Breaking News

රජපවුලේ කළු කෙල්ල....






බ්‍රිතාන්‍ය රජපවුල ගැන උනන්දුවක් ඇති ලොව පුරා ලක්ෂ සංඛ්‍යාව ජනතාව දැන් බලා සිටින්නේ මීළඟ සියවසේ විවාහය බවට පත්වනු ඇතැයි අනාවැකි පිට අනාවැකි පළවෙන හැරී කුමරුගේ සහ අමෙරිකානු ගැහැනිය මීගන් මර්කල්ගේ විවාහය එළැඹෙනතුරුය. මේ විවාහයේ දවස් අවරෝහණය වීම (countdown) ආරම්භවූයේ මාස කිහිපයකට පෙරය.

රාජකීය අරක්කැමියෝ මේ රාජකීය විවාහයේ කේක් ගෙඩිය හැඩවිය යුතු මෝස්තරය, එහි රසය දැන් අත්හදා බලමින් සිටිති. විවාහයට ආරාධනා ලැබීමට නියමිත ප්‍රභූවරුන් දැන් දැන් නව යුවළට පිරිනැමීමට තෝරාගත යුතු තෑගි සොයමින් සිටිති.
අමෙරිකාවත්, බ්‍රිතාන්‍යයත් එකට යාකරන මේ අපූරු රාජකීය විවාහයට මං විවරවූ අසිරිමත් සිදුවීම්පෙළ අනාවරණය වන්නේ මේ අතරතුරදීය. එය හෙළිදරවු කරන්නේ ජීනා නෙල්ත්රෝප්ය. ඇය මීගන් මර්කල්ගේ හිටපු ඒජන්තවරියයි.
‘මම අද රෑ කෙනෙක්ව මුණ ගැහෙනවා.‘ මීගන් මර්කල් සිය ඒජන්තවරියට එසේ කීවේ 2016 ජූලි මාසයේදීය.
‘මීගන් උතුරා යන සතුටකින් අන්දමන්දවෙලයි හිටියේ.‘ ජීනා මතකය අවදි කරමින් එසේ කීවේ ඊයේ පෙරේදාය.
‘එයා කවුද..?
‘හැරී කුමාරයා....!‘
‘වෙන්න පුළුවන් දෙයක් ද...?‘ ජීනා විමතියට පත්වූ බව දැන් කියන්නීය.
අමෙරිකාවේ මෝස්තර නිරූපන ශිල්පිනියක හා රූපවාහිනි නිලියක වූ 36 හැවිරිදි මීගන් සමග අවුරුදු දෙකක් එකට වැඩ කළ ජීනා ඇය සමග ලොව වටා විවිධ සුබසාධන වැඩසටහන් සඳහා සහභාගිවූවාය. ඔවුන් එංගලන්තයට පැමිණ තිබුණේ එවැනි තවත් එක් වැඩසටහනක් සඳහාය. ලොව වටා සංචාරවලදී හොඳම අවන්හල් සොයා පීරන්නටත්, විවිධ රටවලට ආවේනික ගැමිකතා කියවන්නටත් රුචියක් දැක්වූ මීගන්ගේ සහයට එදා සිටියේ ජීනාය. දැන් නම් මීගන්ගේ ලෝකයේ ඒ සියල්ලටම ලොකුම පංගුකාරයා වී සිටින්නේ හැරී කුමරු බව ජිනා කියන්නේ සිනහමුසු මුහුණින් යුතුවය.
මේ වසරේ මැයි මාසයේ 19 වැනිදා වින්ඩ්සර් මාලිගාවේ සාන්ත ජෝර්ජ් පල්ලියේදී දෙවියන් ඉදිරියේ විවාහ වීමට සූදානමින් සිටින මීගන්ගේ සහ හැරී කුමරුගේ පෙම් පළහිලව්ව ගැන ජීනා කියන මේ කතාව ඊයේ පෙරේදා අන්තර්ජාලයේ වැඩිම අවධානයක් දිනාගත් පුවතක් බවට පත්වී ඇත.
