ඇමතිකම් වලින් අස්වෙන්න එපා'' - ජනාධිපති ජෝන්ලට කියලා | Reporter ඇමතිකම් වලින් අස්වෙන්න එපා'' - ජනාධිපති ජෝන්ලට කියලා - Reporter

Breaking News

ඇමතිකම් වලින් අස්වෙන්න එපා'' - ජනාධිපති ජෝන්ලට කියලා

feature-top

ආණ්ඩුව තුළ අනිවාර්යයෙන් රැඳී සිටිමින් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම කණ්ඩායමෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව ඇමති පදවිවල දිගටම රැඳී සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා එම ප්‍රකාශය කළේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම සමඟ ඊයේ (අප්‍රේල් 05) ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව 'බීබීසී සිංහල සේවය' සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් සහ ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 05) වෙන වෙනම හමු වී ඇත.
ශ්‍රීලනිපය දෙකඩ වේ : ජනපති සමග සාකච්ජා වෙන වෙනම :
ජනාධිපතිවරයා සමඟ හමුවේ දී ආණ්ඩුවේ ඇමතිකම් දරනු ලැබීම පිළිබඳව සාකච්ඡා වූ බව එම කණ්ඩායම් දෙකේම නියෝජිතයෝ පවසති.
"ඔව්! දැන් අර්බුදයක් මතුවෙලා තියෙනවා. ඒ අනුව අපි ජනාධිපතිතුමාගෙන් ඇසුවා - අපි ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? කියල. මොකද, අපි කැමතියි අවශ්‍ය නම් ආණ්ඩුවෙන් යන්න. ඒත් ජනාධිපතිතුමා කැමති නම් තවදුරටත් ආණ්ඩුවේ සිට සේවය කරන්න කැමති බවත් අපි එතුමාට දැනුම් දුන්නා" පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න පවසයි.
''ජනාධිපති දැනුම් දෙන ඕනෑම අවස්ථාවක එම පදවි අත්හැර දැමීමට සූදානම්''  - ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න
ජනාධිපතිවරයාගේ උපදේශය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් තොරව දිගටම ඇමති පදවි දරන අතර, එතුමා දැනුම් දෙන ඕනෑම අවස්ථාවක එම පදවි අත්හැර දැමීමට සූදානම් බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න කියා සිටී.
තමන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට පදනම් වූයේ, අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් පිහිටුවා ගැනීම සඳහා ආණ්ඩුව තුළ දැනට සිටින කණ්ඩායම සහ ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින කණ්ඩායම එකට වැඩ කළයුතු බවට පක්ෂය තුළ පැවති මතය අනුව බව කම්කරු ඇමතිවරයා සඳහන් කළේය.
"පක්ෂය තුළ වූ එම මතය අනුව දැනට විපක්ෂයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබුණ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ආණ්ඩුව තුළ නියෝජනය වෙන අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට සිදු වුනා" කම්කරු ඇමතිවරයා පවසයි.
ශ්‍රීලනිප එකඟතාව කුමක් වීද?
ජනාධිපතිවරයාත් දැනුම් දී තිබුණ පරිදි විශ්වාස භංග යෝජනා විවාදයේ දී ඡන්දය නොදී සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වූ එකඟතාවයි" 
එහෙත් එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධීවර සහ ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් "ජනාධිපතිවරයාත් දැනුම් දී තිබුණ පරිදි විශ්වාස භංග යෝජනා විවාදයේ දී ඡන්දය නොදී සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වූ එකඟතාව" යයි සඳහන් කළේය.
"විශ්වාසභංගය දිනන්න බැරි බව එස්.බී.ඇමතිතුමාත් තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකතුමාත් ජනාධිපතිතුමාට කියල තිබුණ. ඒ අනුව විශ්වාස භංග යෝජනා ඡන්ද විමසීමේ දී ඡන්දය නොදීමට තීරණය කරලා තිබුණ" ධීවර සහ ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
"විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නොත් නැවත ඇමති පදවි දැරීමේ සදාචාරභාවය ගැන පවා සාකච්ඡා වූ බව ධීවර ඇමතිවරයා පවසයි.
