Breaking News

ලොව හොඳම ගුරුවරිය මෙන්න...(PHOTOS)


ලොව හොඳම ගුරුවරයා තේරීම සෑම වසරකම සිදු කෙරෙනවා.මෙවර හොඳම ගුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරියක වන අන්ද්‍රියා සෆිරෝකෝ යි.
හොඳම ගුරුවරයාට හිමි සම්මාන ප්‍රදානෝත්වයට මෙවර ද ඉතා උත්කර්ෂවත් අන්දමින් ඩුබායිහි දී පැවැත්වුණු අතර ඒ, ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටොම්ගේ ප්‍රධානත්වයෙනි.
හොඳම ගුරුවරයාට හිමි එම සම්මානයට අමතරව, අන්ද්‍රියා සෆිරෝකෝට ඇමෙරිකන් ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ද පිරිනැමුණා.
සෑම වසරකම හොඳම ගුරුවරිය තේරීම සිදුකෙරෙන්නේ වාර්කි පදනමේ අනුග්‍රහයෙනුයි.මෙය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු ආයතනයක් වන අතර මෙහි මූලස්ථානය පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරයි.
හොඳම ගුරුවරයා වෙනුවෙන් මෙවර ද ලොව නන්දෙසින් ගුරුවරුන්ගේ නම් 30,000 ක් ඉදිරිපතවී තිබු අතර එම පිරිස අතරින් අවසන් වටයට 10 දෙනකු තෝරාගෙන තිබෙනවා.
ඔවුන් අතරින් අන්ද්‍රියා සෆිරෝකෝ ජයග්‍රහණය කර ඇති අතර අන්ද්‍රියා කලා විෂය උගන්වන ගුරුවරියකි.
ඇය එක්සත් රාජධානියේ පිටිසරබද පළාත්වල පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කරන්නියකි.
ඇයට හොඳම ගුරුවරයා ලෙස සම්මානය හිමිවූයේ ඇගේ එම කැපැවීම වෙනුවෙන් යැයි ද සැලකෙනවා.
හොඳම ගුරුවරිය ලෙස අන්ද්‍රියා සෆිරෝකෝට සම්මාන ප්‍රදානය කළේ ද ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටොම්ගේ අතිනි.
බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ද විශේෂ ආරාධිත අමුත්තියක ලෙස සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වී සිටියේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

No comments