Breaking News

මං පටන් ගත්තෙ ලුණු පැකැට්ටුවෙන් Dj Handlooms අධිපතිනි ජානකී අමරසිංහ

feature-top


‘හිත ඇත්නම් පත කුඩාද?’ යන ජන ප්‍රවාදය ඇය වැනි කාන්තාවන් ගේ කතාව අසන කල නිතැතින්ම සිහියට නැගෙයි පුංචි ලුණු කැට පැකැට්ටුවකින් පටන්ගෙන අද ලංකාවේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාවක බවට පත්ව සිටින ඇගේ කතාවෙහි සැඟව ඇත්තේද ගැහැනිය සතු උත්සාහය කැපවීම, අවංකත්වය හා අනලස් බවේ මහිමයයි. අත මිට සරු නැතැයි, හරි හමන් රැකියාවක් නැතැයි මැසිවිලි නගන බොහෝ දෙනෙකුට කදිම ආදර්ශයක් සපයමින් දිවි සැරිය ජය ගත් ඇය ප්‍රකට ව්‍යාපාරිකා ජානකී අමරසිංහ.

කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1985 දී මර්මේඩ් පෞද්ගලික සමාගමෙහි පරික්ෂක වරියක ලෙස වෘත්තීය දිවිය ඇරැඹු ජානකී 1991දී එහි සේවයෙන් ඉවත්වන විට එහි කලමණාකාර අධ්‍යක්ෂක ධුරය හොබවමින් සිටියාය. රටේ එකල පැවැති අහිතකර දේශපාලන පසුබිමත් කුඩා දරු දෙදෙනකුගේ වගකීමත් හේතුවෙන් රැකියාවෙන් ඉවත් වූ ජානකීට සිය සැමියා වූ ඩෙන්සිල් අමරසිංහ විසින් උපයන ලද ආදායමෙන් පමණක් සිය පවුලේ අභිවෘද්ධිය සළසා ගත නොහැකි බව නිතර සිහියට නැගිණි. පාසල් අවධියේ පටන් කලාවට, ගෘහ කර්මයට හා දෑතේ වැඩ පළට දස්කම් දැක්වූ ජානකී නිවසේ සිටම ආදායම් ඉපැයිය හැකි ක්‍රමවේදයක් ගැන විමසිලිමත් වූවාය. එකල පාරිභෝගිකයන් අතර ඉහළ ඉල්ලුමක් තිබු, තමා අත ඇති සුළු මුල ධනයෙන් ඇරැඹිය හැකි ව්‍යාපාරයක් ගැන සොයා බැලු ඇය ආහාර සඳහා යොදාගන්නා ලුණු වලට එකල ගෘහනියන් අතර වැඩි ඉල්ලුමක් ඇති බව හඳුනා ගත්තාය. එකල රටෙහි ලුණු හිඟයක් පැවැතියෙන් පිරිසිදු ලුණ‍ු සොයා ගෘහනියෝ වෙහෙසුණෝය.

නිවෙසට වී අලසව කල් ගෙවනු වෙනුවට කාර්මික සංවර්ධන මණ්ඩලයට සම්බන්ධ වී විවිධ පාඨමාලා හැදෑරූ ඇය ස්වයං රැකියා සඳහා යොමුවන කාන්තාවනට කලමණාකාරීත්ව පුහුණුව ලබා දෙනු පිණිස ලංකා බැංකුව මඟින් දියත්කරන ලද වැඩසටහනකටද සහභාගී වුවාය. කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත නැගී එන ව්‍යවසායිකාවක ලෙස ඇය හඳුන්වා දෙනු ලැබුයේ ලංකා බැංකුව මගිනි. 1992 දී එහි ව්‍යවසායකත්ව පුහුණු පාඨමාලාවට සහභාගී වු ජානකී තම‍ාගේ ම ව්‍යාපාරයක් ඇරැඹීමට සිතුවාය. මුල ධනය ලෙස ඇය සතු වූ රුපියල් 5000 ට ලබා ගත හැකි ලාභාම භාණ්ඩය මෙන්ම වෙළෙඳ පොළෙහි වැඩිම ඉල්ලුමක් තිබූ “දිය ලුණු” සිය අලෙවි භාණ්ඩය ලෙස තෝරා ගත්තාය.

