නව බදු සංශෝධනය ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් සැකයක්.... | Reporter නව බදු සංශෝධනය ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් සැකයක්.... - Reporter

Hot News

නව බදු සංශෝධනය ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටත් සැකයක්....



නව දේශීය ආදායම් බදු සංශෝධනය හරහා රජය අපේක්ෂා කරන අරමුණු ඉටුකර ගැනීමේදී ගැටළු ඇති විය හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය කොමසාරිස් පී. ඩබ්ලිව්.ජේ. රාජපක්ෂ නෙත් නිවුස් වෙත කියා සිටියේ සෘජු බදු වැඩිකර වක්‍ර බදු අඩු කිරීමට අපේක්ෂා කළද පනතේ වෙනස්කම්වලින් එය ඉටුවේදැයි සැක සහිත බවයි.

මීට පෙර වක්‍ර බදුවලින් සියයට 80ක ආදායමක් ලැබුණු අතර ඍජු බදුවලින් ලැබුනේ සියයට 16ත් 17ත් අතර ප්‍රමාණයක්. නව බදු සංශෝධන හරහා මීට පෙර මහා පරිමාණ ව්‍යාපාර සදහා විශාල වශයෙන් බදු සහන ලබා දී තිබුණා. මෙවර එය ඉවත්කර තිඛෙනවා. එමගින් මහා පරිමාණ ව්‍යාපාරවලින් විශාල බදු ආදායමක් ලැඛෙනු ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.

එහෙත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් අය කරගත් බදු තුලනාත්මක භාවයකින් තොරව ඉවත් කිරීම ගැටලූවක් වනු ඇති බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා නෙත් නිවුස් වෙත පැවසුවා.

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් වලට මෙන්ම ඒවා තැන්පත් කිරීමෙන් ලැඛෙන පොලියට මීට පෙර බදු අයකෙරුණේ නැහැ. විදෙස්ගත ශ්‍රමිකයින් උපයාගන්නා මුදල් යොදවා ආරම්භ කරන ව්‍යාපාරවල ආදායම වසර 5ක් යන තුරු බදු වලින් නිදහස් කර තිබුණා.

එහෙත් මෙවැනි දිරි ගන්වන සුළු තීරණ නව සංශෝධනය හරහා ඉවත් කර ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. මේ හේතුවෙන් විශාල ආදායමක් අහිමිවනු ඇති බවටද මෙහිදී සැක පළ කෙරුණා. රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට නම් රටතුළට ඩොලර් පැමිණිය යුතු වනවා.

නව පනත හේතුවෙන් විදෙස්ගත ශ්‍රමිකයින් සිය මුදල් මෙරටට එවීමට යම් මැලිකමක් දක්වනු ඇති බවයි නියෝජ්‍ය කොමසාරිස්වරයා පැවසුවේ. රුපියල අවප්‍රමාණය වී ඇති පසුබිමක ගත් මෙම තීරණය රටට අවාසි බවද, ඒ පිළිබද දේශපාලන අධිකාරිය දැනුවත් කළ බවද අවධාරණය කෙරුණා. මෙවැනි තීරණ හරහා ජනතාව මෙන්ම ආණ්ඩුවද අපහසුතාවයට පත්වන බවයි දේශීය ආදාම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් පී. ඩබ්ලිව්. ජේ. රාජපක්ෂ කියා සිටියේ.

කෙසේ වෙතත් නව පනත තුළ අයහපත් දේ මෙන්ම යහපත් දේද අන්තර් ගත බවයි වැඩිදුරටත් ඔහු කියා සිටියේ.

No comments