Breaking News

මට දැනුණා මගේ කිහිල්ලේ වේදනාවක් නැති ගෙඩියක් තියෙනවා.." - වෛද්‍ය ආරියසේනයන් මිය යන්න පෙර කියූ කතාව


"පිළිකාව සිඝ්‍රයෙන් වර්ධනය වුණා.."

"මම හිතනවා අවුරුදු 85ක් වත් ජිවත් වෙන්න.."

"මගේ බිරිද, දරුවෝ දෙන්නා වගේම ඒ අය විවාහ වෙලා ඉන්නේත් වෛද්‍යවරුන් එක්ක.."

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ වියෝව බොහෝදෙනෙකුගේ හදවත් කම්පා කරවූ සිදුවීමක් වුණා. ඊට හේතුව ඔහු  පාඨකයින්ට වෛද්‍ය විද්‍යා දැනුම ලබාදීමට වෙහෙසක් ගනිමින් ජනතාව අතර සිටි වෛද්‍යවරයෙක් නිසයි. ඔහු අවසන් කාලයේ ඔහුට පිළිකා රෝගය වැළඳුන පසුව ‘වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්‘ යනුවෙන්  ලිපි මාලාවක් ලියා එම රෝගයේ සියලු අංග හා ප්‍රතිකාර ගැන ජනතාව දැනුවත් කරන්නට ඔහු අඛණ්ඩව උත්සාහ කළා.
feature-top

එමෙන්ම ඇමති එස්බී දිසානායකගේ සහෝදරියකගේ සැමියා වූ ආරියසේන යූ ගමගේ මහතා මියයන විට 66 වන වියෙහි පසු වුණා.

 ඒ මහතා ජිවතුන් අතර සිටියදී පුවත්පතකට කතා කළ තොරතුරුයි මේ,

“මම විවාහ වුණේ මා සමඟ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්ත මානෙල් දිසානායක සමඟ‍. ඇයත් වෛද්‍යවරියක්. ඇය එස්.බී. ඇමැතිතුමාගේ නැගණිය. මගේ දියණියන් දෙදෙනාත් වෛද්‍යවරියන්. ඔවුන් විවාහ වෙලා සිටින්නෙත් වෛද්‍යවරු සමඟයි.“ 

‘මම හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටි කෙනෙක්. ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් වගේ ම ජනතාවට අමතන කෙනෙක් හැටියට ජනතාවට ආදර්ශයක් වෙන විදියට උසට ගැළපෙන ශරීර බර තබාගෙන, දිනපතාම ව්‍යායාම කරමින් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළා. මගේ දැන් වයස අවුරුදු 65 යි. මගේ අම්මත් තාත්තත් හොඳ ආයුෂ වින්ද අය. අම්ම තවමත් ඉන්නවා.‍ මගේ තක්සේරුව වුණේ අවුරුදු 85 ක්වත් මම ජීවත් වෙයි කියලයි. කවදාවත් අදහසක් තිබුණේ නෑ පිළිකා රෝගයක් මට ඇතිවෙයි කියලා. මීට මාස 5 කට පමණ කලින් දවසක් මට දැනුණා මගේ කිහිල්ලේ වේදනාවක් නැති පුංචි ගෙඩියක් තියෙන බව.

ඒ වෙලාවේ මම හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටියා. ඒ වුණත් ESR, CRP, WBC, RBC වැනි වෛද්‍ය පරීක්ෂණ ටික කරගත්තා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල වලින් විශේෂ යමක් දැන ගන්න ලැබුණේ නෑ. ඉන්පසුව මා දැනටමත් වැඩ කරන පේරාදෙණිය වෛද්‍යපීඨයෙන් මේ ගෙඩිය ඉවත් කරගන්න ඕන කියලා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නා. එම ගෙඩිය පරීක්ෂාවේ ප්‍රතිඵල මට දින 5 කින් දැනගන්න ලැබුණා. ඒ ප්‍රතිඵලය වුණේ මම බලාපොරොත්තු නොවූ දෙයක්. මගේ කිහිල්ලේ තිබුණු ගෙඩිය ශීඝ්‍රයෙන් පැතිරෙන non – Hodgkin’s lymphoma (නොන් හොජ්කින් ලිම්ෆෝමා) නම් පිළිකාවක් බව මට දැනගන්න ලැබුණා.

මෙය ඉතාම වේගයෙන් වර්ධනය වුණා. මේ අවුරුදු 65 ක කාලය තුළ අවුරුදු 100 ක වැඩ මම කරලා තියෙනවා. මගේ පවුලේ උදවියටත් රටටත් මම හොඳින් යුතුකම් කළ කෙනෙක්. ලෝකය පුරා ඉන්න බොහෝ දෙනකුගේ ආශිර්වාදය මට තියෙනවා. “

අභාවප්‍රාප්ත වෛද්‍ය ගමගේ මහතාගේ දේහය මාවනැල්ල බෙලිගම්මාන පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (1) සවස 6 ට මාවනැල්ල ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතයි.


No comments