එවකට කිරුළපණ පිහිටි ලංකා ලුණු සංස්ථාවට ගිය ජානකී සිල්ලර අලෙවිය සඳහා ලුණු මිටි 40-50 ක් ලබා දෙන්නට හැකි දැයි එහි සභාපතිවරයාගෙන් විමසා සිටියාය. පිරිමින් පමණක් නිරතවන “ලුණු” වැනි නීරස ව්‍යාපරයකට ජානකී වැනි සියුමැලි කාන්තාවක් ඉදිරිපත් වූ කල සැබැවින්ම එය ඇයට කළ හැකි දැයි සිතා බලන මෙන්ද ලුණු තොග ලබා‍ දෙන්නට නම් අය ඒ සඳහා සුදුසු බව සඳහන් කරන ලද සහතිකයක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් රැගෙන එන ලෙසද සභාපතිවරයා ඇගෙන් ඉල්ලා සිටියේය. එවකට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාව සිටි රොහාන් ප්‍රනාන්දු මහතා හමු වූ ජානකී වහාම අදාල රෙකමදෝරුව ලුණු සංස්ථාවට ඉදිරිපත් කළාය.

අභියෝග හමු‍වෙහි නොසැලෙන මේ දිරිය ළඳ කෙරෙහි පැහැදුණු ලුණු සංස්ථාව ඇය වෙත පළමු ලුණු තොගය නිකුත් කළේය. ඒ කිලෝ 50 ලුණු මිටි 15 කි. එවකට මොරටුවේ පදිංචිව සිටි ජානකී ඒ වන විට වැල්ලවත්තේ සිට මොරටුව දක්වා වූ සෑම බේකරියක් වෙතම ගොස් “ලුණු” අවශ්‍යදැයි විමසා තිබිණි. ලුණු මිටි 15 නිවසට ගෙනා ඇය සිය ඥාති පුත්‍රයා ද සමඟ එක්ව ඒවා කිලෝ එක බැගින් පැකට්වල ඇසිරුවාය මුල් වරට ලුණු පැකට් රැගෙන බේකරි වෙත ගිය ජානකීට කිසිදු හෝටලයකින් සුභවාදී ප්‍රතිචාරක් ලැබුණේ නැත. එයින් අධෛර්යයට පත් නොවු ඇය දෙවැනි තුන් වැනි දිනවලද ලුණු පැකට් කිහිපයක් රැගෙන හෝටල වෙත ගියාය. කොතරම් ප්‍රතික්ෂේප කළද නොපැකිළ යළි යළිත් ලුණු රැගෙන එන මේ උත්සාහවත් කාන්තාවගේ වෑයම ප්‍රතික්ෂේප කළ නොහැකි තැන ඇතැම් මුදලාලි කෙනෙක් ඇගෙන් ලුණු පැකැට්ටුවක් දෙකක් මිලදී ගත්හ. එසේ ඇයට නැගිටින්නට අත දුන් මුල්ම ව්‍යාපාරිකයා ලෙස රත්මලානේ සුමනදිසි බේකරිය හිමි සුමනදිසි මුදලාලි අදත් ඇය සිහි කරන්නේ කෘතවේදීවය. සුමනදිසි බේකරිය, රෝයල් බේකරිය වැනි හෝටල්වලට මුලින් මුලින් ලුණු පැකැට් එක දෙක අලෙවි කළ ජානකී කෙටි කලකින්ම එම හෝටල්වලට ලුණු මිටිය පිටින්ම අලෙවි කරන්නට සමත් වුණාය.

කුඩා දරු දෙදෙනාද රැක බලාගෙන ගේ දොර වැඩපළ ද කරමින් ලුණු ව්‍යාපාරයෙහිද නිරත වු ජානකීට සහය වුයේ සිය සහෝදරියගේ පුත් ගයාන් සංජීවය. ක්‍රමයෙන් ඉල්ලුම වැඩිවන විට කොළඹින් ලබා ගත් තොගය ප්‍රමාණවත් නොවීය. තමා සතු වාහනයක් නොවුයෙන් සිය සැමියා සමඟ මධ්‍යම රාත්‍රී දොළහට පිටකොටුවෙන් හම්බන්තොට බලා බස් රථයෙන් පිටත් වන ජානකී පෙරවරු 4.00 වන විට හම්බන්තොට ලුණු ලේවායට ළඟා වන්නීය. එහිදි ලුණු මෙට්‍රික් ටොන් දහයක ලොරියක් මිලදී ගන්නා ජානකී එය මොරටුවට එවා ආපසු සැමියා සමඟ බස් රියෙන් මොරටුව බලා එන්නීය. පදිංචි නිවසේ ගාරාජයෙහි අසුරා යළි පැකට් කරන ලුණු කුලී රථ මඟින් බෙදාහරිනු ලබිණි. ලුණු ව්‍යාපාරය දිනෙන් ‍දින දියුණුවන විට ඇය තවත් භාණ්ඩ කිහිපයක් ව්‍යාපාරයට හඳුන්වා දෙන්නට සිතුවාය ලුණු සමඟ පෑහෙන මිරිස් කුඩු, කහ, තුනපහ ඇතුළු කුළුබඩු ව්‍යාපාරය ගැන සිතූ ඇය ඒ පිළිබඳව වැඩිදුර සොයා බලා කාර්මික තාක්ෂණ ආයතනයෙන් අදාළ පුහුණුව හා යන්ත්‍රෝපකරණ ද සපයා ගත්තාය. ලංකා බැංකුව ඇතුළු බැංකු ඈ කෙරෙහි තැබු විශ්වාසය ඇගේ ව්‍යාපාරය දියුණු කරගන්නට මහෝපකාරී වූ බව ඈ කෘතවේදීව සිහිකරයි.

