සරසවි වර්ජකයින්ගේ අවසන් තීරණය අද | Reporter සරසවි වර්ජකයින්ගේ අවසන් තීරණය අද - Reporter

Hot News

සරසවි වර්ජකයින්ගේ අවසන් තීරණය අද


අද(12) පෙරවරුවේ රැස්වී වැඩවර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි.

එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ, තම ගැටලුවලට රජයේ විසඳුම් ඇතුළත් ලිපිය ඊයේ පස්වරුවේ ලැබුණු බවයි.

මේ අතර ප්‍රධාන ඉල්ලීම් ලබා දී ඇති බැවින්, වැඩ වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ලබන 17 වන දා හෝ ඊට පෙර සේවයට වාර්තා කළ යුතු බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එහි ලේකම් ඩී.සි දිසානායක සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගේ ඒකාබද්ධ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මුලික ඉල්ලීම වු මාසික හිලව් දිමනාව තවදුරටත් මූලික වැටුපෙන් 10% ක ප්‍රතිශයකින් වැඩි කිරීමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇති බවයි.

එසේ ම අනධ්‍යයන සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම, පොදු රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම, වැනි අනෙකුත් ඉල්ලීම් සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් පත් කිරීමට ද එකඟ වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු ම සේවකයින් වහා ම සේවයට පැමිණිය යුතු බවත්, 17 වැනි දිනට හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, පුහුණු වන සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අනධ්‍යයන කාර්ය මන්ඩල සේවකයින් සේවය හැරගියා සේ සලකන බව ද උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, සේවයට වාර්තා නොකර තවදුරටත් වැඩ වර්ජනයේ යෙදී සිටින ස්ථිර සේවකයින්ට වර්ජනය යෙදී සිටින කාල සීමාව වැටුප් රහිත කාල සීමාවක් සේ සැලකීමට පියවර ගන්නා බවයි.

No comments