තහනම් වීමේ කලාව ඇතුළේ පිකාසෝ වෙන්න මම ලෑස්තියි - මදුමාධව අරවින්ද (PHOTOS) | Reporter තහනම් වීමේ කලාව ඇතුළේ පිකාසෝ වෙන්න මම ලෑස්තියි - මදුමාධව අරවින්ද (PHOTOS) - Reporter

Hot News

තහනම් වීමේ කලාව ඇතුළේ පිකාසෝ වෙන්න මම ලෑස්තියි - මදුමාධව අරවින්ද (PHOTOS)

ෆේස්බුක් එකේ වැඩ පෙන්නපු, කවි ලියපු, මධුමාධවට මොකද වුණේ?
ෆේස්බුක් එක තනිකමට මට හිටපු හොඳ යාළුවෙක්. කවුරු හරි කියනවා නම් ෆේස්බුක් එක රස්තියාදුවක් කියලා මම එහි රස්තියාදුකාරයෙක්. කවුරු හරි කියනවා නම් ඒක කවියක් කියලා මම එහි කවියක්. කවි සිතිවිලි ලියා ගන්න තැනක් නැතුව ඉන්න කොට ඒවා ලියා ගන්න ෆේස්බුක් එක අපිට පණක් දුන්නා. අපිට දැනෙන හොඳ නරක කියන්න තිබ්බ තැන ඒක. පසුගිය කාලේ ලංකාවටම ෆේස්බුක් අහිමි වූ කාලේ මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා ලංකාවටම ෆේස්බුක් නෑ. නමුත් ආයෙත් ෆේස්බුක් ලබා දුන්නත් ඒ එනකොට මධුමාධව අරවින්ද ෆේස්බුක් එකේ නෑ කියලා. ඒ කිව්වා වගේම මගේ නමින් තිබ්බ ෆේස්බුක් ගිණුම තිබ්බේ නෑ. එය මට අහිමි කරලා තිබ්බා.
ඔබගේ ෆේස්බුක් ගිණුමට මේ වගේ ඉරණමක් අත්වෙයි කියලා කලින්ම දැනගෙන ඉඳලා වගේ?
ඔව්. මම ජාතිවාදි ප්‍රකාශ කරන කෙනෙක් කියලා දිගින් දිගටම මගේ ෆේස්බුක් ගිණුම රිපෝට් කරන තත්ත්වයක් තිබ්බා. මම සිංහලයෙක් කියලා කිව්වාම කාටහරි රිදෙනවා නම්, ඒක මම මැරෙනකල් කියනවා. ඒක ඇතුළේ මම වරදක් දකින්නේ නෑ. සමහරුන්ට මාව නිර්වචනය වුණේ ජාතිවාදියෙක් විධියට. මහනුවර සිද්ධියේදී වුණත් කිසිම ප්‍රකාශයක් නොකරපු මගේ ෆේස්බුක් පිටුව ඒ සිද්ධියට මුවා වෙලා විනාශ කර දැම්මේ කොහොමද කියලා මටත් තවම තේරෙන්නේ නෑ.
ඒ කියන්නේ ජාතිවාදී ප්‍රකාශ කරනවා කියන චෝදනාවටද ඔබේ ගිණුම තහනම් වුණේ?
ජාතිවාදී ප්‍රශ්නයට මගේ ගිණුම තහනම් කළා කියලා කිව්වට මම එහෙම දෙයක් කරලා නෑ. රජයට විරුද්ධ පාර්ශ්ව ප්‍රකාශ කරන දේවල් වහන්න, ආණ්ඩුව ඉදිරියේදී පත්කරන නිලධාරීන් සිංහල අකුරු කොයි විධියට පරිවර්තනය කරයිද කියලා අපි දන්නේ නෑ. ඒකේ පළමුවැනි ගොදුර විධියට මම පළමුවැනියෙන්ම වෙඩි කෑවා. සතුටු වෙන අය සතුටු වෙන්න. මගේ ෆේස්බුක් ගිණුම තහනම් වුණාට යම් කෙනෙක් සතුටු වෙනවා නම් මට කියන්න තියෙන්නේ මේක මට විතරක් වුණු දෙයක් නොවෙයි. මේක ආණ්ඩුව දඹුලු යන ගමන් තලගොයි මරනවා වගේ කළ වැඩක්.
දැන් මධුමාධවගේ ෆේස්බුක් සම්බන්ධය මුල ඉඳන් පටන් ගන්න නේද යන්නේ?