ජීනා කියන්නේ මීගන්ගේ පෙම් කතාව දන්නේ අතලොස්සක් පමණක් බවය. ඇය ඒ අතර සිටීම ගෞරවයට හේතුවක් බවත් ඇය දැන් කියන්නීය.
‘හැස් මට ආදරෙයි කිව්වා.‘ හැරී කුමරු මුණගැසීමෙන් ටික දිනකට පසුව මීගන් සිය මිතුරියට එසේ කීවාය.
‘දෙන්නගේ මුණගැසීමෙන් සති දෙකක් ගතවෙද්දී මෙන්න ඇය හැරී කුමාරයාට සුරතල් නමකුත් දාලා.‘ ජිනා මහ හඬින් හිනැහෙයි.
මීගන් හැරී කුමරුගේ ප්‍රේමයට වසඟවී සිටි ආකාරය මුලදී තම විමතියට කරුණක් වූ බැව් ජීනා කීවාය.
‘ඇත්තටම එයා ඔච්චරටම ගැඹුරින් කාටවත් ආදරය කරලා නෑ. හැරී කුමාරයා ගැන කතා කරද්දී මීගන්ගේ ඇස් ආදරයෙන් දිප්තිමත් වුණා.‘
තමන්ගේ රාජකීයත්වයට ඔබින කුමාරිකාවක් සොයාගනු ඇතැයි කවුරුත් සිතූ හැරී කුමාරයා අන්තිමේදී එංගලන්තයෙන් සැතපුම් දහස් ගණනක දුරකින් සහකාරියක් සොයාගනු ඇතැයි සිතුවේම නැත. ඇරත් පළමු විවාහය කඩාකප්පල් කරගත්තු තමාට වඩා අවුරුදු 3ක්ම වැඩිමල් කළුජාතික සම්භවයක් ඇති ගැහැනියක් රජපවුලට එකතුවනු ඇතැයි රාජකීය පවුලේ සාමාජිකයන් පවා සිතුවේ නැත. 2016 නොවැම්බරයේ මුලින්ම කෙන්සින්ටන් මාලිගාව මේ ආරංචිය තහවුරු කරනතුරු කවුරුත් ඒ ගැන විශ්වාස කළෙත් නැත.
පළමු මුණගැසීමෙන් මාස 6කට පසුව මේ රහස් ප්‍රේමය බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් අනාවරණය කරගත්තේය. ඒ වෙද්දී දෙන්නගේ ප්‍රේමය සෑහෙන දුරට ශක්තිමත් එකක් බවට පත්වී තිබිණි. එහෙත් ඇගේ පසුබිම අනාවරණය කරමින් බ්‍රිතාන්‍ය පුවත්පත් ඇය පතුරු ගැසීමට පටන්ගැනීමෙන් රාජකීය පවුලට මීගන් එක්වීම අභියෝගාත්මක කාරණාවක් බවට පත්විය.
‘මම මීගන්ව දන්නේ සෑහෙන කාලයක් තිස්සේ ඉඳලයි. එයා ඇත්තටම හරිම උණුසුම් චරිතයක්. ඒ වගේම කෙළින් කතාකරන, කෙළින් වැඩ කරන ගැහැනියක්. ‘ජීනා සිය මිතුරිය ගැන එසේ කියයි.
‘මිනිස්සු මීගන් ගැන හරියට දන්නෙ නෑ. එයා හරිම බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම හරිම සංවේදි කෙනෙක්. එයා මානුෂික හැඟීම්, ගතිගුණ ගැන නිතර නිතර වදවෙනවා. සතුන්ට පුදුමාකාර විදිහට ආදරෙයි. සත්ව හිමිකම් ගැන ලොව පුරා විවිධ වැඩසටහන්වලදී එයා හැසිරෙන, කතාකරන ආකාරය මම දැකලා තියෙනවා.‘ මේ ජීනා මීගන් ගැන දෙන චරිත සහතිකයයි.
