| Reporter - Reporter

Breaking News

89 - 90 රටක්‌ හැඬවූ ඇඹිලිපිටියේ සිසු ඝාතන..
iශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ සහ නිරිතදිග තැනිතලාවේ උස්‌ භූමියක්‌ ලෙසට පිහිටි සබරගමුව රක්‌වාන කඳුවැටිය ආශ්‍රිතව රත්නපුර දිස්‌ත්‍රික්‌කය පිහිටා ඇත. වර්ග කිලෝමීටර් 3,239ක භූමිභාගයක පැතිර ඇති රත්නපුර දිස්‌ත්‍රික්‌කය දකුණින් ගාල්ල, මාතර හම්බන්තොටින්ද උතුරින් කෑගල්ල, නුවරඑළිය දිස්‌ත්‍රික්‌ක වලින්ද නැගෙනහිරින් බදුල්ල මොණරාගල දිස්‌ත්‍රික්‌කවලින් සීමාවී ඇත.


 රත්නපුර දිස්‌ත්‍රික්‌කය ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප 4කට අයත් අතර එය ශ්‍රීපාදය ආශ්‍රිත ප්‍රදේශය කඳුකර තෙත් කලාපය ලෙසද කල්තොටට ඉහළින් වූ කඳුරට සහ රක්‌වාන වැටියෙන් නැගෙනහිර පෙදෙස කඳුකර වියළි කලාපය ලෙසද ඇහැලියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත ඇතුළත් ප්‍රදේශය පහත රට තෙත් කලාපය ලෙසද කොලොන්න කෝරළයට අයත් විශාල ප්‍රදේශය පහත රට වියලි කලාපය ලෙසද හැඳින්වේ. ජවිපෙ 2 වැනි කැරලි සමයේදී රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කොලොන්න ආසනය ජවිපෙ මූල කඳවුරක්‌ බවට පත්වී තිබිණි. ජවිපෙ යුද පුහුණු කඳවුරුද රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සමනල කන්දේ සහ බුළුතොට හෙල්වැටිය පාමුල අසල පැවැති අතර අධ්‍යාපන කඳවුරු විශාල සංඛ්‍යාවක්‌ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සෑම ආසනයකම වාගේ පැවතිණි.

 කොලොන්න ආසනය මායිමේ තංගල්ල, තිස්‌සමහාරාමය, දෙනියාය, ඇතුළු ආසන කිහිපයක්‌ පිහිටා තිබූ බැවින් කොලොන්න ආසනයේ ජවිපෙ ක්‍රියාකාරී කටයුතු 1986 සිට 1989 දක්‌වාද ඉහළ මට්‌ටමක්‌ ගෙන තිබිණි. සූරියකන්ද පිහිටා ඇත්තේ ඇඹිලිපිටියේ සිට කිලෝමීටර් 50ක්‌ පමණ දුරිනි. කොලොන්න ආසනයට ඇඹිලිපිටිය සහ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ අයත්ය. ලන්දේසි යුගයේදී කටුවන ලන්දේසි බලකොටුව පිහිටා තිබුණේ මුහුදුකරය සහ කන්ද අතර මායිමක්‌ ලෙසිනි. රජකාලයේදී එම ප්‍රදේශ ආශ්‍රිතව සටන් මධ්‍යස්‌ථාන ද පැවතිණි. හැටේ දශකය අවසාන භාගයේදී නව ජනපදිකයන් වශයෙන් ඇඹිලිපිටියේ පදිංචියට පැමිණි බොහෝ දෙනෙකුගේ නිජබිම වූයේ දකුණු පළාතය.

 ජවිපෙ 2 වැනි කැරලි සමයේදී කොලොන්න ආසනයේ ඇඹිලිපිටිය, සූරියකන්ද, උඩවලව, කුට්‌ටිගල, ගොඩකවෙල ඇතුළු වලව නිම්නය තුළ කැරැල්ලේ ක්‍රියාකාරකම් ඉහළම වර්ධනයක්‌ පෙන්නුම් කරනු ලැබීය. කොලොන්න ප්‍රදේශයේ දේශපාලන ප්‍රබලයා වූයේ එජාප ආණ්‌ඩුවේ සංවිධායකවරයා සහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් 1989 පෙබරවාරි මස මහ මැතිවරණයෙන් පසු ක්‍රීඩා ඇමැති වශයෙන් පත්කල නන්ද මැතිව්ය. ඔහු කැලණියේ එජාපයේ හිටපු මන්ත්‍රී සිරිල් මැතිව්ගේ පුත්‍රයෙකි.

 ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය පාසල්වලද දෙවැනි කැරලි සමය වනවිට ජනප්‍රිය වෙමින් පැවති අතර රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සීවලි මහා විද්‍යාලය, ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය, පැල්මඩුල්ල ගන්කන්ද මහා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක සාමාජිකයන් ද සුමන සහ ෆර්ගියුසන් උසස්‌ බාලිකා විද්‍යාලයන්හි සාමාජිකාවන් කිහිප දෙනෙක්‌ද එයට ක්‍රියාකාරීව එක්‌වී සිටියහ. මිශ්‍ර පාසල් අතර රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අධ්‍යාපන මට්‌ටමින් ඉහළම ස්‌ථානයක්‌ දිනාගෙන සිටියේ සීවලී සහ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය විසිනි.

 කැරලිකරුවන් විසින් නිල නොවන මට්‌ටමෙන් 1988 මැද භාගය වනවිට කොලොන්න ආසනය ඇතුළු ඒ අවට ප්‍රදේශ සිය අණසකට යටත් කරගෙන සිටියහ. ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තබන ලදී. තුංකමදී හමුදා රථයකට බිම් බෝම්බයක්‌ අටවා පිපිරවීමෙන් හමුදා සෙබළුන් 8 දෙනකු මරුමුවට පත්විය. මහගම හත්පෝරුව පොළ දිනයේදී තවත් බිම් බෝම්බයක්‌ පිපිරවීමෙන් හමුදා රථයක සිටි 6 දෙනෙක්‌ මරුමුවට පත්විය. දෙවැනි කැරැල්ලේ ආරම්භක සමයේදී තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 ජුලි 31 වැනිදා වෙඩි තබා ඝාතනය කරන ලද්දේද ඇඹිලිපිටිය කුට්‌ටිගල පාලම අසලදීය.

 රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සහ විශේෂයෙන් කොලොන්න ආසනයේ අරාජික තත්ත්වයට විසඳුමක්‌ ලබාගැනීම සඳහා එජාප මන්ත්‍රී නන්ද මැතිව්ගේ ඉල්ලීමක්‌ අනුව ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන විසින් 1988 ඔක්‌තෝබර් 4 වැනිදා කොළඹ 7 වෝඩ් පෙදෙසේ අංක 66 පිහිටි සිය පෞද්ගලික නිවසේදී සාකච්ඡාවක්‌ කැඳවා තිබිණි. එයට එජාප මන්ත්‍රී නන්ද මැතිව්, රත්නපුර දිසාපති පී. හතුරුසිංහ, රත්නපුර පොලිස්‌ අධිකාරි සිරිසේන හේරත්, ආරක්‌ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් සේපාල ආටිගල, පොලිස්‌පති සිරිල් හේරත් ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ. ඒ අනුව රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ජවිපෙ භීෂණය මර්දනය කිරීමේ වගකීම් දිස්‌ත්‍රික්‌ හමුදා සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් ලක්‌ෂ්මන් අල්ගම වෙත මුළුමනින් පවරන ලදී. හමුදා අනුඛණ්‌ඩයන් කොලොන්න රෝහලට යාබදවද, සූරියකන්ද කුළුණු පිහිටි ප්‍රදේශයේද, ඇඹිලිපිටිය කොතලාවල හන්දියේ ගංගා නිම්න සංවර්ධන මණ්‌ඩලයේ පැරණි කාර්යාලයේද, 1984 ඇඹිලිපිටියේ ගම්උදාව පැවති භූමියේ පිහිටි කාර්යාල සංකීර්ණයේදී සෙවණ කඳවුර ලෙසින්ද ස්‌ථාපිත විය. කොලොන්න ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ වගකීම කලවාන පොලිස්‌ ස්‌ථානාධිපති වන උප පොලිස්‌ පරීක්‌ෂක ප්‍රියන්ත ජයකොඩිට පවරමින් ඔහුට කොලොන්න පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙසින් ස්‌ථාන මාරුවක්‌ ලබා දුන්නේය.