ඔව්. මම මුල ඉඳන් ජීවිතයේ බොහෝ දේවල් පටන් ගත්ත කෙනෙක්. ඒ නිසා මගේ ෆේස්බුක් ගිණුම තහනම් කළ එක ගැන මට දුකක් නෑ. මට සතුටක් ආවා. මම අලුත් ආරම්භයක් කළා. අලුත් ෆේස්බුක් ගිණුමක් පටන් ගත්තා 
හැබැයි සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ එක්ක එකතු වෙලා හිටපු විශාල කණ්ඩායම ආයෙත් ඔබට එක්කාසු කර ගැනීම අපහසු වෙයි නේද?
ඔව්. එය ගොඩක් වෙහෙස කර වෙයි. මගේ මුල් ගිණුමේ මිතුරන් බොහෝ දෙනෙක් හිටියා. මම ෆේස්බුක් එකෙන් ආධාර එකතු කරලා නෑ. ගෙවල් හදලා නෑ. හැබැයි මේ රටේ ගෞරවනීය කලාකරුවන් වෙනුවෙන් ලක්‍ෂ ගණන් මම ෆේස්බුක් එක හරහා හොයලා දුන්නා. මායිම් ගම්මානවල ඉන්න දරුවන්ට පොත්පත් ලබාදෙන වැඩපිළිවෙළක් කළා. ෆේස්බුක් මිත්‍රයන් සමඟ එකතු වෙලා මම කරගෙන ආපු වැඩපිළිවෙළ එක්ක මාත් එක්ක රත්තරන් මිනිස්සු ටිකක් එකතු වෙලා හිටියා. ඒ පිරිස දැන් මට නෑ. අභියෝගයක් ලෙස මම ආයෙත් ඔවුන්ව හොයා ගන්නවා.
දැන් මධුමාධව සමාජ මාධ්‍යවලින් කියන දේවල් ගැන පරිස්සම් වෙයිද?
පුංචි කාලේ වුණත් වරදක් කළොත් ඒක නැවතත් කරන කෙනෙක් මම. කිසියම් කෙනෙක් හිතනවා නම් මම කරගෙන ආපූ දේවල්වල සැර බාල කරයි කියලා එහෙම වෙන්නේ නෑ. දිගින් දිගටම තහනම් වෙන්න බලාගෙන මම නවත්තපු තැනින් ගමන පටන් ගන්නවා.
ඔය කියන්නේ කොච්චර තහනම් වැටුණත් ඔබේ අලුත් ආරම්භය ඇතුළේ වුණත් ඔබේ අදහස්වලට ඔබම වාරණ දාගන්නේ නෑ කියලාද?
එහෙම වෙන්න බෑ කියන තැනක මම ඉන්නේ. යම්කිසි කෙනෙක් හිතනවා නම් මම කියපු දේවල් නිසායි තහනම් වුණේ කියලා ඒ තහනම් වීමේ කලාව ඇතුළේ පිකාසෝ වෙන්න මම ලෑස්තියි.
මධුමාධව කලා කටයුතුවලට ආයෙත් වැඩි බරක් දීලා කියලත් ආරංචියි?
මට මේ දුන්න දඬුවමට ප්‍රති උත්තර හැටියට තව මාස දෙකකින් පොත් දෙකක් එළියට ගේනවා. අවුරුදු ගාණකට පස්සේ උත්තේජනයක් ඇවිත් මම ආයෙත් සින්දු කියන්නත් පටන් ගත්තා. ඉදිරියේදී මම කලාව වෙනුවෙන් ලොකු වැඩකොටසක් කරයි. තළන්න තළන්න මම හයිය වෙනවා. තළන්න තළන්න මම මොකක් හරි අලුත් දෙයක් කරනවා. මගේ ගිණුම රිපෝට් කරලා අභූත චෝදනා නඟපු අය තව මාව තළන්න. එතකොට තව තෑගි තියෙනවා.
ප්‍රසංගයක් කරන්නත් ලෑස්ති වෙනවාලු නේද?
ලබන අවුරුද්දට මධුමාධව අරවින්ද කියන කෙනාව නිර්මාණය කරලා වසර තිහයි. මාව කොනිත්තපු නිසා අවුරුදු තිහ වෙනකල් නොඉඳ "තිහට පෙර මම" නමින් ප්‍රසංගයක් කරන්න සූදානම් කරගෙන ඉන්නේ.
ඔබේ ෆේස්බුක් ගිණුම තහනම් කිරීම නිසා එක පැත්තකින් හොඳක් නේද සිද්ධ වෙලා තිබෙන්නේ?
ඔව්. ඒක ඇත්තටම හොඳ දෙයක්. මට වෙඩි තියන්න වෙඩි තියන්න මම මේ නගරෙට තව තව තෑගි දෙනවා.

mawbima

No comments