විදුලි සැපයුම අර්බුදයක - කප්පාදුවකට කිසිදු තීරණයක් ගෙන නැහැ.... | Reporter විදුලි සැපයුම අර්බුදයක - කප්පාදුවකට කිසිදු තීරණයක් ගෙන නැහැ.... - Reporter

Breaking News

විදුලි සැපයුම අර්බුදයක - කප්පාදුවකට කිසිදු තීරණයක් ගෙන නැහැ....


අඛන්ඩ විදුලි සැපයුම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළ ද විදුලිය කප්පාදු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරනවා.එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්‍ෂණ ජයවර්ධන මහතා පැවසුවේ බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පැවතිය ද ජල විදුලි නිෂ්පාදනය මෙතෙක් අර්බුදයකට ලක්ව නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වර්ෂයේදීද ජල විදුලිය නිෂ්පාදනයට විශාල වශයෙන් අභියෝග එල්ල වූ බවත් කෙසේ වෙතත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන් බවත්යි. කිසිදු විදුලි කප්පාදුවකින් තොරව පසුගිය වර්ෂයේදීද විදුලි ලබාදුන් බවත් ඒ සඳහා ජල විදුලි බලාගාර මෙන්ම අනෙකුත් විදුලි බලාගාරවලින්ද දෛනික විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබුණු බවයි ඔහු කියා සිටියේ. එසේම මෙවරද කිසිදු විදුලි කප්පාදුවකින් තොරව විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව ඇති බවත් අවශ්‍ය කරන විදුලි ධාරිතාව ලබාදීමට හැකියාව ඇති බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියා. 
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මේ දිනවල අධික විදුලි ඉල්ලුමක් දක්නට ලැබුණද විදුලි කප්පාදුවකින් තොරව ලබාදීම අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය ජනන ධාරිතාවයන් පද්ධතිය සතුව ඇති බවයි.
කෙසේ වෙතත්, නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ කටයුතු අවදානම් තත්ත්වයකට පත්ව ඇති බැවින් ඉදිරියේදී විදුලි සැපයුම අර්බුදයකට ලක්විය හැකි බව විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා. මේ එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියා සිටියේ ජාතික විදුලි බලපද්ධතියට ජල විදුලි බලාගාරවලින් ලබාදෙන්නේ 15%ක් පමණ බවයි. එසේම නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර තුන මේ දිනවල එක දිගටම ක්‍රියාත්මක වන බවත් එය ඉතාමත් අවදානම් තත්ත්වයක් බවයි ඔහු කියා සිටියේ. 
එම යන්ත්‍රවල අලුත්වැඩියාවන් කළ යුතු බවද ඔහු කියා සිටියා. එසේම නොරොච්චෝලේ යන්ත්‍ර තුනෙන් එකක් හෝ නතර කිරීමට සිදු වුවහොත් අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවද විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කියා සිටියා. 
මේ අතර, පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීම සදහා ගිවිසුම්ගතව පැවති කාලය තවත් වසර 3 කින් දීර්ඝ කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළා.
ඉදිරියේදී විදුලි අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සදහා මෙම තීරණය ගත් බවයි හෙතෙම කියා සිටියේ.  අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවලට අනුමැතිය ලැබුණු බවයි. ඒ අනුව දැනට ඉදිකරමින් පවතින සියලු බලාගාරවල වැඩ අවසන් වනතෙක් ලංකා විදුලි බලමණ්ඩලය දැනට පෞද්ගලික විදුලිබලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට ඇති කරගෙන ඇති ගිවිසුම් කාලය වසර තුන කාලයක් දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය ලැබුණු බවද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියා. 

No comments