 ambili1කොලොන්න ආසනය හැටේ දශකය දක්‌වා එජාප බලකොටුවක්‌ වුවද පසුව එය වාමාංශික දේශපාලනයේ සරුබිමක්‌ විය. සමසමාජයේ පී.ඕ. විමලනාග සමගි පෙරමුණ යටතේ තරග කර 1970දී කොලොන්න මන්ත්‍රීවරයා විය. නන්ද මැතිව් එහි මන්ත්‍රීවරයා වූයේ 1977දීය. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ එකම විපක්‌ෂ මන්ත්‍රීවරයා වූයේ 1981 ජනවාරි 12 අතුරු මැතිවරණයෙන් කලවානට පත්වූ සරත් මුත්තෙට්‌ටුගමය. වසර 1989 පෙබරවාරි මස මහ මැතිවරණයෙන් රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රිලනිප මන්ත්‍රීන් ලෙස පත්ව සිටියේ රත්නපුරයේ නන්ද එල්ලාවල, නිවිතිගල ජෝන් සෙනවිරත්න, රක්‌වානේ හීන්මහත්තයා ලියනගේය. දුෂ්කර කඳු බෑවුම්, රක්‌ෂිත වනයන් වලින් සමන්විත වූ කොලොන්නේ භූගෝලීය පිහිටීමේ වාසිය ඔස්‌සේ ජවිපෙ 2 වැනි කැරැල්ලේ කැරලිකරුවෝ ග්‍රාමීය ගරිල්ලා සටන් කලාව අත්හදා බලමින් සිටියහ. ආණ්‌ඩුවට එරෙහි ග්‍රාමීය ජනතාවගේ සහාය ද කැරලිකරුවන් වෙත ලැබිණි.

 ජවිපෙ 2 වැනි කැරැල්ල අවසාන වන විට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවූ මුළු පාසල් සිසුන්ගේ සංඛ්‍යාව 2,327කි. වසර 1989 දෙසැම්බර් 1 වැනිදා වන විට ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසල් 13කින් පැහැරගත් සිසු පිරිස පමණක්‌ 53ක්‌ විය. ඉන් 48 දෙනෙකු කුරිරු වධ බන්ධනවලින් පසු ජීවිතක්‌ෂයට පත්විය. එම මියගිය ඇඹිලිපිටිය සිසු 48 දෙනා අතරින් මහත් ආන්දෝලනයට තුඩු දුන්නේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් වශයෙන් සිටියදී පැහැරගෙන ගොස්‌ අතුරුදන්වූ සිසුන් 32ගේ ඝාතනයන්ය. පාසල් සිසුන් ඝාතනය කිරීමට පෙර බොහෝ දෙනෙකු තිරශ්චීන වධ බන්ධනවලට ලක්‌විය. එම අවධියේ ඇඹිලිපිටිය හමුදා කඳවුරට අණ දෙන නිලධාරියා වූයේ බ්‍රිගේඩියර් ලක්‌ෂ්මන් අල්ගමය. කඳවුරේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ පරාක්‍රම ලියනගේය. කඳවුර භාර නිලධාරියා වූයේ කපිතාන් ජාලිය ඈපාය.