'ක්‍රියාත්මක කලේ ජනාධිපතිගේ තීන්දුවයි' :
"අපේ කණ්ඩායම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා, විශ්වාසභංගය සම්බන්ධයෙන් ගතයුතු තීන්දුව පිළිබඳව අදහසක් දෙන්න කියල. එතකොට ජනාධිපතිතුමා කිව්වා එස්.බී.ඇමතිතුමාත් තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකතුමාත් ඡන්දය දීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කළ බව ජයග්‍රහණය අපහසු නිසා. ඒ තීන්දුව තමයි අපි ක්‍රියාත්මක කළේ" ධීවර සහ ජලජ සම්පත් ඇමති වරයා සඳහන් කළේය.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නොත් නැවත ඇමති පදවි දැරීමේ සදාචාරභාවය ගැන පවා සාකච්ඡා වූ බව ද ධීවර ඇමතිවරයා ප්‍රකාශ කළේය.
"ඒත් පසුව ඔවුන් ඒ මතය වෙනස් කරලා තියෙනව" මහින්ද අමරවීර ඇමතිවරයා කීය.
"බහුතරය සිටියේ ඡන්දය නොදිය යුතුය කියන මතයේ. ඒක පේනවා ඡන්දය ප්‍රකාශ වූ ආකාරයෙන්. කළින් ගත් තීන්දුව අනුව ආණ්ඩුවේ නියෝජනය වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසිපස් දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඡන්දය දුන්නේ දහසය දෙනෙක් පමණයි" මහින්ද අමරවීර ඇමතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා එස්බී දිසානායක ඇමතිවරයා සම්බන්ධ කරගැනීමට  දැරූ උත්සාහය සාර්ථක නොවීය.
කෙසේවුවද, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් සහ ඡන්දය නොදුන් ශ්‍රීලනිප ඇමතිවරුන් දිගටම ඇමති පදවිවල කටයුතු කරන බව අමරවීර ඇමතිවරයා පවසයි.
එජාප අභියෝගය !
විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් අගමැතිවරයාට ඉදිරිපත් කරනු ලැබ ඇති ලිපිය පිළිබඳව කළ විමසීමට පිළිතුරු දුන් කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න එය විග්‍රහ කළේ "එවැනි ක්‍රියා මාර්ගයක් තුළින් පුරප්පාඩු වෙන ඇමති පදවි ලබා ගැනීමේ ප්‍රයත්නයක්" හැටියටය.
"ජනාධිපතිතුමා එම ප්‍රශ්නය අගමැතිතුමා සමඟ කතා කරලා විසඳාවි. ඒත් ජනාධිපතිතුමා කිව්වොත් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් යන්න කියල අපි ඒකට සූදානම්" ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
"ඇමති පදවිවල බලෙන් රැඳී ඉන්න අපේ කිසිම අදහසක් නැහැ" කම්කරු ඇමතිවරයා කියා සිටියි.
අගමැති තවත් අභියෝගයක් ජය ගත්තත් ඔහුට ඇමති පදවි වෙනස් කළ හැකි වේද?
අගමැතිවරයාට ඇමතිවරුන් ඉවත් කිරීමේ බලයක් තිබේද ?
කෙසේවුවද, සිය පක්ෂයේ කණ්ඩායමක් විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරන අතරවාරයේ තවත් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා විසින් විග්‍රහ කරනු ලබන්නේ "අවාසනාවන්ත සිද්ධියක්" ලෙසය.
ඔහු එය හඳුන්වන්නේ "යම් යම් බලවේග ක්‍රියාත්මක වීමෙන්" සිදු වූ දෙයක් විලසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලන විට අගමැතිවරයාට ඇමතිවරුන් ඉවත් කිරීමේ බලයක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න පෙන්වා දෙයි.
"එහෙම අයිතියක් හෝ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අගමැතිවරයාට දීලා නැහැ. කෙසේ වුනත්, කාගේවත් අකමැත්ත තුළ අපි කැබිනට් මණ්ඩලය තුළ රැඳී ඉන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.
ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා .ඒ නිසයි අපි එතුමාට කිව්වේ- මේ ගැන තීන්දුවක් ගන්න කියල" ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති සෙනෙවිරත්න කියා සිටී.
විශ්වාස භංග යෝජනාව පිළිබඳ මත දෙකක සිටිය ද පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දිගටම ඇමති පදවි දරන බව ඡන්දය දුන් සහ නොදුන් යන පාර්ශ්ව දෙකම කියා සිටිති.

(under the courtesy of srilankamirror.lk news web)

No comments