Breaking News

භයානක රෝග පතුරන "වනමි" ලංකාවට



“වනමී” යනුවෙන් හදුන්වන මව් ඉස්සන් තොගය පසුගිය 08 වැනිදා මෙරටට ගෙනවිත් ඇති බවපුත්තලම දිස්ත්‍රික් ඉස්සන් වගා කරුවන්ගේ සංවර්ධන සංදානය පවසයි.


 මෙම ඉස්සන් ආනයන කිරීම  තහනම් කරන ලෙස එම සංදානය විසින් ඉල්ලුම් කර තිබිණි. 
 
මව් ඉස්සන් ජෝඩු 50 ක් අඩංගු බහාලුමක මෙම ඉස්සන් තොගය අසුරා තිබී ඇති අතර ඒවායේ බර කිලෝ ග්‍රෑම් 550 කි.
 
ඇමරිකාවේ හවායි ගුවන් තොටුපලේ සිට කොරියානු ගුවන් සමාගමකට අයත් යානයකින් මෙම මව් ඉස්සන් තොගය මෙරටට ගෙනවිත් තිබේ.
 
“වනමී” නමින් හදුන්වන මෙම ඉස්සන් මෙරටට ගෙන්වීම තුළින් භයානක රෝග පැතිර යා හැකි බවට ඇතමුන් තුළ මතයක් ඇති වී ඇත.
 
කිසිදු නීරෝධායන කටයුත්තකින් තොරව මෙම මව් ඉස්සන් තොගය මෙරටට ගෙනවිත් වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ පිහිටි ඉස්සන් අභිජනනාගාරයකදී පැටවුන් බිහි කිරීමට කටයුතු යොදා ඇති බව පුත්තලම දිස්ත්‍රික් ඉස්සන් වගා සංවර්ධන සංදානයේ සභාපති කමල් පුෂ්පකුමාර මහතා හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයාට පැමිණිළි කර ඇත.
 
ඒ අනුව පොලීසිය විසින් කරන ලද දැණුම් දීමක් මත මව් ඉස්සන් ඇතුළත් බහාලුම තම බාරයට ගෙන පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කර තිබේ.
 
ඇමරිකාවෙන් මෙම ඉස්සන් තොගය ගුවන් ගත කිරීමට පෙර නිරෝධායන කටයුතු කර ඇති බවට වාර්තාවක්ද ඒ සමග තිබී ඇත.
 
ඒ අනුව 08 වැනිදා පෙරවරු 8.22 ට පමණ කටුනායක ගුවන් තොටුපලේ බහාලුම් පර්යන්තයේ රදවා තබා ගෙන සිටි මව් ඉස්සන් ඇතුළත් බහාලුම රේගු නිලධාරීන් විසින් නිදහස් කර ඇත.
 
පසුව පොලිස් ආරක්ෂාව යටතේ අදාල බහාලුම වෙන්නප්පුව - නයිනමඩමේ පිහිටි ඉස්සන් අභිජනනාගාරය වෙත ගෙනවිත් ඇති අතර රේගු දෙපාර්තමේන්තුවේ නිරෝධායන අංශයේ නිලධාරීන්ද ඒ සමග පැමිණ තිබේ.
 
ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ වෛද්‍යෙවරුන් විසින් සිදු කරනු ලබන පරීක්ෂණවලින් අනතුරුව මෙරටට ගෙනවිත් ඇති මව් ඉස්සන්ගෙන් පැටව්න් ලබා ගැනීමට නියමිතව ඇත.
 
ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු  

No comments