 මෙසේ 1989 නොවැම්බර් 11වැනිදා සහ ඒ ආසන්නයේ දිනයන්හි පැහැරගෙන ගොස්‌ 1990 ජනවාරි 24වැනිදා රාත්‍රියේදී සමූහයක්‌ වශයෙන් ඝාතනයට ලක්‌වූ ඇඹිලිපිටියේ පාසලේ සිසුන් 32 වූයේ පී.එල් අරුණ ප්‍රියසමන්, පී.එල්. වසන්ත ප්‍රියසමන්ත, ප්‍රදීප් ඉන්දික මල්වත්ත (වයස 17 -පැහැරගත්තේ 1989.11.20), ඩී.ඩී. රසික කුමාර විඡේතුංග (වයස 17 -පැහැරගත්තේ 1989.11.06), නලීන් කුමාර විඡේතුංග (වයස 19 -පැහැරගත්තේ 1989.12.26), චාමර සුදර්ශන ජයසේන (වයස 17 -පැහැරගත්තේ 1989.11.11), වයි.වී.ඒ. සුසිල් කුමාර(වයස 17 -පැහැරගත්තේ 1989.11.11), වයි.වී.ඒ. සුසන්ත (වයස 19 -පැහැරගත්තේ 1989.12.18), ජී. ඩබ්ලිව්. රුවන් රන්නවීර( වයස 17 -පැහැරගත්තේ 1989.11.16), කේ.පී. ප්‍රභාත් කුමාර(වයස 17 -පැහැරගත්තේ 1989.11.17), එස්‌. එච්. නිලාන් මනෙල්ක ද සිල්වා (වයස 17 -පැහැරගත්තේ 1989.12.01), එච්. යූ චමින්ද රොෂාන්, ආර්.අයි. රුක්‌මන් පරණවිතාන (වයස 17 -පැහැරගත්තේ 1989.12.01), ඒ.ඡේ. ගුණසිරි, උදේශ් කවීන්ද්‍ර සෙල්ලහේවා (වයස 17 -පැහැරගත්තේ 1989.11.30), එස්‌.පී ප්‍රසන්න හඳුවල (වයස 19 -පැහැරගත්තේ 1989.12.17), ඩබ්ලිව් කේ. මහින්දපාල වික්‍රමසිංහ (වයස 19 -පැහැරගත්තේ 1990.01.04), එච්.පී.බී පාලිත (වයස 19 -පැහැරගත්තේ 1990.01.04), කේ.කේ.ඩී ඇලොසියස්‌ ස්‌ටීවන්, ජී. ඒ. රෝහණ, කේ.පී අනුර ජනප්‍රිය, ආර්.එච්.ඩී. නිහාල්( වයස 17 -පැහැරගත්තේ 1989.11.26), පාලිත ලක්‌ෂ්මන් ගුරුගේ (වයස 19 -පැහැරගත්තේ 1989.12.17), බී.එච්. නිමල් සිසිරකුමාර, සරත් චමින්ද විඡේකෝන් පෙරේරා, ධම්මික කුමාර බෙරගමආරච්චි (වයස 17 -පැහැරගත්තේ 1989.11.17), එච්.එච් ප්‍රදීප් විඡේසිංහ (වයස 18 -පැහැරගත්තේ 1989.11.17), කේ. පියසිරි (වයස 18 -පැහැරගත්තේ 1990.01.10), එච්.කේ. ඇල්ෆඩ් පාලිත (වයස 17 -පැහැරගත්තේ 1989.08.03), එස්‌.බී. සනත් ප්‍රියන්ත(වයස 17 -පැහැරගත්තේ 1989.08.03), ජයසිරි හෙට්‌ටිගම (වයස 17 -පැහැරගත්තේ 1989.10.21), අජිත් සෝමරත්න (වයස 18 -පැහැරගත්තේ 1989.12.20), වේ.

 ඇඹිලිපිටිය පාසලේ අතුරුදන්වූ සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් දෙමාපිය සංගමයක්‌ ස්‌ථාපිත විය. ඇඹිලිපිටියෙන් අතුරුදන් කළ පාසල් සිසුන්ගේ දෙමවුපිය සංවිධානය නමින් එය ආරම්භ වූයේ ඇඹිලිපිටියේ බෝධිරාජාරාමයේදීය. එහි ලේකම් වූයේ එස්‌. එච්. චන්ද්‍රපාල ද සිල්වාය. එමගින් අඛණ්‌ඩ උද්ඝෝෂණයක්‌ ගෙනගිය අතර ඒ පිළිබදව 1992 පරික්‌ෂණයක්‌ නාමිකව ආරම්භ කිරීමටද එජාප ආණ්‌ඩුවට සිදුවිය. එහෙත් එය ආන්දෝලනයකට ලක්‌වුයේ 1994 ජනවාරි 4 වැනිදා සූරියකන්දේ සමූහ මිනී වලකින් කිහිප දෙනෙකුගේ අක්‌ෂි කොටස්‌ හමුවීමත් සමඟය. මෙම ස්‌ථානයේ සිරුරු 300ක පමණ ප්‍රමාණයක්‌ වළදමා ඇතැයි කියවිණි. ශ්‍රී ලංකාවේ මෙවැනි සමූහ මිනීවළවල් මාතලේ, අංකුඹුර, නිකවැරටිය, වේයන්ගොඩ, හෝමාගම, චෙම්මනි, මිරුසුවිල්, දුරෙයිඅප්පා ක්‍රීඩාංගනය ඇතුළු ස්‌ථානයන් කිහිපයකම හමුවිය.