1987 දී එතෙක් පදිංචිව සිටි නිවෙස වෙනුවට තමන්ටම කියා නිවෙසක් මිලදී ගන්නට අමරසිංහ යුවළ සමත්වුහ. “ජයමාලි” නම් වු ඒ පසන් නිවෙස මෙරට විසු ප්‍රවිණතම මාධ්‍යවේදියකු වූ ජනදාස පිරිස් මහතා විසින් ඉදිකරන ලද්දකි. නමෙහි අරුත පරිද්දෙන්ම ජය ගෙන දුන් ජයමාලි නිවසේ ගරාජයෙන් ඇරැඹු මිරිස් තුනපහ ව්‍යාපාරයද ලුණු ව්‍යාපාරය මෙන්ම සාර්ථකත්වයට පත් විය.

එවකට වෙළෙඳ ඇමැතිව සිටි කිංස්ලි ටී වික්‍රමරත්න මහතාගේ සහය ඇතිව සතොස ආයතනයට සිය කුළු බඩු අලෙවි කිරීමේ අවස්ථාව ජානකී ලබා ගත්තාය බැංකුවෙන් ලබා ගත් රු. 48,000 ක ණය මුදලකින් මිලදී ගත් යන්ත්‍රයක ආධාරයෙන් මිරිස්, තුනපහ, කුඩු කර පැකට් කර 1998 පටන් සතොස සන්නාමය යටතේ අලෙවි කරන්නට ඇයට හැකි විය. එදා සුළුවෙන් ඇරැඹු තුනපහ ව්‍යාපාරය අද ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගොස් ඇත්තේ සමුපාකාර‍ තොග වෙළෙඳ සංස්ථාවේ කුළු බඩු හරහාය. මිරිස්, කහ, තුනපහ, අබ, ගම්මිරිස්, ලුණු, ගොරකා, කොත්තමල්ලි, කුරුදු පොතුවල පටන් සුදුරු- මාදුරු දක්වා වන සතොස කුළු බඩු සියල්ල තවමත් නිපදවෙන්නේ ජානකී ගේ කුඩා කම්හලෙහි සහ ඇසුරුම්හලෙහිදීය. පිරිසිදු බව, උසස් තත්ත්වය හා ගුණාත්මක බව සිය නිෂ්පාදනවල සාර්ථකත්වයෙහි රහස බවද ජානකී පවසන්නීය.

1994 දී කොළඹ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සංගමයේ ලේකම්වරිය ලෙස පත් වූ ඇය තමා මෙන්ම උත්සාහයෙන් දියුණුව සොයා යන ස්ත්‍රී පුරුෂ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අත හිත සහ දිරි දෙමින් සිය පුර්ණ සහය දැක්වුවාය.

සතොස වෙළෙඳ සන්නාමය ය‍ටතේ නිපදවෙන ජානකීගේ කුළු බඩු ඇසුරුම්කරණය ඇතුළු කටයුතු සඳහා රැකියා ලබා දෙමින් ඈ‍ බොහෝ දෙදෙකුට ජීවිකාව සපයා දී තිබේ. 1999 -2006 දක්වා ගංගොඩවිල කාන්තා නිවර්තන නිවස්නෙහි කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දෙමින් ඔවුනට ඉතිරි කිරීමේ ගිණුම් ඇරැඹුවාය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව සුළු ව්‍යාපාරිකයන් සඳහා වන ‘සුරතුර’ණය යෝජනා ක්‍රමය හරහා ඔවුනට ණය ලබා ‍ගන්නට සහය වෙමින් කාන්තා සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙසද ඇය කටයුතු කළාය.

