Breaking News

අදටත් මිනිස්‌සු හිතන්නේ මම රංජන්ව කසාද බැඳලා කියලා...

අනූෂා දමයන්ති කියූ විට කාගෙත් හිතට නැගෙනුයේ දක්‌ෂ නර්තන ශිල්පිනියක්‌ කියන කාරණය. ඒ විතරක්‌ම නෙවෙයි ඇය දක්‌ෂ රංගන ශිල්පිනියක්‌. පහුගිය දවස්‌වල ගොසිප්කරුවන්ගේ පුවත් අලුත් කළ ඇය වැඩ ගොඩකට හිරවෙලා කාර්යබහුල වෙලා. තව නොබෝ දිනකින් අලුත් රියලිටියකින් ද ඇය ඔබේ දෑස මානයට එන්න සූදානම්. මේ ඇය ගැන ඇය කියූ දේ...

ගොඩක්‌ කාර්යබහුලයි වගේ ?

ඔව්... ටිකක්‌ කාර්යබහුලයි. අල්ලපු ගෙදර ටෙලිනාට්‍යයේ ෂූටිං තිබුණා. ඒක ඉවර කළා. ඒත් එක්‌කම සීතල යුද්ධය චිත්‍රපටියේත් වැඩ කටයුතු අවසන් කළා. අයියයි නංගියි චිත්‍රපටියෙත් වැඩ කටයුතු අවසන් කළා. ඒකෙ මංගල දර්ශනය තිබුණා පහුගිය 25 වැනිදා ඉතාලියේදී. ඒත් ඒක්‌කම ඒක රටවල් 07 ක තිරගත වෙනවා. සිරසෙ හැමදාම රාත්‍රී 7.30 ට යනවා දංකුඩ බණ්‌ඩා නාට්‍ය. ඒකෙත් ප්‍රධාන චරිතයට සහභාගි වෙනවා. තව අල්ලපු ගෙදර හොඳ චරිතයකුත් කරනවා සේපාලි කියල. ඒක නම් පරණ අල්ලපු ගෙදර එකේ රීමික්‌ස්‌ එක යන්නේ. ඒවත් එක්‌ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.

රියලිටිවලට එහෙම ආරාධනා ලැබුණෙ නැද්ද ?

පහුගිය අවුරුදු දෙකේම මම ටිකක්‌ කාර්යබහුල වුණේ මේ රියලිටි ෂෝ නිසා. අවුරුදු දෙකක්‌ මම එක දිගට රියලිටිත් එක්‌ක හිටියේ. ස්‌ටාර් සිටි ජයග්‍රහණය කළේ අපි. දැන් විකාශනය වන දෙරණ ටුවෙන්ටි ටුවෙන්ටි එකටත් ආරාධනා ලැබුණා. මම දිගටම රියලිටිවල දකිනකොට මිනිස්‌සුන්ට මාව එපාවෙයි. එතකොට හරි නෑනේ. ඉතිං මම කිව්වා මම ඒක නොකර ඉන්නම් කියලා. හිරු මෙගා ස්‌ටාර් සීසන් 02 එකටත් ආරාධනා ලැබුණා. පාට්‌නර් හම්බවුණ ගමන් ඒකට සහභාගි වෙනවා.

නර්තන දැනුම අනාගත පරපුරට දායාද කරන්න වැඩක්‌ පටන් ගන්න අදහසක්‌ නැද්ද ?

ඇත්තමයි ඇකඩමියක්‌ පටන්ගන්න අදහසක්‌ වගේම ආසාවකුත් තියනවා. ඒ තුළින් කෙනෙක්‌ හොඳට පුරුදු කරලා ඉන්දියාවට හරි අඩුම තරමෙ යවන්න හිතේ ලොකු අදහසක්‌ තියෙනවා. බලමු මේ කාර්යබහුලත්වයත් එක්‌ක මුකුත් කරගන්න බෑනේ. අනාගතේදී කොහොමහරි ඒක කරන්න බලමු ඉදිරියේදී.

ඔය කාර්යබහුලත්වයම නේද විවාහයටත් බාලගිරි දෝෂය අරන් එන්නේ ?

ඇත්තෙන්ම ඔව්. ඒක තමයි ප්‍රධාන හේතුව. මේ අවුරුද්දෙත් විදෙස්‌ සංචාර තුනක්‌ භාරගෙන තියනවා. තව පටන් ගත්ත නාට්‍යවල ෂූටිං ඉවර කරගන්න ඕන. ඉතිං ඒ වගේ වැඩත් එක්‌ක විවාහය පස්‌සට යනවා. පස්‌සට ගියෙත් ඒ නිසා. විවාහ වෙන්න නම් ඒ වෙනුවෙන් ටික කාලයක්‌ දෙන්න වෙනවා. බලමු ඉතිං හැම දේටම වෙලාවක්‌ තියෙනවානේ. තාම මට හදිස්‌සියක්‌ නෑ.

මනාලියන්ට අඳිනකොට හිතෙන්නෙ නැද්ද ඉක්‌මණින් විවාහ වුණානම් හොඳයි කියලා ?