 ambili2එවකට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වූයේ දයානන්ද ලොකුගලප්පත්තිය. ඔහු උප ගුරුවරයෙකු වශයෙන් 1977දී තුන්කම මහා විද්‍යාලයෙන් රැකියාව ආරම්භ කළේය. රත්නපුර බටුහේන මහ විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කළ ඔහු 1977 එජාප රජය බලයට පත්වීමත් සමඟම දේශපාලන පලිගැනීම්වලට ලක්‌වූයේ එවකට ඔහු කුරුවිට ශ්‍රිලනිප බල මණ්‌ඩලයේ ලේකම්වූ බැවිනි. පසුව චන්ද්‍රිකාවැව ජයන්ති විදුහලේ විදුහල්පති ලෙසට මාරු කරන ලදී. ශ්‍රිලනිප කණ්‌ඩායම් දෙකකට කැඩී සිරිමා සහ මෛත්‍රී ලෙස වෙන්ව ගොස්‌ පසුව මෛත්‍රිපාල සේනානායක එජාපයට එක්‌විය. ඒ සමඟම දයානන්ද ලොකුගලප්පත්තිද එජාපයට එක්‌විය.

 පසුව රත්නපුර ශ්‍රී පලාබද්දල විදුහලේ විදුහල්පතිවරයා ලෙස ලොකුගලප්පත්ති පත්විය. වසර 1983 ක්‍රියාවට නැඟුණු අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා පිහිටවූ ප්‍රථම පර්ෂද පාසල වූයේ පලාබද්දල විදුහලය. එහි උසස්‌ පෙළ ඉහළ ප්‍රතිඵල ලබාදෙමින් නේවාසිකාගාරයක්‌ පිහිටුවීමටද ඔහු සමත් විය. දෙමාපිය විරෝධයක්‌ මත පලාබද්දල විදුහලින් ඔහු මාරු කෙරිණි. පසුව ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් ලොකුගලප්පත්ති පත්වුයේ ජවිපෙ 2 වැනි කැරලි සමයේදීය. එය ඇඹිලිපිටියේ ප්‍රධානම පර්ෂද විදුහල විය. විදුහල්පති ගලප්පත්තිගේ පුත්‍රයාද මෙම පාසලේම ඉගෙනුම ලැබීය. විදුහල්පති ගලප්පත්ති පෞද්ගලික අයිතියට ඇති රිවෝල්වරයක්‌ ඉනේ ගසාගෙන ග්‍රෙනේඩ් බෝම්බයක්‌ද අතැතිව පාසලේ අණසක පතුරුවාගෙන සිටි බවට චෝදනා එල්ල විය.

 සිසුන් අතුරුදන් වීමට සෘජුවම හේතු තුනක්‌ බලපෑවේය. එක්‌ හේතුවක්‌ වූයේ පාසල් භූමියේ තැනක ඉන්ධන පිරවුම්හලක්‌ ඉදිකිරීමට තෙල් ටැංකි පවා ගෙනැවිත් වළදමා පිඹුරුපත් සැකසී තිබිණි. දෙවැන්න විදුහල්පතිගේ පුත් 12වැනි ශ්‍රේණියේ චමින්ද එම පාසැලේම ශිෂ්‍යාවක්‌ වූ 11වැනි ශේ්‍රණියේ ඒ පන්තියේ පවිත්‍රා රන්මලීගෙන් ආදරය වරින් වර ඉල්ලා සිටියද එය නොලැබීමෙන් පසු ඔහු විසින් ලියන ලද පෙම්පතක්‌ සිසුන් අතර හුවමාරු වීමය. තෙවැන්න විදුහල්පතිට සිසුන් පිරිසක්‌ විසින් සංවිධානාත්මකව කිහිප වරක්‌ හූ තැබීමය. චමින්දගේ පෙම් පුවත හේතුවෙන් පන්තිය ඇතුලේ කණ්‌ඩායම් දෙකක්‌ බිහිවිය. පවිත්‍රා, ශිරෝමි, තුෂානි අප්සරා එක කණ්‌ඩායමක විය. තුෂානිගේ නිවුන් සොහොයුරා වූ චාමර සුදර්ශන ජයසේනද අතුරුදන් වූ සිසුන් 32 අතර විය. පවිත්‍රාගේ සොහොයුරා නදේශ්ය. මාමා වන මහේෂ් දනන්සූරිය පළාත් සභා මන්ත්‍රීවරයෙකි. චමින්ද විසින් පවිත්‍රාට දුන් එක්‌ පෙම් ලිපියක්‌ රසික කුමාර විඡේතුංග සිසුවා අතට පත්විය. මෙය විදුහල පුරා ඉමහත් කලබැගෑනියක්‌ ඇති කිරීමට සමත් විය.