සුපුරුදු ව්‍යාපාරයෙන් ඔබ්බට යමින් 1998 දී අන්යන්ත්‍ර රෙදිපිළි ව්‍යාපාරයට අවතීර්ණ වූ ජානකී වර්තමානය වන විට දේශීය අත්යන්ත්‍ර ශිල්පිනියන් රැසකට රැකියා අවස්ථා උදා කරමින් ඔවු‍න්ගෙන් සාරි හා අත්යන්ත්‍ර රෙදිපිළි මිලදී ගනියි. වර්තමානය වන විට බොදු දහම් පාසල් හා කුතුණු දහම් පාසල් ගුරුවරියන් සඳහා නිල ඇඳුම් ලෙස අත්යන්ත්‍ර සාරි නිපදවා බෙදා හරිනු ලබන්නේ ජානකීගේDJ හෑන්ඩ්ලුම්ස් ව්‍යාපාරය මඟිනි 1999 දී ජාතික වාණිජ මණ්ඩලයට සම්බන්ධ වූ ජානකී සමස්ථ ලංකා ව්‍යාපාරික සංගම් සම්මේලනයේ ලේකම් ධුරයට පත් වූවාය. ඒ හරහා ඇය මෙන්ම ස්වෝත්සාහයෙන් නැගී සිටින ව්‍යවසායකයන් රැසකට අත හිත දෙන්නට අද ඇය සමත්ව සිටින්නීය.

ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ මිත්‍රත්ව සංවිධානයේ ළමා, වැඩිහිටි හා කාන්තා සුභ සාධක කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරන ජානකී ළමා, කාන්තා සහ වැඩිහිටි සුභසාධනය උදෙසා නිහඬව ඉටු කරන මෙහෙවර අනල්පය.ශ්‍රී ලංකා‍ව ඇතුළු ආසියා කලාපීය රටවල වැඩිහිටි ජනතාව උදෙසා ඉටුකරන ලද සමාජ මෙහෙවර උදෙසා ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි හිටපු මහ ලේකම් බෑන්කී මූන් මහතා අතින් අගැයුම් සහතිකයක් ලබා ගත්තාය.

ලංකා බැංකු සංවත්සරය, චෝගම් නිල අඳුම කොතලාවල ආරක්ෂක පීඨය , ලංකා සංචාරක මණ්ඩලය හා ලක්සල වැනි ආයතන රැසක නිල ඇඳුම් මෝස්තර හා නිෂ්පාදනය කෙරෙන්නේ DJඅත්යන්ත්‍ර රෙදි පිළි ඇසුරෙනි. ඉහළ මඩම්පැල්ල ගමෙහි වෙසෙන දිළිඳු වැඩිහිටි පෙහෙකම් ශිල්පිනියන් රැසකටත් මීරිගම කොට්ටල ප්‍රදේශයේ වැඩිහිටි ශිල්පිනියන් 48 දෙනෙකුටත් ජීවනෝපායක් සලසා දෙමින් ජානකී සිය සාරි සහ රෙදි පිළි ඔවුන් වෙතින් නිෂ්පාදනය කර ගන්නීය. එදා පුංචි ලුණු පැකට්ටුවකින් ඇරැඹුණු ඇගේ කුළු බඩු නිපැයුම්හළෙහි අද පනස් දෙනෙකුට ආසන්න පිරිසක් සේවයෙහි නියැලෙති. රෙදි පිළි කර්මාන්තය ඇතුළු ඇගේ නිපැයුම් ක්ෂේත්‍ර තුළින් ඇය විසින් 168 දෙනෙකුට රැකියා සපයා දී ඇති අතර ඉන් 90% ක් ම කාන්තාවෝය.

දිළින අමරසිංහ පුතු සහ දිළිණි අමරසිංහ දියණියට සෙනෙහෙබර මවක වන ජානකී දිරියෙන් දිවිය ජයගත් ව්‍යාපාරික කාන්තාවකි. 2017 කාන්තා ඇඟළුම් අංශයෙන් ප්‍රථාමස්ථානය දිනා ගනිමින් ශ්‍රමාභීමානී සම්මානයෙන් පිඳුම් ලද ඇය 2018 මාර්තු 08 වැනිදා ට යෙදුණු කාන්තා දිනයේදී ශ්‍රී ලංකාවේ හොඳම කාන්තා ව්‍යවසායිකාවන් විසි දෙනා අතරින් අයකු ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය මඟින් සම්මානයෙන් පුදනු ලැබු‍වාය. කොළඹ නාරාහේන්පිට DJ හෑන්ඩ්ලුම් නමින් අලංකාර අත්යන්ත්‍ර සාරි හා රෙදිපිළි ප්‍රදර්ශනාගාරයක් පවත්වාගෙන යනු ලබන ඇයගේ ඉලක්කය විදේශීය වෙළෙඳපොළ ජය ගැනීමයි. රෙදි පිළි මෝස්තර නිර්මාණය පිළිබඳ මනා පුහුණුවක් ලත් ජානකීගේ මිළඟ අභිලාශය අන්තර් ජාතික මෝස්තර දැක්ම සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කොට ජය ලබා රෙදි පිළි හා මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට ජගත් කීර්තියක් අත්පත් කර දීමයි. 

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

No comments