද පළමු අවස්ථාව නොවන බවට ක්‍රිකට් ඉතිහාසය සාක්ෂි දරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ 2012 දෙසැම්බර් 16 වෙනිදා ඔස්ට්‍රේලියාවේ හොවාර්ඩ්හිදී පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පීටර් සිඩ්ල්ට පන්දුවේ සීමය තුවාල කිරීමේ චෝදනාව එල්ල විය. ඉතා අසාමාන්‍ය පන්දු යැවීමක් පෙන්නුම් කළ පීටර් සිඩ්ල් මෙම තරගයේදී ලකුණු 54කට කඩුළු 5ක් බිඳ දැමීමට කටයුතු කළ අතර මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් එල්.බී.ඩබ්. වරදට හසුකර ගැනීමේ අවස්ථාව ආන්දෝලානාත්මක විය.   
තමන්ගේ ඇසේ ඇති පොල් පරාලය නොදකින ඔස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් අවස්ථා කීපයකදීම පාකිස්තානු කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එරෙහිව පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල කළේය. කෙසේ වෙතත් මෑත සිදුවීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයට අලුතින් කළු පැල්ලමක් එකතු විය. ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාව යන නම් ලබන්නේ එය වෘත්තිකයන් අතර වඩාත් ජනප්‍රියව පැවතීම නිසාම නොවේ, ක්‍රිකට් මහත්වරුන්ගේ ගති ලක්ෂණ සමඟ ක්‍රියාත්මක වන ක්‍රීඩාවක්ද වන නිසාය. තවද ක්‍රිකට් ක්‍රීඩා කරන්නන්ට ජය - පරාජය සමව මහත්මා ගුණයෙන් දරාගැනීමේ හැකියාවද තිබිය යුතු වන නිසාය. නමුත් ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම අසික්කිත ක්‍රියාවක් කිරීමට යමෙකු පෙළඹේ නම් ඔහු තවදුරටත් ක්‍රිකට් සතු ජීව ගුණය සහ මහත්මා ප්‍රතිරූපය දැරීමට සුදුසු නොවේ. අද ඕස්ට්‍රේලියාවෙ පත්ව ඇත්තේ ඒ නුසුදුස්සන්ගේ තැනටය.  

No comments