මාධ්‍යවේදීන් අතුරුදන් කල පරීක්ෂණ මෙහෙයවන CID නිලධාරීන්ට මරණ තර්ජන... | Reporter මාධ්‍යවේදීන් අතුරුදන් කල පරීක්ෂණ මෙහෙයවන CID නිලධාරීන්ට මරණ තර්ජන... - Reporter

Breaking News

මාධ්‍යවේදීන් අතුරුදන් කල පරීක්ෂණ මෙහෙයවන CID නිලධාරීන්ට මරණ තර්ජන...

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධිය හා මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මරණීය තර්ජනය එල්ල වී තිබේ.
මෙම සිද්ධීන් තුන පිළිබඳ මේ වනවිට අධිකරණයේ නඩුද විභාග වෙමින් පවතියි. ඊට අදාළව විමර්ශනය කෙරෙන නිලධාරීන්ට මේ වනවිට විවිධ අයුරින් මරණ තර්ජන එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ තර්ජනයක් පැමිණියහොත් එම නිලධාරියාට උපරිමයෙන්ම ‍පොලීසියේ ආරක්ෂාව ලබාදෙන බවය. එමෙන්ම ප්‍රාදේශීය ‍පොලිස් නිලධාරියකුට යම් තර්ජනයක් එල්ල වන්නේ නම් පළාත භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා, සහකාර ‍පොලිස් අධිකාරීවරයා, ‍පොලිස් අධිකාරිවරයා හෝ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයාට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ බලය පවරා ඇති බවද ඔහු පැවැසීය.
මෙම සිද්ධීන් පිළිබඳ විමර්ශන කිසිදු අයුරකින් ප්‍රමාද නොකරන බවත් දුරකථන වසා, ‍පොත්වල කොළ ගලවා තිබුණත්, ඇතැම් නිලධාරීන් රටින් පිටව ගොස් සිටියද විමර්ශන සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.
මෙම තොරතුරු අනාවරණය වූයේ 24 දින නීතිය හා සාමය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

No comments