මං හිතන්නෙ ඒ නිසාමද කොහෙද මට ඒක එච්චර වෙනසක්‌ දැනෙන්නෙ නැත්තෙ. කොච්චරනම් එහෙම අඳින්න ඇත්ද? අනිවාර්යයෙන්ම විවාහ වෙන්න ඕනෑ. ඒත් ඉතිං දැන් කාලෙ හරි. විවාහ වෙන්න ඕනෙමයි කියලා එකක්‌ නෑ. ඔය කියන හේතුව නිසාම වෙන්න ඇති.

පසුගිය දවස්‌වල රංජන් ඇමතිතුමා එක්‌ක විවාහ වුණා කියලා කතාවක්‌ ගියා නේද?

ඒකනම් මට නිවනක්‌ නැතිවෙච්ච දෙයක්‌. අදටත් මිනිස්‌සු හිතන්නේ අපි විවාහකයි කියලා. මිනිස්‌සු දැක්‌කම අහනව මහත්තය කොහෙද කියලා. කවුද ඇහුවම කියන්නෙ ඇයි රංජන් රාමනායක එක්‌ක විවාහ වුණා නේද කියලා. ඒ වගේම තව මිසිස්‌ රාමනායක, දැන් ඉතිං ඇමැති කෙනෙක්‌ගේ බිරිඳක්‌නේ කියලත් මිනිස්‌සු මට කතා කරනවා. ඒ ප්‍රචාරය නිසා. මිනිස්‌සු ඇත්තටම හිතුවේ අපි දෙන්නා විවාහ වුණා කියලා. ඒක ෆොටෝ ෂූට්‌ එකක්‌ විතරයි. ගොඩක්‌ ඉක්‌මණින් පැතිරුණා ඒ ගොසිප් එක. දැන් ඉතිං මිනිස්‌සු දන්නවා ඒක එහෙම දෙයක්‌ කියලා.

දේශපාලන වේදිකාව තුළ පහුගිය දවස්‌ ටිකේ කටයුතු කළා. ඒකෙ අවසාන අරමුණ පාර්ලිමේන්තුවට යන්නද ?

මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපති වෙනුවෙන් තමයි මම දේශපාලනයට සම්බන්ධ වුණේ. රට බේරාගත්ත නායකයා එතුමා නිසා. හැමෝම ආරාධනා කරනවා මට ගැලපෙන්නෙ දේශපාලන වේදිකාව. එන්න උදව් කරන්නම් කියලා. මම දේශපාලනයට එන්න හිතලා නැහැ. ඒත් හැමෝම කියනවා එන්න කියලා. ඒත් මම තාම ඒක හිතල නැහැ. කිසිම පටු අරමුණකින් දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ. අවශ්‍ය මොහොතේ අවශ්‍යතාවය මතයි මගේ දායකත්වය මම දුන්නේ. ඉදිරියේදීත් රටේ අවශ්‍යතාවය මොකද්ද ඒ වෙනුවෙන් මම කිසිම බලාපොරොත්තුවක්‌ හිතේ නැතුව දේශපාලනය කරනවා. මැතිවරණයකට සහභාගි වෙනවාද නැද්ද කියන එක තාම හිතලා නැහැ.

කලාකාරිනියක්‌ දේශපාලනය කරන එක ඔබට ආදරය කරන ප්‍රේක්‌ෂකයාට කරන අසාධාරණයක්‌ වගේ දැනෙන්නේ නැද්ද?

ඇත්තෙන්ම ඔව්. කලාකරුවෙක්‌ දේශපාලනයට එනවා නම් ඔහු මුලින්ම බයවෙන්නේ ඔය කාරණාවට. කලාකරුවාට ජනතාව ආදරය කරන්නේ පක්‌ෂ භේදයකින් තොරව. එතැනදී දේශපාලනයට එද්දී රසිකයාගේ ආදරය අඩුවෙයි කියන බය හිතේ තියෙනවා. මම පාරම්පරික පක්‌ෂයක්‌ එළඹගෙන නැහැ. මිනිසුන්ගේ අපේක්‌ෂාව කොතැනද රටේ අපේක්‌ෂාව කොතැනද එතැනයි මගේ දේශපාලනය තියෙන්නේ. මොකද කලාවක්‌ ලංකාව තුළ තියෙන්නත් අපට රටක්‌ ඕනනේ. ඒ හින්ද ජනතාවගේ සහ රටේ මතය තියන තැනයි මගේ දේශපාලනය මම ගෙනියන්නේ. එතැන තියෙන පාටයි පක්‌ෂෙයි එක්‌ක තමයි මම ඉන්නේ. යමක්‌ දැක දැක අහක බලාගෙන ඉන්නකෙනා තමයි ලොකුම අපරාධකාරයා වෙන්නේ. මම එහෙම ඉන්න සූදානම් නැහැ. මොකද මිනිස්‌සු වෙනුවෙන් අපි ඉන්න ඕන කලාකරුවන් විදියට. මිනිස්‌සුන්ගේ පැත්තෙ මම ඉන්න නිසා මිනිස්‌සු එහෙම වැරදියට හිතන එකක්‌ නැහැ.

ප්‍රසංග මාභරණ
ඡායාරූප - යූ. කේ. අබේරත්න


( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

No comments