Breaking News

මාකඳුරේ මධූෂ් ගැන පොලිසිය නිහඬයි?

ඩුබායිහි සැඟවී සිට මෙරට පාතාලය මෙහෙයවමින් මිනිස්‌ ඝාතන, කප්පම් ගැනීම්, පැහැරගෙන යැම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන තුරුත් කිසිදු සැලසුම් සහගත ක්‍රියා මාර්ගයක්‌ ගෙන නොමැති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

මාකඳුරේ මධුෂ් වසර ගණනාවක්‌ තිස්‌සේ ඩුබායිහි සැඟවී සිටිමින් මෙරට දරුණු අපරාධ මෙහෙය වන බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණද මොහු අත්අඩංගුවට ගැනීමට හෝ සැඟවී සිටින ස්‌ථානය සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු කියා සිටියේ කොටි නායකයකුව සිටි කේ. පී. මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පොලිසියට හැකියාව තිබුණේ නම් මෙවැනි පාතාල නායකයකු අත්අඩංගුවට ගැනීම අපහසු නොවන බවයි.

එහෙත් පොලිසිය මේ වන තුරුත් මධුෂ් සහ සෙසු පාතාල ප්‍රබලයන් අත්අඩංගුවට ගැනීමට සැලසුමක්‌ හෝ ක්‍රියාත්මක නොකිරීම විමතියට කරුණක්‌ බවද එම නිලධාරියා කියා සිටියේය.

පසුගිය වසරක්‌ වැනි කාල සීමාවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුකළ මිනිස්‌ ඝාතන රැසක්‌ මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත ඔහුගේ කල්ලිය විසින් සිදුකළ බව පොලිසිය පවසයි.

කළුතරදී බන්ධනාගාර බස්‌ රථයකට ප්‍රහාර එල්ල කර පාතාල නායක රණාලේ සමයා ඇතුළු හත් දෙනකු ඝාතනය, පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තබා බරපතළ තුවාල කිරීම, ප්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයකු වූ කොස්‌ මල්ලී ඝාතනය කර ඔහුගේ හිස කොටස අලුත්කඩේ අධිකරණය ආසන්නයට ගෙනැවිත් දැමීම මධුෂ්ගේ නියෝග මත සිදුවූ අපරාධ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම පාතාල නායකයා කඩිනමින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද නීති ගරුක පොලිස්‌ නිලධාරීහු පවසති


(under the courtesy of srilankamirror.lk news web)

No comments