මෑත කාලයේ බ්‍රිතාන්‍ය පුවත්පත් මීගන්ගේ පෙර විවාහය ගැන සඳහන් කරමින් දැඩි විවේචන එල්ල කරන්නට පටන් ගත් අතර ඒවා රාජකීය පවුල අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සිදු කළ ඒවා බව පසුව අනාවරණය වී තිබිණි. මෙවැනි පුවත් පළවන සෑම අවස්ථාවකදීම ඇය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වූයේ හැරී කුමරුය.
‘පත්තරකාරයෝ මීගන්ගේ හිටපු සැමියා ගැන වද වුණාට මීගන් නම් ඒ ගැන වැඩිපුර කතා කරන්නේ නෑ. ඇයට අනුව ඒවා අතීත සිදුවිම් විතරයි. හැමෝටම ඒ වගේ ඉතිහාසයක් තියෙනවනේ.‘ ජීනා කියන්නීය.
‘මිනිස්සු හැමදාම වැරැදි කරන්නෙ නෑ.‘ මීගන් නිතර නිතර එසේ කී බව ජීනා පවසයි.
‘දිනෙන් දින අත්දැකීම්වලින් මුහුකුරා යද්දී මිනිස්සු පරිණත වෙනවා. වයසට යන්න යන්න මිනිස්සු පරිණත වෙනවා. මටත් ඕන ඒ වගේ පරිණත ගැහැනියක් වෙන්නයි. හැමෝටම වගේ මටත් හීන තියෙනවා. මටත් ආසයි දරුවන් ගොඩක් හදන්න. වයසට ගිහින් දරුවෝ හදනවාට වඩා තරුණ කාලේදිම දරුවෝ හැදුවම ඒක ලේසියි.‘ ඒවා මිගන්ගේ අදහස්ය.
‘මුලදී කවුරුත් කිව්වේ මේ හැදියාවක් නැති අමෙරිකානු ගැහැනිය හැරි කුමාරයාව දැලේ දාගත්තා කියලයි. ඒත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි වුණේ. හැරී කුමාරයා තමයි මුලින්ම එයාට ආදරෙයි කිව්වේ. අනික මිගන් කවදාවත් හිතුවේ නෑ බ්‍රිතාන්‍ය රජපවුලට හේත්තු වෙන්න. අඩුම තරමින් හැරී කුමාරයාව මුණගැහෙන්න අනිත් තරුණියන් වගේ ඇයට ‘අමුතු ආසාවක්‘ තිබුණේම නෑ.‘
‘දෙන්නා මුලින්ම මුණගැහෙන්න නියමිතව සිටි දවසේ රාත්‍රිය ගැන මීගන් මට කී මොහොතේ මම ඇයට විහිළු කළා මට තාම මතකයි. එදා මං කිව්වේ හැරී කුමාරයාගෙන් පරිස්සම් වෙන්න වේවි කියලයි. ඒත් බලන්න ගියාම සිද්ධවුණේ වෙන දෙයක්. දෙන්නට දෙන්නා ආදරය කරන්න පටන් අරගෙන. ඒක මහා පුදුමාකාර ආදරයක්. එයාලා ආදරේ කරන්නේ හදවතින් විතරක් නෙවෙයි. මේ දෙන්නගේ ආදරය බුද්ධිමත් එකක් කියලයි මට නම් හිතෙන්නේ.‘ දීර්ඝ කාලයක් පුරා මීගන් ගැන හොඳින්ම දැන සිටි ජීනා කියන්නේ එසේය.
‘ඔන්න අපි ලෝකය වෙනස් කරන්නයි යන්නේ.‘ දවසක් මීගන් මට එහෙම කිව්වා. ඒත් මට හිතුණේම මේක සැබෑවක් නෙවෙයි කියලයි. දෙන්නා විවාහ වේවි කියලා මං නම් කවදාවත් හිතුවේ නෑ.
‘ඒත් මම දැන් දන්නවා මේ දෙන්නා ලෝකය වෙනස් කරන ජාතියේ ජෝඩුවක් විතරක් නෙවෙයි. බ්‍රිතාන්‍ය රජ පවුලේ සම්ප්‍රදායත් වෙනස් කරන ජාතියේ දෙන්නෙක් කියලා.‘

No comments