 මේ අතර උඩවලව විදුහල සහ උඩගම විදුහල අතර 1989 නොවැම්බර් 17 පැවති ක්‍රිකට්‌ තරගයේදී ඇතිවූ සිද්ධියක්‌ද විය. එහිදී උඩගම විදුහලේ නිහාල් සහ ගලප්පත්තිගේ පුත් චමින්දගේ යහළුවෙකු වන ජානක අතර කෝන්තරයක්‌ හට ගත්තේය. ටයර් මාලයකින් විනාශ කර දමන බවට ජානක නිහාල්ට තර්ජනය කළේය. ක්‍රිකට්‌ තරගය පැවති දිනයේදීම ක්‍රිකට්‌ තරගයෙන් ජයගත් උඩගම විදුහලේ සිසුන් 3ක්‌ අත්අඩංගුවට ගත්තේය. ඔවුන්නම් ලයනල්ගේ පුත් කේ. පී. ප්‍රභාත් කුමාර, ධම්මික කුමාර බෙරගම ආරච්චිගේ සහ එච්. එම් ප්‍රදීප් විඡේසිංහය. ප්‍රභාත්ගේ පියා වන ලයනල් ද අත්අඩංගුවට ගත් නමුත් නිදහස්‌ විය.

 පාසල ආසන්නයේම සෙවණ හමුදා කඳවුර පැවති අතර හමුදා භටයන්ට පාසල් භූමිය ආගන්තුක ස්‌ථානයක්‌ නොවූහ. ඇඹිලිපිටිය කඳවුරේ කර්නල් පරාක්‍රම ලියනගේ සමඟ විදුහල්පති දැඩි සමීපතාවක්‌ ගොඩනඟා ගත්තේය. සිසුන් වෙනුවෙන් පෙනීසිටීමේ වරදට ඇඹිලිපිටිය විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක 1989 නොවැම්බර් 20 වැනිදා රාත්‍රි 1.30ට පැහැරගෙන ගොස්‌ ඝාතනය කරන ලදී.

 පැහැරගෙන ගොස්‌ රඳවා තබාගනු ලැබූ ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලේ සිසුන් 32 සමඟ ඇඹිලිපිටියේ තවත් පාසල් සිසුන් 16 දෙනා වෙඩිතබා ඝාතනය කර ටයර් දමා පුළුස්‌සා දමා තිබුණේ උඩවලවේ වනෝද්‍යානයේ තණමල්විල මහාමාර්ගය දෙපසද, කරවිලයායට යන කාරමඩිත්තිය පාරේද සහ පනාමුර පාරේදීය. ඒ 1990 ජනවාරි 24 වැනිදා රාත්‍රියේදීය. ඇලුමිනියම් තහඩු ගසන ලද ලොරියකින් අත්පා බඳින ලද සිසුන් බිමට බස්‌සවා ඔවුන් විලාප දෙද්දී මෙම වෙඩි තැබීම් කර තිබුණ බව අසල මුර මඩුවක අයෙක්‌ පසුව කියා තිබිණි. සෙවණ කඳවුරෙන් එහි සිටි අනුඛණ්‌ඩයය නික්‌ම ගියේ ඉන් දින කිහිපයකට පසුවය.



 සූරියකන්දේ මෙම මළසිරුරු වළලා ඇතැයි සූරියකන්දේ ටෙලිකොම් කුළුණු ස්‌ථාපිත කිරීමේ නිරතව සිටි ඉංජිනේරුවෙකු විසින් මේ බව ප්‍රථමයෙන් මාධ්‍යවේදියෙකුට අනාවරණය කළේය.
Y

No comments